හේමන්ත සන්ධ්‍යා – 49

විවාහ ලියාපදිංචියක් හා දික්කසාද නඩුවක් අතර වන්නේ අහසට පොළොව තරම් පරතරය කි. එය වටහා ගන්නට නම් දික්කසාද නො වුණත්, නඩුවක් ඇසෙන උසාවියක ඒ අත්දැකීම විඳ ගත යුතු ය. කාලයක් තිස්සේ එක් ව ජීවත් වූ අඹු සැමියන් ඔවුන් ගෙන් වෙන් වීම පතා, මහ පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කරනා හේතු, අසා සිටින්නට බැරි තරම ය. 

මංජුල ඉල්ලා සිටින ඕනෑ ම වන්දි මුදලක් ගෙවන්නටත්, ගෙවා ඉක්මනින් දික්කසාද නඩුව අවසාන කර ගන්නටත් විදත් ට ඕන විය. නමුත් නිකිනි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය ඊට එකඟ වූයේ නැත.

“මංජුලත් එක්ක සම්බන්දකං පවත්තපු ගෑනු ළමයෙක් අපේ පැත්තෙ ඉන්න එකේ ඇයි අපි වැරදි කාරයට එහෙම ලොකු වරප්‍රසාදයක් දෙන්නෙ…”

ඇය එක හෙළා කීවා ය.

“ඒත් ගුවනිව උසාවි ගෙනියන්න මං කැමති නෑ”

නිකිනි ගේ තීරණය එය විය.

“මොනා වුණත් එයා මැරි කරල නැති ගෑනු ළමයෙක්. මංජුල එක්ක මොන විදිහෙ සම්බන්ධයක් තිබුණත් ඒ ළමයට අනාගතයක් තියෙන්න ඕන නේද…ප්‍රසිද්ධියේ උසාවියට ඇවිත් අනියම් සම්බන්ධයක් තිබුණයි මං වෙනුවෙන් සාක්ෂි දීල ඒ ළමයගෙ අනාගතේට කැළලක් ඉතුරු කරන්න මට බෑ”

ගැහැනියක වශයෙන් තවත් ගැහැනියක ට අවමන් වන කටයුත්තක් කරන්නට තරම් නිකිනි කොහොමත් දැඩි සිත් ඇත්තියක නොවේ. ගුවනි වගේ සිය හදවතට වඩාත් සමීප වූ අයෙකු හට එසේ කරන්නට කොහෙත් ම ඇය ට නො හැක.

“ඔයා හරි. ඒක තමයි මං කියන්නෙ අපි මේ සල්ලි ටික ගෙවල දාමු කියල”

විදත් නිකිනි ට එකඟ වූයේ ය.

“ඒත් ඒක නරක මිනිහෙකුට කරන අනුග්‍රහයක් වෙනව. මේ ඩිවෝස් එක වෙන්න හේතුව මංජුලට වෙනත් සම්බන්ධයක් තිබුණ එක මිසක් නිකිනි ට වෙන විවාහයක් කර ගන්න ඕන වුණ එක නෙවෙයිනෙ. මංජුල ලෝකෙට පෙන්නන්න හදන්නෙ එහෙම දෙයක්. ලෝයර් කෙනෙක් විදිහට නෙවෙයි. ගෑනු කෙනෙක් විදිහට මට ඒක වෙන්න දෙන්න බෑ නිකිනි”

ගුවනි ට මංජුල ගේ පාර්ශවයෙන් යම් අනතුරක් වෙන්නට ඉඩ ඇති බැවින් ඈ ගැන සැලකිලිමත් විය යුතු යයි නීතීඥවරිය දන්වා සිටියා ය. ඒ අනුව ගුවනි නිකිණිගේ ගෙදර දින කිහිපයක් රැඳෙන්නට සහස් විසින් ගෙනැවිත් තිබුණේ ඈ හෝ නො දැන ය.

“ගුවනි මේ වෙලාවෙ ඉන්න ඕන හොඳම තැන අපේ ගෙදර. මංජුලය ගුවනිව ඉස්සුවොත් එහෙම ඔක්කොම ඉවරයි”

ඇය කැටිව ඇවිත් ඔහු කීවේ ලොකු මිනිසෙකු සේ ය. විදත් කට ඇද කොට සිනහ වුණේ ය.

