විවාහ වෙන කෙනා ඔබම තෝරා ගන්න.

“ඒ කසාදෙ කරන්න දෙන්න බෑ”

අම්මා එදා කෑගහපු හැටි මට තවම මතකයි.මට හරිත මුනගැහුණේ කැම්පස් එකේදි.අපේ අදහස් හොඳින් ගැළපුණා.හරිතට කීදෙනෙක් කැමැත්තෙන් හිටිය ද? ඒත් හරිත ආදරේ කළේ මට.කැම්පස් එකේ තිබුණු ලස්සනම ආදර කතාවලින් එකක් අපිට අයිති වුණා.ජීවත් වෙන්න පහසු,මාව තේරුම් ගන්න,ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් කොල්ලෙක් හැටියට හරිත මට හොඳින් ගැළපුණා.

“අපිට ඔය පහතරට මිනිස්සු හරි යන්නේ නෑ..”

අම්මා ගෙනාවෙ අරුම පුදුම හේතුවක්.මේ පුංචි රට තුළ මිනිස්සුන්ට කුල භේද මොකටද? ඒත් අම්මා තදින්ම තමන්ගේ මතයේ හිටියා.

“හරිත කොච්චර හොඳ මනුස්සයෙක්ද අම්මේ?”

අම්මා මං දිහා බැලුවේ සමච්චලයට.ඊට පස්සේ එයාගේ තීරණය තදින්ම කියා හිටියා.

“ඔය මිනිසුන්ගේ ගති මතු වෙන්නේ පස්සට.කුලේ අඩු මිනිහගෙ ගතිය කොහොමත් මතුවෙනවා.”

කැන්ටින් එකේ ඉන්න කකුලක් නැති බලු පැටියට පවා කන්න තියෙනවද බැලුවේ හරිත.ඈත දුෂ්කර ගමකින් ආව අමරගේ ලැප්ටොප් එක පවා අරන් දුන්නේ හරිත බව දන්නේ මම විතරයි.ඕනෑම වෙලාවක කවුරු වෙනුවෙන් වුණත් හිත උණු වෙන, තව ටික දවසකින් හොඳම රස්සාවක් කරන්න බලන් ඉන්න හරිතට තියන එකම නුසුදුසුකම, කුලය.

මොනතරම් ලොකු වැරැද්දක් ද?

“අම්මා අපිට කොහොමවත් කැමැත්ත දෙන්නේ නෑ හරිත..” මම අන්තිමට අඬලා අඬලා තීරණයක් ගත්තා.අම්මාගේ කැමැත්තට ඉඩ දෙන්න.අම්මා පස්සේ කැමති වෙන නිසා කාටත් නොකියා කසාද බඳින්න කියලා යාළුවෝ කියපු දේවල් පවා මම ප්‍රතික්ෂේප කළා.

“අප්පච්චිත් නැතුව අම්මා මාව හදාගත්තනෙ..” මම හැමෝටම එහෙම කිව්වා.

“මම ඔයත් එක්ක තරහ නෑ අමාලි.මං නැතුව ඔයා සතුටින් ඉන්නව නම් මට ඒ ඇති.අම්මා ඔයාට හොඳ කෙනෙක් හොයල දෙයි..”

හරිත කාලයකට රට හැර දාලා යන්න කලින් මට කිව්වේ එහෙමයි.

අලුත් ඔෆිස් එකේ කාවින්ද මං ගැන විමසිලිමත් වෙනවා වැඩියි කියලා මට තේරුණා.ආදරයක් නැති ලෝකෙක තනි වෙලා හිටපු මට කාවින්දගෙ හිනාව පෙනුණේ හරි ලස්සනට.කාවින්දත් නරක කෙනෙක් නෙමෙයි.තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගත්ත දියුණු වෙමින් ඉන්න කොල්ලෙක්.

“නංගිලා මල්ලිලා හතර පස් දෙනෙක් ඉන්න පවුලක වැඩිමලා.හරි ෂෝක්නෙ.ඔහොම හිඟන පවුල්වල කොල්ලන්ට නංගිලාට මල්ලිලාට බලනවට වඩා වැඩක් නෑ.අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්නවා..”

අම්මා කාවින්දත් ප්‍රතික්ෂේප කළා.

“මට හරිතව අමතක කරන්න අමාරුයි.මං ඔයාට ලං වුනොත් වෙන්නේ අසාධාරණයක්..”

