ඉඳුදුන්න -52

රට අතැර ගොස් සන්සුන් කාලයක් ගෙවා දමන්නට හිතක් ඉඳුවරට පහළ වූයේ ජානක සෙනෙවිරත්නගේ චිත්‍රපටියේ ගී ගයා අහවර වූ පසු ය.ඉගෙනීම සහ නිස්කලංක ජීවත් වීම උදෙසා අබිනික්මන් කරන්නට ඔහු අනේක වාරයක් සිතී ය.

“මල්ලි ඔය තීරණේ ගන්නේ හැංගිලා ඉන්නවද නැත්නම් ඉගෙන ගන්න හිතාගෙනද?”

රවීෂා ඔහුගෙන් විමසා සිටියා ය.ළමා තරු තරගය නිසා තේමිය සමීප මිතුරෙකු වූ පසු ඉඳුවර රවීෂා සමඟ ද ගෙන ගියේ කිට්ටුවන්ත මිතුරුකමකි.

“රවීෂා හින්දා චානකට සෑහෙන්න දේවල් නැති වුණා.ඊළඟට ඒක වෙන්නෙ උඹට..”

රවීෂා සහ තේමිය සමඟ ඉඳුවරගේ මිත්‍රත්වය දැනගත් ක්ෂේත්‍රයේ මිතුරෙකු පැවසූ කතාව ඉඳුවරට සිහිව ආවේ ය.ඒ හඬෙහි පවා තිබූ අසංවර හඬ ඉඳුවරට මතක ය.

“චානක සහස්ගෙ ගේමක වික්ටිම් එකක්.ගේම්වල වික්ටිම් වෙන මිනිස්සුන්ට ලෝකෙම බැන්නත් ඇත්ත දන්න කීප දෙනෙක් හරි ලෝකෙ ඉතුරු වෙනව. චානක අහිංසක කොල්ලෙක් වුණාට ඉඳුවර අහිංසක කොල්ලෙක් නෙවෙයි.ඒ නිසා මාව ගේම්වලට අල්ලන්න අමාරුයි..අනික රවීෂා දැන් සහස් වගේ ගේම් කාරයෙක්ගෙ වයිෆ් නෙවෙයිනෙ.තේමිය වගේ ඔලුවක් තියන මිනිහෙක්ගෙ කසාද ගෑනි. “

රවීෂාගේ හඬ දිගේ ඉඳුවර ඒ සිදුවීම මත ඇවිද යමින් සිටියේ ය.

“ඉඳුවර,ඔයා මං වගේ හැංගෙනවද නැත්නම් ඇත්තටම ස්ටඩීස් වලටද ඔය යන්නේ?”

රවීෂා යළිත් විමසයි.ඉඳුවර තේමිය දෙස බලා හිනැහී ය.

“මල්ලි,මං වගේ කලකිරිලා දුවන්න එපා.එතකොට දිනන්නෙ රාජකීය ගේම් හදලා අපිව ඒවට පටලෝලා අපි පැරදෙනවද කියල බලන් ඉන්න අය.ඔයා ඇයි ඒ ගොල්ලන්ගෙ සතුටට ඉඩ දෙන්නෙ..”

රවීෂා අසයි.තේමිය මහ හඬින් හිනැහී ඇගේ කර වටා අතක් දමා ගත්තේ ය.

“සහස්ගෙ පචයි මඩයි හින්දා ඩිවෝස් වෙලාද ඔයා ඇමරිකා ගියේ..නැත්නම් ලෝකෙ සාධාරණත්වෙ ගැනයි කාන්තා විමුක්තිය ගැනයි බයිලා ලියන මිනෝලිලගෙ යටිකූට්ටු වැඩ හින්දද?”

ඔහු අසද්දී රවීෂා ඉවත බලා ගත්තේ වේදනාත්මක මඳහසකිනි.

“මිනෝලි ලෝකෙට යහපත කරන කාන්තාව වගේ පෙනී හිටියට සහස්ට රහසින් අත් උදව් දිදී රවීෂාට මඩ ගැහුවා මල්ලි. ඒ එයාගෙ තැන හදා ගන්න. එයාට හොඳ චරිත නොලැබෙන්නේ රවීෂා නිසා කියලා ඔලුවෙන් හදා ගත්තු මඩක ඉන්න හින්දා..මිනිස්සු එහෙම තමයි..”

එසේ පැවසූ තේමිය බිරිඳත් මිතුරාත් දෙස මඳ වෙලාවක් බලා සිටියේ ය.

“ඇතිලිය වළඳට කළුයි කියල වැඩක් නෑ.ඔයාලා දෙන්නම ටැලන්ට් එකක් තියන අය.කිසිම ටැලන්ට් එකක් නැති ඒත් අනුන් කපාගෙනම ඉස්සරහට එන්න බලන මිනිස්සු හදන මාස්ටර් ප්ලෑන්වලට අහු උනාට කමක් නෑ. මිනිස්සු වැටෙන්න ඕන.වැටි වැටි නැගිටින්න ඕන.තමන්ට කවුරුත් නෑ හිතෙනකොටත් කොහොමහරි දරා ගන්න ඕන.ඒත් ඉඳුවර මේවා දාලා දුවන්න හදන්න එපා.මට දෙන්න තියන එකම අවවාදේ එච්චරයි..”