“ඇයි ඇයි දැං ඔයා නක්කලේට වගේ හිනා වෙන්නෙ…”

“නෑ ඉතිං ..උඹ මේව කරන්නෙ ඇත්තටම අක්කට ආදරෙංද කියලයි මං මේ හිතුවෙ”

“මං මොළේ කල්පනා කරල වැඩ කළේ නැත්තං ඔයා අදත් ඔසී වලට වෙලා වේලි වේලි ඉඳියි හරිද මස්සිනා…”

“හරි හරි අපි ඉතිං ඒව අමතක කරනව කිව්වෙ නෑනෙ”

නිකිනි ගුවනි ව සිය කාමරය වෙත කැටිව ගියා ය. ඇගේ මුහුණේ වූයේ දෙගිඩියාවකි. මීට පෙර නුවර එළියේ ගිය අවස්ථාවේ පාලිකා ගේ රැවුම් ගෙරවුම් වලට ලක් ව සිටි ගුවනි මේ ගමන ආවේ කැමැත්තකින් ම නොවේ.

“වෙන ආරක්ෂිත තැනක් තිබුණනං මං මෙහෙ එන්නෑ මිස්. මංජුල සර් ගෙන් බේරෙන්නනං මෙහෙ ඇර වෙන මට හැංගෙන්න පුළුවන් තැනක් නෑ”

ඇය කීවේ අසරණ සිනහවකින් වත සරසා ගෙන ය. සිය හදවත හෝස් ගා දැවෙනවා නිකිනි ට දැනිණ. මංජුල නොමැති වූවා ට නිකිනි ට පවුලක් තිබේ. ලෝකයක් ම තිබේ. නමුත් ගුවනි වූ කලී කාත් කවුරුත් නැති, ලෝකයෙහි තනි වූ කෙල්ලකි. ආදරය සොයා ගෙන මංජුල වෙත සමීප වූ ඇය ට අවසන සිදු වූයේ ඔහු ගේ අනියම් බිරිඳ ගේ තත්වයට පත් වන්නට ය.

“මට දුක ඔයා ගැන ගුවනි. කොටිංම ඔයාව උසාවි ගෙනියන්න මං කැමති නෑ”

“ඒකනං මොකද්ද මිස්…කොහොමත් දැං මට අනාගතයක් කියල දෙයක් නැති වෙලා ඉවරයි. ඒත් මිස්ට එහෙම නෑ. මිස් වෙනුවෙං කරන්න පුළුවන් ඕන ම දෙයක් මං කරනව”

“එහෙම කියන්න එපා ගුවනි”

නිකිනි සුසුමක් හෙළුවා ය.

“මාත් එහෙම හිතං හිටපු කාලයක් තිබුණා”

“ආදරයක් කොහොම වුණත් මං කසාදයක් ගැන නං හිතයි කියල මට විශ්වාසයක් නෑ මිස්. මිස් ට මංජුල සර් ගෙන් අසාධාරණයක් නොවුණොත් මට ඇති. කිසිම වරදක් නොකළ මිස් ඇයි වැරදි කරපු කෙනාට වන්දියක් ගෙවන්නෙ…”

“මේ නඩුව නං ඉවර වුණා කියමුකො. ඒත් ඊට පස්සෙ…මංජුල ඊට පස්සෙ ඔයාට කරදරයක් කළොත් එහෙම…”

ඒ නිකිනි ගේ හිතට වද දුන් බලවත් ම කාරණයයි. මංජුල කියන්නේ කෙබඳු මිනිසෙකු දැයි දැන් ඇය හොඳින් දන්නී ය. ඔහු ට කරන්න බැරි නරක දෙයක් නැත. 

නමුත් ගුවනි මඳ සිනහවක් නගා ගත්තා ය.

“මට ඉතිං තව කරන්න පුළුවන් කරදරේ මොකද්ද මිස්…වැඩිම වුණොත් මරල දාන එකනෙ කරන්න ඉතුරු…”

“ගුවනි…”

“මිස් බය වෙන්න එපා. මට මං ගැන බලා ගන්න පුළුවන්. මේ දවස් ටිකේ පරිස්සං වෙන එක හොඳයි කියල මාත් හිතුවෙ…නඩුව ඉවර වෙන්න කලින් ප්‍රශ්නයක් දාගෙන අපි පරාද වෙන්න ඕන නැති නිසයි”

ඇය නමින් මහත් ස්නේහයක් හදවතෙහි පිරෙනවා නිකිනි ට දැනිණ. ගැහැනියක ගේ ආත්මය වඩාත් හොඳින් විනිවිද දැකිය හැක්කේ තවත් ගැහැනියකට ම ය. පුරුෂයන් නිතර ම සිය බිරිඳ ව ඔහු ට සමීප වෙනත් ගැහැනුන් ගෙන් බිඳවා තබන්නට හදන්නේ ඒක ය. ගැහැනුන් එක් පාර්ශවයක් ව එක ඇසකින් යමක් දකින්නට තැත් කරත්දී ඔවුන් සමග දිනන එක පිරිමියෙකු ට පහසු දෙයක් නොවේ!