අම්මා ගැන මොකුත්ම නොකියා මම කාවින්දට එහෙම කිව්වා.කාවින්ද සුහද හිනාවකින් ඒ බලාපොරොත්තුව අතැර ගත්තා.

මම ආයේ ආදරයක් ගැන හිතුවේ නෑ.ඒත් අම්මා කපුවන්ට වැඩ පවරන එක නැවැත්තුවේ නෑ.හැම සති අන්තිම එක එක ජාතියේ මනමාලයෝ අපේ ගෙදර ආවා.කුලය, රස්සාව, පවුල, ඉස්සරහ දත් ඇද එක, කළු පාට වැඩි වීම වගේ දාහක් හේතු අම්මා කියන්න ගත්තා.මම අම්මාට ඕනෑ එකක් කරගන්න ඇරලා මගේ පාඩුවේ හිටියා.

කසාද බඳින්නේ මං තමයි.ඒත් අම්මාගේ ටෙස්ට් එක පාස් වෙන මිනිහෙක් මේ ලංකාවේ ඉන්න විදියක් නෑ.

ඒත් අම්මා අම්මාගේ බෑනාව හොයා ගත්තා!

කපටි පාට පිරිලා ඉතිරිලා ගිය සංජීව මගේ හිතට ගෙනාවේ අපුලක්.සංජීව මට වඩා අවුරුදු අටක් වැඩිමල්.

“ඉතිං? අප්පච්චි මට වඩා දාහතරක් වැඩිමල්..”

අම්මා කිව්වෙ සැරෙන්.කපටියෙක් සහ රහස් ගුහාවක් වගේ පේන සංජීව එක්ක විවාහ වෙන්න මං හිත හදා ගත්තේ ඇයි කියලා මට තේරුණේ නෑ.ඒ අම්මාට තියන ආදරේ වෙන්න ඇති.

මුව හමක් පොරව ගත්තු අම්මාගේ වෘක බෑනා තමන්ගේ සැබෑ වර්ණ එළියට දෙන්න පටන් ගත්තා.ගුටිබැට වලින් මුහුණ නිල් පාටවෙනකොට මම කෙළවරක් නැතිව නිවාඩු ගන්න පටන් ගත්තා.මගේ හැම රත්තරන් බඩුවක්ම තියෙන්නේ බැංකුවේ, උකස් සේප්පුවේ.සංජීව ඒවාගෙන් මොනවා කරනවද මම දන්නේ නෑ.විකෘති ලිංගික ආශාවන්, බේබදුකම්, නාස්තිකාරකම් දරාගෙන මේ වලව්වේ හාමු එක්ක තවදුරටත් ඉන්න බැරි බව මම අම්මාට කිව්වා.

“වැදගත් පවුල්වල ගෑනු දික්කසාද වෙන්නේ නෑ.දරුවෙක් ලැබුණම හරියයි.අප්පච්චිත් ඔයා හම්බුනාට පස්සේ තමයි බොන එක අඩු කළේ..”

අම්මා කියන්නේ එහෙම.ඉවසීම අවසන් වෙන තැනත් මම ඉවසුවා.මගේ වැටුපේ අන්තිම රුපියල දක්වාම සංජීව පැහැර ගනිද්දී පවා මම ඉවසුවා. පහරකෑම් වලින් නිල් වුණු අතපය වැහෙන්න දිග ඇඳුම් අඳිමින් මම ඉවසුවා.
අම්මා හොයලා දුන්නු සහකාරයා හොඳම කෙනා කියලා ඔප්පු කරන්න අම්මා කාලය නාස්ති කළා.

“මං මේ ඔයාගේ යාලුවෙක් විදිහට කියන්නේ.හොඳ රස්සාවක් තියෙනවා නම් ඇයි ඔයා බයවෙන්නේ.ඔය මිනිහගෙන් දික්කසාද වෙන්න..”

මං එයාගෙ ආදර යෝජනාව ප්‍රතික්ෂේප කරපු ඇත්තම හේතුව පස්සේ දැනගත්තු කාවින්ද මට කිව්වේ තදින්.එයාගේ බිරිඳ නෙතූත් ඒ යෝජනාවට පෝර දැම්මා.ඒත් මං අම්මා කියන දේ අහලා දරුවෙක් හදා ගත්තා.

ලෝකය දකින්න බලාගෙන හිටපු ඒ පුංචි කළලය හේදිලා ගියා.සංජීව ඒ තරම් තදින් මගේ බඩට ගහලා තිබුණා.අන්න එදා මම ඇඳුම් බෑග් එකත් අරගෙන එලියට බැස්සා.

