නිකිනි ව ගෙනැවිත් තිබුණේ මංජුලගේ ගේ නිවසට ය. ඇය කේන්තියෙන් ද පිළිකුළෙන් ද දැවුණා ය. නමුත් මංජුල ඒ ස්වරූපය දෙස බලා උන්නේ සිනහ වෙවී ය.
“ඔයාට මං හොඳින් කිව්වනෙ ගෙදර එන්න කියල. හොඳින් බැරිනං නරකින් හරි මං මට ඕන දේ කරනව කියල ඔයා දන්නවනෙ…නේ…”
“ඔහේ මහ ජරා මිනිහෙක්. තිරිසන් සතෙක්ටත් වඩා අන්ත ජරාම ජරා මිනිහෙක්”
නිකිනි ඇය ට පුළුවන් හයියෙන් කෑ ගැසුවා ය. නමුත් මංජුල නිස්කාංසුවේ ගෙයි ඒ මේ අත සක්මන් කළේ ය.
“බොරුවට කලබල කරන්නැතුව ඉන්න ළමයො. ඔයා ඇවිත් ඉන්නෙ පිට තැනකට නෙවෙයිනෙ…තමුංගෙ ගෙදරටනෙ”
මංජුල මාතාව විශාකා මහ උපාසිකාව සේ සැදැහැවත් ස්වරයෙන් දෙඩුවා ය. නිකිනි ඇය දැවී යන සේ රවා බැලුවා ය.
“මේක නීති විරෝදී වැඩක්. මං තමුංගෙං ඩිවෝස් වෙන්න හදන්නෙ…”
මංජුල ගේ සිනහව නිකිනි ගේ රුධිර සංසරණය පද්ධතිය රත් කරන්න ට හේතු විය.
“ඒත් මං කැමති නෑනෙ ඒකට. මට ඩිවෝස් වෙන්න ඕන නෑ”
මංජුල ගේ අම්මා අතින් කට වසා ගෙන සිනහ වූවා ය.
“හිනා වෙන්න ඔයා තමුන්ටම. මට නෙවෙයි. පුතෙක් හරියට හදන්නවත් ඒ පුතාට හරි හමන් පවුල් ජීවිතයක් ගත කරන්නවත් ඉගැන්නුවෙ නැති වරදට හිනා වෙන්න ඔයා ඔයාටම”
මංජුල ගේ අම්මා ගේ සිනහව අතුරුදන් විය. ඇගේ මුහුණ විරූපී වී ගියේ ය.
“යකෝ මේක මාර කතාවක් නෙ. මොන එහෙකටද මේ මට කෑ ගහගෙන එන්නෙ…”
“හරි ආඩම්බර ඇති නේ…පුතාට බෑ ආදරේ පෙන්නල ගෑනියෙක්ව ගෙදර තියා ගන්න. එහෙම දුර්වල පුතා චණ්ඩි දම්මල පිස්ටල් පෙන්නල ගෑනියෙක්ව ගෙදරට උස්සගෙන එනකොට හරි ආඩම්බර ඇති නේ අම්ම කෙනෙක් විදිහට….”
අම්මා කෙනෙකු ට ඒ ආකාරයෙන් කතා කරන්නට නිකිනි සිහිනයෙන් හෝ සිතා සිටියේ නැත. නමුත් මේ මොහොතේ ඇය මුළුමනින් ම අවුල් වී සිටියා ය. මේ ආකාරයෙන් මංජුල ඇය ව යළි මේ ගෙදරට කැටිව එනු ඇතැයි නිකමට හෝ ඇය ට සිතී තිබුණේ නැත.
“මං පොලීසියට කෝල් කරනව. ඩිවෝස් වෙන්න තීරණය කරල තියෙද්දිත් මාව බලෙං පැහැරගෙන ආව කියල මට කියන්න වෙනව”
නිකිනි ජංගම දුරකතනය ගෙන අංකනය කිරීමේ උත්සාහයක් ගත්තා ය.
“කියනව. මං කියන්නං අර රට ඉඳල ආපු මිනිහෙක් එක්ක යාළු වෙලා ගෙදරින් පැනල ගියා කියල. තමුසෙගෙ අම්මත් එහෙමනෙ ඕයි. තාත්තගෙ යාළුවෙක් එක්ක පැනල ගියා. දැං තමුසෙ…තමුසෙ බාප්පගෙ යාළුවෙක් එක්ක පැනල ගිහිං. ඉතිං පොලීසිය පිළි ගන්නෙ නැති වෙයි කියලද හිතන්නෙ…”
මංජුල සමච්චලයෙන් සිනහ වුණේ ය. සිරුර පණ නැති වී යනු නිකිනි ට දැනිණ. බිත්තිය දිගේ ලිස්සා ගිය ඕ බිම හිඳ ගත්තා ය. ඇගේ තොල් වෙව්ලමින් තිබිණ. ඇස් කෙවෙනි දැවෙමින් තිබිණ. නිකිනි ගේ දුරකතනය හැඬවුණේ ඒ මොහොතේ ය. ඒ විදත් ගේ දුරකතන අංකයයි. නිකිනි ට හැඬිණි.
“කොහෙද ඔයා ඉන්නෙ…කවුද ඔයාව ගෙනිච්චෙ…”
“මංජුල කියන මනුස්සයගෙ ගෙදර….”
නිකිනි ඉකි බිඳ හැඬුවා ය.
“බය වෙන්නැතුව ඉන්න. මං ඔයාව තව එක දවසක්වත් ඔය ගෙදර තියන්නෑ”
“පප්පට කියන්න ලෝයර්ට කතා කරන්න කියල”
“බැල්ලි”
නිකිනි ගේ කම්මුලක් හරහා එල්ල වූයේ අකුණක් වගේ පුපුරා ගිය පහරකි. ඒ පහරේ සැර ට නිකිනි ගේ අතේ වූ දුරකතනය විසි වී ගියේ ය.
“උඹව මරනව දැනගනිං මං…”
විසි වූ දුරකතනය ඔස්සේ විදත් ගේ කෑ ගැසීම ඇසුණේ ය. නිකිනි අත් දෙකෙන් ම කම්මුල් අල්ලා ගෙන ඒ රිදුම විඳ දරා ගනිමින් සිටියා ය.
“තෝ හිතං ඉන්නෙ ලෝයර්ට කියල මාව හිරේ යවන්නද…කොරල බලමුකො එහෙනං”
නිකිනි , සිය දෑස් හි වූ තෙතමනය ඉක්මනින් පිස ගත්තා ය. මේ වාගේ නින්දිත මිනිසෙකු ඉදිරියේ තවත් නෙි හැඬිය යුතු යයි ඇගේ ගැහැනු ඉව විසින් ඇය ට හඬ ගා කියන ලදී. ඇය හිතට දිරිය ගෙන නැගී සිටියා ය.
“කොච්චර බලෙං මාව මෙහෙ තියා ගන්න හැදුවත් මං තමුං වගේ මිනිහෙක් එක්ක ඉන්නෙ නෑ. නෑ කිව්වොත් නෑමයි”
නිකිනි ගේ කම්මුල ට ගැසූ මංජුල ගේ අත පුපුරු ගසමින් තිබිණි. ඔහු සිය පළි ගැනීමේ චේතනාව සපුරා ගත්තේ ය. ඇය සිය නීත්‍යානුකූල බිරිඳ ය, ඈ කුමන තත්වයක් මත හෝ සිය සෙවන යට විසිය යුතු ය යන ඔහු ගේ නිර්ලජ්ජිත පිරිමි මතයට අනුව ඈ සිය නිවාස අඩස්සියෙහි තබා ගැනීම ඔහු ගේ අරමුණ විය. නමුත් ඊළඟ නිමේෂයේ ගේ අභියස නතර වූ රියෙන් බැස ඩෙස්මන්, සහස් සහ ඔවුන් ගේ නීතීඥවරයා ගෙතුලට පැමිණියහ.
“මොකද්ද හලෝ මේ කරල තියෙන වැඩේ…තමුසෙට ලැජ්ජ නැද්ද…පිරිමියෙක් වගේ වැඩ කරනවකො”
සහස් ගෙතුළට ආවේ ම මංජුල වෙතට තර්ජනාංගුලිය ඔසවමිනි.
“කාටවත් මෙතන කතාවක් නෑ. මේ මගෙ වයිෆ්. එයා ඉන්න ඕන මේ ගෙදර. දැං ඔය ආපු කාටත් ආපහු යන්න පුළුවන්”
“නිකං මෝඩයෙක් වගේ කතා කරන්න එපා මංජුල. අපි ඩිවෝස් කේස් එක ෆයිල් කරල ඉවරයි. දැං තමුන්ට බෑ නිකිනි ව බලෙං මෙහෙ තියං ඉන්න”
ඩෙස්මන් ඔහු ට හොඳින් තේරුම් කර දෙන්නට උත්සාහ කළේ ය.
“හරි හරි මේ මහත්තුරුන්ට කරන්න පුළුවන් දෙයක් කරන්නලකො. ම්…දැං කරුණාකරල යන්න. උසාවි නියෝගයක් අරං එන්නකො මගෙ වයිෆ්ව ගෙනියන්න දෙන්න”
මංජුල කතා කළේ කිසිවෙකු තුළ පහන් හැඟීමක් ඇති නො කරන මුරණ්ඩු ස්වභාවයකිනි.
“මිස්ටර් මංජුල. මේක ලොකු වරදක්. මං හිතන්නෙ මං මිස්ට මංජුලට අමුතුවෙං පැහැදිලි කරන්න ඕන නෑනෙ…”
නීතීඥවරයා පැහැදිලි කරන්නට උත්සාහ ගත්දී මංජුල අතක් දිගු කොට ඔහු වළකා ලී ය.
“ප්ලීස් දැං යන්න. නැත්තං මට පොලීසියට කෝල් කරන්න සිද්ද වෙයි”
“නිකිනි මේ කට්ටියව යවනව ළමයො. මෙතන ඕන නැති කරදර සිද්ද වෙන්න අරින්නෙ නැතුව”
මංජුලගේ අම්මා ද කට දැම්මා ය.
“අක්ක යමු”
සහස් නිකිනි ගේ අතකින් අල්ලා ගත්තේ ය.
“කොහෙ යන්නද…මේ ගෙදරිං අඩියක් හෙල්ලෙන්න බෑ එයාට”
“මල්ලා පප්පව එක්කං යන්නකො. ලෝයර් අංකල් නීතියෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න”
නිකිනි එසේ කීවේ බොහෝ දුර දිග සිතා ය. ඩෙස්මන් කියන්නේ රෝගියෙකි. ඔහු යන්තම් ඇවිදින්නට පටන් ගත්තා පමණකි. මංජුල ගේ බාල වැඩක් නිසා ඔහු යළි ඇද වැටෙන්නට වුව බැරි නැතැයි නිකිනි සිතුවා ය.
ඔවුහු යළි නික්ම ගොස් රිය වෙත නැග ගත්හ. විදත් ගේ රිය පැමිණියේ ඩෙස්මන් ගේ රිය පාරේ අනිත් පසට යමින් තිබියදී ය.
ජව සම්පන්න අශ්වයෙකු සේ ගෙට පැන්න විදත්, මංජුල වෙතට පිස්තෝලයක් එල්ල කරමින් ම නිකිනි ගේ අතක් තද කොට අල්ලා ගත්තේ ය.
“හෙල්ලෙන්න එපා අම්මපල්ල වෙඩි තියනවා”
ඔහු ගේ හඬ වෙඩි හඬකටත් වඩා බියකරු ලෙස දෙදරා ගියේ ය. මංජුල මාතාව වෙව්ලා යන හැටි නිකිනි බලා ගෙන ය.
“අනේ පුතේ”
කියා කෑ ගසමින් ඔහු මංජුල ගේ ඇඟේ එල්ලී ගත්තා ය.
“මේ මිනිහ වෙඩි තියයි පුතේ. මේ කොහෙවත් යන ගෑනියෙක් නිසා අපිට වෙඩි කන්නත් සිද්ද වෙයි පුතේ”
“නිකිනි වාහනේට නගින්න”
කුමකින් කුමක් සිදු වේද කියා සිතා ගන්නට නිකිනි සමත් වූයේ නැත.