“මං ඔයාව අමතක කරයි කියල හිතන්නෙපා ගුවනි. ඔයා දැං මගෙ කෙනෙක්. මගෙ පවුලෙ කෙනෙක්. අපි ඉන්නකල් ඔයා කවදාවත් අසරණ වෙන්නෑ”

“අනේ මිස්…”

ගුවනි ගේ ඇස් වලින් ක්ෂණික කඳුළක් ගිළිහිණි. නිකිනි ඇය ව වැළඳ ගත්තා ය. ඒ හුදු වැළඳ ගැනීමක් පමණක් ම නොවේ. නිකිනි ඇගේ ම හදවතට ගුවනි වෙනුවෙන් පොරොන්දුවක් දුන්නා ය.

ඔවුන් බලාපොරොත්තු වූවා සේ ම ගුවනි ව ගෙදර නවතා ගැනීම ගැන පාලිකා උරණ වූවා ය.

“මේ ගෙදර ඉලන්දාරියෙක් ඉන්නව. ඒක දැනගෙනද කෙල්ලෙක් ගෙනත් මෙතන නතර කර ගත්තෙ…ඊටත් කෙල්ලෙක්ද…”

“ඔය විදිහට කතා කරන්න එපා නැන්දි”

නිකිනි වහා කතා කළා ය.

“ඔයත් ගෑනියෙක්. ඔයාටත් දුවෙක් ඉන්නව”

“මගෙ කෙල්ල ඔහොම කසාද බැඳපු පිරිමිංගෙ ඇඟේ එල්ලෙන්න ගිහින් නෑනෙ”

“පාලිකා…අපි කවුරුත් මිනිස්සු. අපිට මොනා වෙන්න තියෙනවද කියල ඒ දේ වෙනකල් අපි කවුරුත් දන්නෙ නෑ”

සුමනා මැදිහත් නො වන්නට නිකිනි ට පාලිකා මෙල්ල කළ නො හැකි වනු ඇත.

“අම්මත් දැන ගන්න ඕනෙ ගින්දරයි පුළුනුයි ලං කළහම ඇවිලෙනව කියල. කොල්ලො කියන්නෙ කොල්ලොනෙ. මේ අම්මණ්ඩිල ඉතිං කාගෙ හරි ඇඟේ එල්ලෙන්න බලං ඉන්න ජාතියෙනෙ”

“මොනාද අම්මෙ ඔයා මේ කියවන්නෙ…”

සහස් ඒ වෙලාවේ එතැනට එතැයි පාලිකා නො සිතන්නට අත. ඇය සිය පුතු දෙස රවා බැලුවා ය.

“මං ගුවනිට කැමතියි තමයි. හැබැයි ඒ ළමය මට කැමති නෑ. අන්න ඒකයි අවුල. එයා මට කැමතියිනං අම්ම කොච්චර එපා කිව්වත් මං ගුවනිවමයි බඳින්නෙ”

සහස් පාලිකා ට තදින් එසේ කියා නික්ම ගියේ ය. නිකිනි ගේ හද ගැස්ම වේගවත් වී තිබිණි. සහස් මේ තරම් ඍජු ලෙස සිය සිතැඟි හෙළි දරවු කරාවියි ඇය වුව සිතුවේ නැත.

“පාලිකා බොරුවට කලබල නොවී ඉන්න. දැං ඉන්න ළමයි වෙනස්. බුද්ධිමත්. ඒ ළමයි එක්ක ගනුදෙනු කරන්න ඕනෙ පරිස්සමෙන්…”

සුමනා සන්සුන් ව ඒත්තු ගන්වන්නට හැදුවා ය. පාලිකා නිකිනි දෙස රවා බැලුවා ය.

“මෙයා ගෙනාවොත් ගේන්නෙ කුණු ගොඩක්මයි”

ඇය ගස්සා ගෙන ගියා ය.

සහස් පසු වූයේ සතුටෙන් බව පෙනිණ. ප්‍රේමය එහෙම බව දැන් නිකිනි දනී. එය කිසිදු තරාතිරමක් හෝ තත්වයක් සලකන්නේ නැත. එය ඉව කරන්නේ ප්‍රේමය ම පමණි. එය හඳුනන්නේ ද ප්‍රේමය ම පමණි.