තේමිය එසේ කියා ඉඳුවර සමීපයේ හිඳ ගත්තේ ය.සහස්ගේ දික්කසාදය ද මියෙන්නට තරම් සිතෙන අභූත මඩ ප්‍රහාර ද නිසා වහන් වී හුන් කාලයේ සිත සව්මත් කරන්නට සිටි අල්පයක් මිතුරන් අතර සිටි තේමියව රවීෂාට සිහි විණ.
ඔහු ධෛර්යය සපයා දෙමින් යහපත් මිතුරෙකුව ළඟ සිටි කෙනෙකි.ප්‍රේමය කියන්නේ සහස් ළඟ තිබූ තරමට ආටෝපය පිරුණු එකක් නොවන බව ඉන්පසු කියා දුන් කෙනෙකි.දැන් ඔහු වඩා ආදරණීය ස්වාමි පුරුෂයෙකි.නුදුරේම ඔහු දයාබර පියෙකු බව දන්නේ තමාත් ඔහුත් පමණකි.ජීවිතය පලා යා යුතු දෙයක් නොවන බව කියා දුන් මිනිසා ඉඳුවරට ද නොවැටී හිඳින්නට ශක්තිය දෙනු ඇතැයි රවීෂා සිතී ය.

“මේ දවස්වල ෆේස්බුක් එකෙයි ඉන්ස්ටාවලයි සහසුයි තරිඳියි අහගන්න ඒව දැක්කද?”

තේමිය එසේ ඇසී ය.ඒ පිළිකුල්සහගත කතාන්දර වලට තමන්ගේ නම ද පැටලී යාම ගැන ඉඳුවරට තිබුණේ කෝපයකි.

“ප්‍රෙග්නන්ට් වුණු නිසා ඒ දෙන්නට බඳින්න වෙච්ච කතාව අපි කීපදෙනෙක් දන්නව.ඒත් අපි ඕව ගොසිප් චැනල් වලට දෙන් නෑනෙ.තමන්ගෙ පාඩුවෙ දරුවා උපද්දගෙන සැනසීමෙන් ඉන්න තිබ්බා.ඒත් ප්‍රෙග්නන්සි ෆොටෝස් මාකට් කරන්න ගත්තා.බඩ පෙන්නලා ඇඩ්ස් ගත්තා.දරුවවත් විකුණන්න ගත්තා.අන්තිමට මොකෝ වුණේ..”

ඉඳුවර ඒ සිදු වූ දෙයට අකමැති ය.මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගැන නිදහස ඇත.නමුත් ඒ නිදහස ප්‍රයෝජනයට ගන්නා සහස්-තරිඳි නිසා ඕපාදූප කුණු රස ඇතිව පැතිරෙන්නේ ඉඳුවරට ද පාඩුවේ හිඳින්නට ඉඩ නොදෙමිනි.

“බැන්ද විතරනෙ.ඔය ළමය ඉඳුවරගෙ නේද?”

සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ද ඕපාදූප හොයන්නට ෆේස්බුක් එන ගැහැනුන් ද නොනවත්වාම තරිඳිගෙන් එසේ විමසයි.

“අපේ නිර්මාණ,අපේ අදහස් සමාජගත වුණාම ඇති.පර්සනල් ලයිෆ් එකට එළියට එන්න දෙන්න එපා.සහස්ලගෙන් ගන්න තියන පාඩම ඒක.නැතුව හැංගිල දුවන එක නෙවෙයි.ඉඳුවරට ඉගෙන ගන්න ඕන නම් යන්න.වැකේෂන්වල එහෙම හොඳ සින්දු කරන්න.ෆිල්ම්ස් කරන්න.ටෙලිවලට ඉන්න..මල් නළුවා කියන ලේබලේ කාලෙත් එක්ක අයින් වෙයි මල්ලි.මාත් ඉස්සර විෂුවල්ස් වලට පවා හිටිය එකෙක්..”

ඒ දීර්ඝ කතාබහ සියල්ල අතැර ගොස් තාරකා ජීවිතය බිම තබා සැඟවෙන අදහසින් ඉඳුවර මෑත් කර දැමී ය.ඔහු වඩා වෘත්තීමයභාවයක් පවත්වාගෙන යන අන්දම ගැන සිතන්නට ගත්තේ ය.

තමන්ගේ සහජ කුසලතාවය සඟවා නොගන්නටත් එය මුදල් ඉපයීමේ මාර්ගය කරගන්නටත් තීරණය කළේ තමන්ම බව ඉඳුවර සිතී ය.පලා යමින් නව මාවත් සොයා පල නොමැත.කළ යුත්තේ තෝරා ගත් මග ඉදිරියට යාම ය.කටුක ශීත සමය පවා දරා ගැනීම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles