“දික්කසාදෙන් පස්සේ ජීවිතේ ලේසි නෑ..”
මට එසේ පැවසුවේ ළඟම උදවිය ය.එය අසත්‍යයක් නොවන බව දනිමි.තාත්තා කෙනෙකුගේ ආදරය අහිමි දරු දෙදෙනෙකි; තනි ගැහැනියකි.පවුල යැයි කියන්නේ මෙතැන් පටන් අප තිදෙනා ට ය.
“ගෙවල් කුලී දීලා දරුවන්ගේ ඕනෑඑපාකම් බලන්න ඔය පඩිය මදි.ඔයා ගෙදර එන්න ලොකු දුවේ..”
අම්මා මගෙන් ඉල්ලුවා ය.නමුත් ඈත ගම්මානයක ජීවිතය දරුවන්ට පහසු වන්නේ නැත.දික්කසාද වූයේ අප ය.ඔවුන් එයට දඬුවම් විඳිය යුතු නැත.
ලංකාවේ ගැහැනියකට “Single parent” කෙනෙකු වීම පහසු නොවේ.මට ධනුකගේ වන්දිය දරුවන් නඩත්තුවට ප්‍රමාණවත් නොවිණ.රාජ්‍ය සේවිකාවක වූ මට ලැබෙන වැටුප සොච්චමකි.එහෙත් සටන අත හරින්නට නොහැකි බව මම දනිමි.
“ඔයාට තියෙන්නේ ආයේ මැරි කරන්න..”
සමහර මිතුරියන් සැබෑ ආදරයෙන් පවසන්නට විය.පාසල් යන වයසේ දරු දෙදෙනෙකු හිඳින හතලිස් හැවිරිදි අම්මා කෙනෙකුට දෙවැනි විවාහයක් අනවශ්‍ය බව මම පැවසුවෙමි.
“විකාරනෙ..මිනිස්සුන්ට ආදරේ කරන්න, බඳින්න වයසක් නෑ.”
මගේ හොඳම මිතුරිය කාංචනා කියන්නේ තරහිනි.සැබෑවකි.ආදරයට වයස් සීමාවක් නැත.මිනිසුන්ට විවිධ තෝරා ගැනීම් ඇත.ආදරය සහ විවාහය ද ඒවාට අයත් ය.නමුත් මට දෙවැනි විවාහයක් යන තෝරා ගැනීම අවශ්‍ය වූයේ නැත.ඒ වෙනුවට මම දරුවන්ට අම්මාත් තාත්තාත් වීම තෝරා ගතිමි.
“අම්මේ මට ට්‍රිප් එක යන්න සල්ලි දෙනවද?” එවැනි කුඩා ඉල්ලීම් අතීතයේ දී පැමිණියේ මට ය.නමුත් පරිගණකයක්, වයලීනයක් වැනි අවශ්‍යතා ද පැමිණියේ ය.අමතර පන්තිවල ගාස්තුව දවසින් දවස ඉහළ යන්නට විය.
“ළමයි ඔයාගෙ විතරක් නෙවෙයිනෙ.තාත්තෙක් ඉන්නවනෙ.වන්දිය දීලා ශේප් වෙන්න දෙන්න එපා.දූටයි පුතාටයි කියන්න අමාරුකම් ගැන කියන්න කියලා..”
කාංචනාගෙන් යළිත් උපදෙස් පැමිණියේ ය.
“මගේ පවුල මගෙ දුවයි පුතයි කාංචනා.ඒත් ධනුකට තව පවුලක් තියනවා.ආශාටයි එයාටයි තව දරුවෙකුත් ඉන්නවා..”
මට කියන්නට තිබුණේ එපමණකි.
විවාහය තුළ ධනුක මා රැවටීමට ලක් කළේ ය.අපේ දික්කසාද නඩුව අවසන් වෙද්දී ආශාට දියණිය ලැබී තිබිණ.වෙනත් ගැහැනියක වෙත ගිය ධනුක මට පමණක් නොව මගේ දරුවන්ටත් ද්‍රෝහි වූ බව මම සිතමි.එනිසාම ඔහුගේ මුදල් මගේ දරුවන්ට අවශ්‍ය නැත.
“ළමයින්ට දුක් දෙන්නෙ ඇයි?”
පුතුගේ අටවැනි උපන් දිනය දා ධනුකගෙන් ඇමතුමක් පැමිණියේ ය.මම කෝපය වාවාගතිමි.
“පුතා මට කෝල් කරා.බර්ත්ඩේ කේක් එකයි බයිසිකලේකුයි ඉල්ලනවා..”
කුඩා දරුවෙකුට ආශාවන් පවතී.ඔහු අම්මාට මුදල් නැති තැන තාත්තාට දුක කියා ඇති බව මට වැටහිණ.මම පුතුට දොස් නොකීවෙමි.එහෙත් ඔහුගේ ඊළඟ උපන්දිනයට ඉල්ලන ඕනෑම දෙයක් රැගෙන දෙන අම්මා කෙනෙකු වීමට මට ඕනෑ විය.රැකියාවෙන් ප්‍රාතිහාර්යයක් පාන්නට නොහැකි ය.කළ හැකි දෙයක් ද සිහියට නොයේ.පාසල් නිවාඩුව වෙනුවෙන් අප ගමට ආවේ ඒ වේදනාත්මක සිතුවිලි මා පාරවද්දී ය.
“අම්මී..අත්තම්මගෙ ගස්වල අඹ ඉදිලා වැටෙනවා.අපි ජෑම් හදමු..”
දියණිය අලුත් යෝජනාවක් කළා ය.අන්තර්ජාලයේ රෙසිපියක් මට උදව් විණි.වෙළඳපොළේ රසට වඩා නැවුම් රස ජෑම් බඳුන හිස් වූයේ ඉක්මනින් ය.
සිහිනය ඇරඹුණේ ද එතරම් ම ඉක්මන්ව ය.
මගේ ගම කඳුකර ගම්මානයකි.එහි ඉදී අපතේ යන පළතුරු අප්‍රමාණ ය. Organic foods සඳහා නගරයේ ඇති ඉල්ලුම මම හොඳින් දැන සිටියෙමි. වසවිස නැති පළතුරු වලින් සැකසූ රසකාරක නැති ජෑම් බෝතල් අලෙවි කරන්නට මම මුලින්ම ෆේස්බුක් කාන්තා සමූහයක් තෝරා ගතිමි.
පළතුරු බීම ද, අච්චාරු වර්ග ද සකසන අදහස පැමිණියේ ඉන්පසු ය.වැල් දොඩම් ජෑම්, ජම්බු ජෑම්,ලොවි ජෑම්,පේර ජෑම් වැනි මගේම නිෂ්පාදන ෆේස්බුක් අඩවියෙන් ඉවතට ව්‍යාප්ත වන්නට මාස හයකටත් වඩා අඩු කාලයක් ප්‍රමාණවත් විණි.සුපිරි වෙළඳ සැල් ජාලයකට මගේ නිෂ්පාදන හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ මගේ මිතුරියකට ය.
ආදරය මට හලාහල විෂක් විය.නමුත් මම ෆීනික්ස් කිරිල්ලක වී නැගී සිටියෙමි. කාබනික එළවළු,පලතුරු සහිත ගොවිපළක සිහිනය ඉටු කරගන්නට තවත් වසරක් ගෙවී ගියේ ය.
“වස විස නැති ආහාර” ඒ මගේ ප්‍රතිපත්තිය ය.මම ඉන් කිසිම මොහොතක නොමිදුණෙමි.රසායනික පොහොර නොයොදා සකසන එළවළු පළතුරු අපනයනය කිරීම මගේ ඊළඟ අරමුණ ය.මිහිරි සුවඳැති ජෑම් ද ප්‍රණීත පළතුරු බීම ද විදෙස්ගත වීම අරඹා දැන් ටික දවසකි.
“මේක හරි ලස්සන සටනක්..”
අලුතින් ඉදි වූ මගේ නිවහනේ සඳැල්ලට වී හිඳින අතර කාංචනා කියයි.මම හිනැහෙමි.
මේ ධෛර්යමත් අම්මා කෙනෙකු ධෛර්යවන්ත ලෙස ආ ගමනකි.මට තව යා යුතු දුර ද අප්‍රමාණ ය.
(කාන්තා ඔබ ධෛර්යමත් ලෙස ආ ගමන ගැන ලියන්න අපි සූදානම්. Smartlady.lk පිටුවට පණිවිඩයක් තබන්න.)