“මම ගෙදර ගියොත් අම්මා පපුවෙ අමාරුව හදා ගනී…”

මං හූල්ලනකොට නෙතූත් කාවින්දත් මට ඇනෙක්ස් එකක් හොයලා දුන්නා.

“මේ මිසිස් කළුආරච්චිගෙ නම්බර් එක.එයා තමයි ඔයාගේ ඩිවෝස් එක කතා කරන්නේ..”

කාවින්ද මට ඒ අංකය දුන්නු දවසේ අම්මා මට කතා කළා.දික්කසාද වෙන ගෑණුන්ට අනාගතයක් නැති බව කියමින් අම්මා හඬා වැලපෙන්න ගත්තා.ඒත් වැරදි කසාද වලට අහුවුණු ගෑණුන්ට ඊටත් වඩා අනාගතයක් නැති බව මම අම්මට කිව්වා.

අම්මගේ නම්බුව වෙනුවෙන් ආපහු හැරෙන්න මට ඕනේ උනේ නෑ.අම්මා හොයලා දුන්න මනමාලයා මගේ ජීවිතය විනාස කරල දාපු බව මම අම්මට කිව්වා.අම්මා තවම ඒ කතාව පිළිගන්නේ නෑ.ගැහැනියක් හැටියට ඉවසුවා නම් සංජීව හදාගන්න එක මහ දෙයක් නොවෙන බව අම්මා තාමත් කියනවා.

“කුලේ, පවුල් බර ගැටළුවක් වෙන්නේ නෑ අම්මේ.ගැටලුව තියෙන්නේ මිනිසුන්ගෙ හැදියාව කියන දේ .සංජීවට ඒක නෑ.කුලය කියන මුවහම වැහිලා තිබුණෙ වෘකයෙක්ගෙන්..”

අම්මා ඒත් මට සමාව දුන්නේ නෑ.දික්කසාද වුණු දුවට ගෙදර දොර නාරින බව අම්මා තදින් කිව්වා.මම හිනා වුණා.වයසට ගියත් සමහර මිනිස්සු වෙනස් නොවන බව මම දන්නව.

“අමාලි, මම ඔයාගේ යාලුවෙක්ට කතා කළා..ඔයා එහෙට යනවද, එයාව මෙහෙ ගෙන්නන්න ද?”

දික්කසාද නඩුව ඉවර වුණු දවසේ කාවින්ද මගෙන් ඇහුවේ හිනා කටක් පුරවාගෙන.

“හරිත තාම බැඳලා නෑ..” ඊටත් පස්සේ කාවින්ද කිව්වා.

“කාවින්ද,මං ඒකට කැමති නෑ.හරිත ව රිජෙක්ට් කරේ මම.මම කසාදෙන් අසාර්ථක වුණා කියලා එයා ආපහු මාව බාර ගන්න ඕනේ නෑ .ඒක මහා අසාධාරණ වැඩක්..”

කාවින්ද මං දිහා බලලා හිනා වුණා.ඒ හිනාවේ තිබුණේ තමන්ගේ තීරණය වෙනස් නොකරන බැල්මක්.

“හරි අක්කා..සංජීව කියන්නේ ඔයාගේ අම්මා හොයපු කෙනානෙ.හරිත තෝරාගත්තේ ඔයා.අම්මා හරි කෙනා තෝරා ගත්තේ නෑ කියලා ඔප්පු වුණා .ඔයාගේ තෝරාගැනීම තවමත් හරි කියලා ඔප්පු කරන්න..ඔයා තාම පරක්කු නෑ අක්කා..”

නෙතූ යන්න කලින් මට එහෙම කීව බව මතකයි.

මං තවමත් හරිතගේ අංකය අතේ තියාගෙන කල්පනා කරනවා.අම්මාගේ තීරණය වැරදුණා.මගේ තීරණයෙන් ආපහු ජීවිතේ පටන් ගන්නවද කියලා මං තාම හිතනවා.

තමන්ගේ සහකාරයා තමන් තෝරා ගන්න ඕනෑ කියන පැහැදිලි සත්‍යය මම මීට කලින් කල්පනා කළානම්! එහෙනම් ජීවිතයේ හොඳම අවුරුදු කිහිපය මෙහෙම නාස්ති වෙන එකක් නෑ.

More Stories

Don't Miss


Latest Articles