ඒ ගැන මුල දී තිබුණ දෙගිඩියාව දැන් නිකිනි ගේ සිතේ නැත. මංජුල සමග විවා පත් ව හිඳ විදත් ට පෙම් කරන්නට ඇය ට හැකි නම්, මංජුල ට පෙම් කරමින් හිඳ පසු ව සහස් ට පෙම් කරන්නට ගුවනි ට නො හැකි වන්නට කාරණා කිම?

“මල්ලා ඔයාට කැමතියි වගේ”

ආසන්න දිනෙක රාත්‍රියේ ටෙරස් එකට වී මල් සුවඳ සුළඟ විඳිමින් සිටිනාතර නිකිනි එසේ කීවේ ගුවනි ගේ සිතැඟි ඉව කරනු වස් ය. ඇය නිරුත්තර වූවා ය. 

“මල්ලා කවදත් හිතට එකඟව එයාට දැනෙන දේ කරපු කෙනෙක්”

“මිස්ගෙ මල්ලි හොඳ කොල්ලෙක් කියල ඇස් දෙක පියා ගෙන වුණත් කියන්න පුළුවන්. එයාට ඒ වගේම හොඳ කෙල්ලෙක් ලැබෙයි දවසක”

“එයා ඔයාට කැමතිනං…”

“මං මිස්ට කියල තියෙනවනෙ. මට කසාදයක් ගැන හිතන්න පුළුවන් වෙයිද කියල මං දන්නෑ. ඩිග්‍රි එක ඉවර වුණාම ජොබ් එකක් හොයං නිදහස් ජීවිතයක් ගත කරනව කියල තමයි දැනට මං හිතන් ඉන්නෙ”

“කසාද ගැන හිතන්නෙ පස්සෙනෙ….මුලිං ඇති වෙන්නෙ ආදරයක්නෙ…මන්දා ඔන්න ඔයා මගෙ නෑනා වෙනවට මගෙනං කිසි අකමැත්තක් නෑ”

ගුවනි හිටියේ බිම බලා ගෙන ය. ඇය මොන තරම් අහිංසක ද කියා නිකිනි ට සිතිණි. ඒ වගේ අවිහිංසක කෙල්ලන් රවටා ඔවුන් ගේ ජීවිත විනාශ කරන පිරිමින්, දිනෙක ඒ අහිංසකාවන් අංගුලිමාලියන් වෙන එක ගැන වගකිව යුතු නොවේද?

ඒ ටික දින තුළ ගුවනි විශ්ව විද්‍යාලය වෙත ගියේ නැත. වෙනදා ට නිකිනි අතින් සිදු වූ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තු වලට ඇය සම්පූර්ණයෙන් මැදිහත් වූවා ය. 

“නිකිනි මේ ගෙදරිං යන්නෙ තව නිකිනි කෙනෙක්ව මේ ගෙදරට හොයල දීල”

ඩෙස්මන් හඬ නගා සිනහ වුණේ ය. 

“අනේ පප්පා”

ගුවනි වත රතු කර ගත්තා ය.

“මිස් එක්ක මාව කම්පෙයා කරන්න හිතන්නවත් එපා. මං කවුද…”

“එහෙම කියන්න එපා කෙල්ලෙ. උඹ මනුස්සකං වලිං පිරිච්චි කෙල්ලෙක් බව කවුරු නැතත් මේ මං තේරුං අරං තියෙන්නෙ”

නිකිනි ගේ හදවතට දැනුණේ සැනසීමකි. බිනුරි අරබයා ඩෙස්මන් සේ ම සුමනා ද කවදාවත් ලොකු බලාපොරොත්තු ඇතුව කතා කොට නැත. තමන්ගේ ක්ෂුද්‍ර පවුල ගැන පමණක් හිතනා බිනුරි නිසා නො දැනී ඇති විදිහේ ශක්තියක්, නිකිනි ටත් ගුවනි නිසා දැනේ. විටින් විට විදත් සමග විදෙස් ගත වන්නට සිදු වුව ද ගුවනි ඩෙස්මන් ට හා සුමනා ට සමීප ව හිඳී නම් නිකිනි ට හිතට බරක් නැති ව ඒ ගමන් ගොස් එත හැකිය.

සාක්ෂි කාරියක වශයෙන් ගුවනි ව කැටිව එන්නයි නීතීඥවරිය විසින් උපදෙස් ලබා දී තිබූ නඩු දිනයේ උදෙන් ම මංජුල ගෙන් නිකිනි ගේ දුරකතනය ට ඇමතුමක් ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles