“අක්කා එනවද ගමනක් යන්න..”
නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ ඉඩකඩම් මිනිසුන්ට කුමකටදැයි ඈ සිතන්නට ගත්තා ය.
“කොහෙ යන්නත් කලින් මං ගේ අස් කරල ඉන්නෝනෙ..”
අමන්දී කියද්දී සඳුනි වහා කොස්සක් අතට ගත්තා ය.අම්මා යන්නට පෙර ගෙදර වැඩකටයුතු කරන්නට සඳුනිට උපදෙස් දුන්නා ය.නමුත් ඇය කිසිවක්ම කරන්නේ නැත.හප්පමින් පුප්පමින් නෑනාගෙන් උදව් ඉල්ලීමට අමන්දී ක්‍රියා නොකිරීම නිසා සඳුනි ඉන්නේ සැබෑ සැහැල්ලුවකිනි.
“මං අර යසා නැන්දට එන්න කිව්ව අද ඉඳන්..”
අවිශ්ක මුළුතැන්ගෙයට ආවේ එසේ කියාගෙන ය.අමන්දී ඔහු දෙස හැරී බැලුවා ය.දහඩියෙන් පෙඟී ගිය අමන්දීගේ මුහුණ දෙස බැලූ අවිශ්කට සිහි වූයේ බුලත් හෙප්පුවක් අතැතිව ඔහු වෙතට ආ සියුමැලි කෙල්ල ය.
“අප්පච්චිත් කිව්වා කාවහරි ගෙන්න ගන්න කියල.උයන්න පිහන්නයි ගෙදර වැඩටයි..මේවා ඔයාට කරන්න බෑ අමන්දි.පේන්නෙ නැද්ද දවසට හති වැටිලා ඔයා..”
ඔහුගේ හඬේ ඇත්තේ අනුකම්පාවක්දැයි තරහක්දැයි අමන්දී සොයන්නට විණි.නමුත් ඔහු හිටියේ ආදරය පිරුණු මුහුණකිනි.සඳුනි හඬ නඟා හිනැහුණා ය.
“අක්කා උයන ඒවා අප්පච්චිට හරි ගිහින් නෑ එහෙනං..එක්කො කිරි මදි ඇති..නැත්තං මිරිස් මදි ඇති…”
අමන්දී අවිශ්ක දෙස බැලුවේ තිගැස්මෙනි.වචනයක්වත් නොදොඩන මාමණ්ඩිය තමන් ගැන අපහැදීමෙන්දැයි ඈ සිතුවා ය.
“මෝඩ කතා කියන්න එපා පොඩ්ඩි.අප්පච්චි කියනවා අමන්දිට මේවා කරන්න තේරෙන්නෙ නෑ..බොරුවට මහන්සි කරන්න එපා කියලා..අනිත් එක උයන්න නෙමෙයි යසා නැන්දා එන්නේ.අනිත් වැඩවලට..වී තම්බන්න පවා තියනවා..”
අමන්දි ට දැනුණේ සැනසීමකි.මෙවැනි විශාල ගෙදරක වැඩපළ කිරිම තමන්ට පහසු නොවන බව ඇය දන්නී ය.අවිශ්ක එය වටහා ගනු ඇතැයි ඇය සිතුවේ ම නැත.නමුත් ඔහු දිනයක් තුළ ඇයව අවබෝධ කර ගත්තේ ය.
“උයන්න නම් මට පුළුවං” අමන්දි සිහින් සරින් තෙපලූයේ එබැවිනි.අවිශ්ක හිනැහුණේ ය.”ඔයා රසට උයනවනෙ..” අවිශ්ක අගය කරන්නට නොදන්නා බව අමන්දී සිතා හුන්නා ය.නමුත් ඇය වැරදි ය.ඔහු ඒවා ඉඳහිට පවසන්නෙකි.
“යසා නැන්දා ආවා අන්න..අක්කා යංකො මා එක්ක ගමනක්..”
සඳුනි එසේ කියද්දී අමන්දි අවිශ්ක දෙස බැලුවා ය.කොහේ හෝ යන්නට පෙම්වතාගෙන් අවසර පතන සරසවි මිතුරියන්ට බැනවදින අතීතයක් අමන්දීට තිබිණ.නමුත් ඇය මෙහි දී බොහෝ දෑ කරන්නට පෙර අවිශ්කගෙන් විමසන්නට හුරු වූවා ය.ඒ මේ විවාහය තුළ ඇයට දැනෙන අනාරක්ෂිත බව නිසාදැයි අමන්දී නොදන්නී ය.
“අර මුදිතාට බබා හම්බ වෙලා.කන්න බොන්නවත් නැතුව ඇති..ගිහිං බලන්න හිතුණා..”
සඳුනි අයියාට පැවසුවා ය. ඇය කොහොමටත් අයියා සමඟ ගනුදෙනු කරන්නේ ප්‍රවේසමිනි.අප්පච්චිගේ කනෙන් රිංගා ගිය ද අයියා සමඟ එය අසීරු බව ඇය දනියි.
“ගිහිං එන්නලා..කඩෙන් මොනමොනවා හරි ගන්න.උයන පිහින ඒවා.”
අවිශ්ක පැවසුවේ ය.ප්‍රීතියට පත් සඳුනි කඩය තුළට දිව ගියා ය.
“තව ටිකකින් කට්ටෙට පායනවා.ඔය පොඩි හාමිනේගෙ බයික් එකේ යන්න නම් ඔයාට අමාරු වෙයි..ඔය කියන ළමයගෙ ගෙදරට ටිකක් දුරයි..”
අවිශ්ක තමා මේ පරිසරයේ කටුක බව අත් විඳිනවාට නොකැමති වන්නට ගත්තේ ඉඳුවර ගැන දැන ගැනීමෙන් පසුවදැයි අමන්දී සිතුවා ය.ඇය සුරංගට අමතන්නදැයි සැමියාගෙන් ඇසුවේ එනිසා ය.
“හැමවෙලේම ඌට අඬ ගහන්නත් එපා.මට වැඩිය අපේ එකී අල්ලන් නෑ.ඊළඟට තව මංගල්ලයක්..ඔය සුරංගලා බොනවා එහෙම වැඩී..”
අයියා කෙනෙකුගේ ආදරය ඒ වචන වල ගැබ්ව තිබිණ.තමන් දීග ආ පසු එක ඇමතුමක්වත් නොදුන් මල්ලීව අමන්දීට සිහි විණ.සමහරවිට අයියා කෙනෙකු සිටියානම් මේවා මේ ලෙස නොවන්නටත් තිබිණ.
අව්ශ්ක ගෙන්වා දුන් ත්‍රීවිලයට බඩු පටවා ගත් නෑනලා දෙන්නා ගමන ඇරඹූ හ.ඒ අතර මුදිතා ගැන කතාව සඳුනි අමන්දීට පැවසුවා ය.
“හොඳට ඉගෙන ගන්න පුලුවං අක්කෙ එයාට..කැම්පස් යයිම කියලා අපි හිතුවෙ.විබාගෙට මාසයක් තියෙද්දී පැනලා ගියානෙ..ඔය බබාව හම්බෙන්න ආවලු..අපරාදෙ අප්පා.දැන් ඉතිං හේන්වල වැඩ කරගෙන ඉන්න වෙනවා.බැඳපු මිනිහා අපේ ලොක්කක්කාගෙ පන්තියෙ..අවුරුදු දහයක් විතර වැඩිමල්.”
අමන්දී ඒ අසා ශෝක වූවා ය.ඒ අතර සඳුනි ඇගේ පාසල් මිතුරියකගේ නිවසක් යැයි කටුමැටි ගෙයක් පෙන්නුවා ය.
“අවුරුදු පහලොවෙන් පැනල ගියේ අක්කෙ එයා.අම්මා රට ගිහින් හිටියෙ.යනකම්ම දන්නෑ..”
මේ පළාත්වල දැරියන්ගේ ජීවිත වටා ඇති කඳුළු කතා අමන්දී කියවා තිබුණේ ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාවලිනි.ඒවා ප්‍රබන්ධම නොවන බව අමන්දී සිතුවා ය.කාෂ්ටය පිරුණු බිමක ජීවිත ද වියළී ගොස් අහවර ය.
“අනේ ගුණේ මාමේ..අර ඉස්සරහ යන අක්කා ගාවින් නවත්තන්නකො..”
කුඩා දරුවෙකු වඩාගත් තරුණියක පෙන්වා සඳුනි පැවසුවා ය.ඇය කුඩයක් ඉහළාගෙන ගිනි අව්වේ පයින් ගමනේ යෙදෙන්නියකි.නැවතුණු ත්‍රීරෝද රිය දෙස තරුණිය විමසුමෙන් බැලුවා ය.
“මෙයාට උණ නංගි..බේත් ගන්න ගියා.බස් එක එන්නේ හවසනෙ..පයින්ම ආවා..”
විමසුමකින් තොරවම එසේ කියන තරුණ අම්මාගේ මුහුණේ ඇති වෙහෙස අමන්දී කම්පාවට පත් කරන්නට සමත් විණි.
“මේ සුරේකා අක්කා..අපේ අයියලගෙ පන්තියෙ හිටියේ..අක්කෙ මේ අපේ අලුත්තක්කා..”
සුරේකා!
අමන්දීට ඒ නම වහා සිහිපත් විණි.ඉඩෝරයට හසු වී වියළී නොගොස් මලක් මෙන් පැහැපත්ව හිඳින අලුත් මනමාලිය දෙස සුරේකා ඊර්ෂ්‍යාව සහ ශෝකය අතරමැද බැල්මකින් බැලුවා ය.