“දඟලගෙන ආවොත්නං වෙඩි තියන එක තියනවා. මං ආවෙ මැරෙන්න වුණත් බලාගෙන යකෝ. හැබැයි මළත් මේ කෙල්ලව උඹ වගේ මිනිහෙක් ළඟ තියල මැරෙන්නෙ නෑ”
විදත් නිකිනි ව රිය වෙත ගෙන ගියේ ය. මංජුල සිටියේ පාෂාණිභූත වී ය. ඩෙස්මන් ලා ට නීති කතා කළ ඔහු විදත් ගේ චණ්ඩ ස්වරූපය ඉදිරියේ කර කියා ගත හැකි කිසිත් නොමැති ව ඔහේ බලා සිටියේ ය. අනිත් අතට ඔහු ගේ මව මරණ බයේ ගැහෙමින් ද පුතා වෙතින් ජීවිතය යදිමින් ද සිටියා ය.
නිකිනි ව රියට නංවා ගත් විදත් රිය පණ ගන්වා ගෙන පවනට බඳු වේගයෙන් ඔබේසේකර මැදුර බලා ධාවනය කළේ ය.
“දෙයියනේ…මගෙ පපුව තාමත් ගැහෙනව”
නිකිනි කෙඳිරුවා ය. විදත් සිනහවක් නගා ගත්තේ ය.
“හස්බන්ට වෙඩි තියයි කියල බයේද…”
“දොඩවන්නෙපා. කොහෙන්ද ඔය පිස්ටල් එකක්…”
“විදත් කියන්නෙ යුද්දයෙන්නං යුද්දයෙං සාමයෙන්නං සාමයෙං ජාතියෙ එකෙක් නිකිනි. මංජුල සාමය ප්‍රතික්ෂේප කරද්දි මට බූරුවෙක් වෙන්න ඕන කමක් නෑ. අනිත් එක දැං ඔයා වෙනුවෙං මට කරන්න බැරි දේකුත් නෑ”
මංජුල ගේ ගෙදර දී අයිස් වී තිබූ කඳුළු දිය වී ගලන්නට වූයේ ඉනික්බිති ය. ගෙදරට එන තුරුත් නිකිනි කළේ හඬන එක ය. ඇය සනසනු වස් යම් යම් දේවල් කීව ද විදත් සිටියේ රියෙහි වේගය ගැන කල්පනාවෙනි. ඔබේසේකර මැදුර ඉදිරියේ නතර වූ රියෙන් නිකිනි බැස ගන්නා විට ඩෙස්මන් ලා පොලීසියට යනු වස් මිදුලට බසිමින් සිටියහ.
“නි..කී…”
සුමනා ඉදිරියට පැන නිකිනි වැළඳ ගත්තා ය. ඩෙස්මන් විදත් දෙස බැලුවේ ආඩම්බර පිරිමි දෑසකිනි.
“වෙල්ඩන් විදත්”
විදත් නිකිනි දෙස බැලුවේ ය. ඇගේ ඇස් වලත් ආදරය තැවරි ආඩම්බරයක් විය.
“ඒක නිකං හින්දි ෆිල්ම් එකක් ෂූට් කළා වගේ ග්‍රැනී. මංජුලගෙ අම්ම තාම හුස්ම ගත්තද කියල මට සැකයි”
සහස් හඬ නගා හිනැහුණේ ය.
“කෝල් එකක් දීල අහමුද…”
“එපා එපා මල්ලා”
ඒ වුණත් සහස් දුරකතන ඇමතුමක් ගනිමින් සිටියේ ය.
“හෙලෝ…ආ මේ ඇන්ටි නේද…ඇන්ටි…මං මේ පන්සලේ හාමුදුරුවො කතා කරන්නෙ…අපේ ඇතා එහෙම ආවද ඔය පැත්තෙ…”
මංජුල ගේ මව රිසීවරය තැබුවේ ‘පිස්සෙක්’ කියමිනි. සහස් හඬ නගමින් සිනහ වූයේ ය. නිකිනි සිනහවකට ඉඩක් නොදී විදත් ගේ ඇස් වල පැටළුණා ය. ඔහු දෑසින් ඈ සිප ගත්තේ ය.