හසරැලි වැස්සේ – 1

උදා හිරු රැස් වළල්ලේ දීප්තිය මුහුණට වැටෙන්නට අම්මා ජනේලය හරිද්දී මම පොරෝනයෙන් මුහුණ වසා ගතිමි.වසර දහතුනකට පසු සිතූ හැටියට නිදා ගන්නට ලැබුණේ අද නොවේදැයි ඉනික්බිති සිතුවෙමි.තරගකාරී පාසල් අධ්‍යාපනය දරුවන්ට අහිමි කරන දෑ මොනවාදැයි අසන්නේ නම් දෑතම ඔසවා දෙන්නට පිළිතුරක් මට තිබේ.

නින්ද! ඒ මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි.නමුත් මට එය අහිම් වූයේ ස්වල්ප කාලයක් නොවේ.

“අම්මේ..මේස් කෝ..අම්මේ කලිසම නෑ…අම්මේ එක සපත්තුවයි තියෙන්නේ..”

එසේ කෑගසමින් ගේ පුරා ඇවිදින අයියාගේ හඬ නිසා මා අවදි වී හඬන්නට ගත්තේ දෙහැවිරිදි කුඩා දැරියක කාලයේ ය.ඔහු මට වසර හතරකට කලින් පාසල් ගමන ඇරඹී ය.එසේ බලද්දී මේ විසි අවුරුද්ද තිස්සේම මා සුව නින්දකට වැටුණු කාලය අල්ප ය.

“නැගිටින්නේ නැද්ද සූකිරි..”

අම්මා අසන්නී ය.සූකිරි කැටයක් දියව යන්නට මේ හිරුරැස් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියන්නට සිතුණ ද මම නිසොල්මන්ව හුන්නෙමි.

“ඇහැරවන්න එපා පොඩ්ඩි.කෙල්ල මොන මහන්සියක් ද ඔය දිය කරන්නේ..”

මම්මා,මගේ අම්මාගේ එකම අක්කා කාමරයට එබිණ.තවත් මෙතැනට අඩු අයියාත් අපේ ජිමී උතුමාණනුත් පමණකැයි සිතමින් මම නොසෙල්වී හිඳින්නට යත්න දැරීමි.

“හැබැයි පාඩම් නම් කරා නේද අක්කේ කෙල්ල..හරියට මහන්සි වුණා.යෙත්මිට, උවනිට එහෙම කොල්ලන්ගේ ප්‍රශ්න තිබ්බට මෙයා ඒවා පටලා ගත්තෙත් නෑ..”

අම්මා කියන්නේ අඩ සිනාවකින් බව මට දැනේ.මම පිපෙන්නට ආ සිනාව හකුළුවා ගතිමි.නිදා සිටින දියණියට ඇසෙන බව නොදැන අම්මාත් මම්මාත් පවසන දෑට බාධා කළ යුතු නොවේ.

“කොල්ලන්ගෙ ප්‍රශ්න නම් පටලෝ නොගත්තෙ ලොකූට තියන බයට.ජයන්ත ලංකාවේ නැති හින්දම කොල්ලා හිතන් ඉන්නේ එයා අප්පච්චි කියලනෙ.නැත්නම් යෙත්මිලාට වඩා මේකි නැටිච්චි..”

අම්මා එසේ කියා උස් හඬින් හිනැහෙද්දී මගේ නින්දට මවෙත රැඳෙන්නට කිසිම හේතුවක් නොවේ.අයියාගේ භාෂාවෙන් කියනවානම් “නින්ද ලෙප්ට්” විය යුතු වේ.

“ඔතන ඉඳන් කැකිරි පලන්න එපා පොඩ්ඩි.කෙල්ලට නිදා ගන්න දෙන්න..”

මම්මා එසේ සැර වෙද්දී අම්මා කාමරයෙන් නික්ම ගිය බව මට දැනිණ.මගේ කහ පැහැති රෙදි බෝනික්කියගේ සිරුර මුහුණට තද කරගෙන හොර නින්දක් මවා ගත් මට හොර නින්ද මම්මාට අසු වේදැයි බිය දැනේ.අම්මාට වඩා ඈ මගේ සියළු ඉංගිත කියවන්නට සමතියකි.රජයේ කාර්යාලයක පැය අටේ සේවයට කැපවී නිවසට එන අම්මා හිඳින්නේ වෙහෙසට පත්ව ය.ඇතැම්විට කෝපාවිෂ්ඨ ව ය.නමුත් මම්මාගේ ජීවිතය නිස්කලංක ය.

“ඒකනෙ මං කසාදයක් නොබැන්දේ.මොනතරම් නිස්කලංක ජීවිතයක්ද මට තියෙන්නේ.”

කේක් ව්‍යාපාරයක් නිවසේ සිට කරගෙන යමින් තමන්ගේ ආදායම සොයා ගන්නා ඇය කියන්නේ සැහැල්ලුවෙනි.විවාහ වීම මඟ හැරුණු සහෝදරියන් විවාපත් සහෝදරයන්ට සහ සහෝදරියන්ට වෛර කරන බව පොතපතින් කියැවුව ද මම්මා සම්බන්ධයෙන් එය මොනතරම් අසත්‍යයක් දැයි මට සිතේ. ඇය අපට අම්මා කෙනෙකු මිස අපේ අම්මාට ඊර්ෂ්‍යා කරන්නියක නොවේ. චූටි මාමාට හෝ සුරේකා නැන්දාට වෛර කරන්නියක ද නොවේ.

“ලොකු අක්කා එක්ක යන්න හිතයි මට.ඒත් ඉතින් ජයන්ත අයියත් නැති එකේ පොඩියක්කලට තනියට ඉන්නේ ලොකු අක්කනෙ..”

නෑනලා කියන්නේ ළං කර ගත යුතු නොවන උදවිය බව කියැවෙන ලෝකයක සුරේකා නැන්දා එසේ පවසන්නේ වරක් දෙවරක් නොවේ.මව්වත් ගුණය පිරී ඇති මම්මා සැබෑවටම මගේ ලෝකයේ වඩාත්ම ආදරය දිනා ගත් ගැහැනිය බව මා සිතුවේ ඈ මගේ හිස පිරිමැද හාද්දක් දී පිට වෙද්දී ය.

අක්කා කියන්නෙත් අම්මෙක්
තමයි ලොවේ
ලේ කිරි වෙන්න පිං මදි වුනු
සසර මගේ

ඒ ගීතය අයියා වාදනය කළ දිනෙක අම්මා ඉකිලූ අන්දම සිහි වෙද්දී මගේ දෑස ද තෙමී යයි.නමුත් මා දන්නා පැහැදිලි සත්‍යය මම්මා මටත් අයියාටත් අම්මා කෙනෙකු බව ය.

“මම්මාටත් තිබ්බේ බඳින්න..”

හදිසියේ එසේ කී දවස් ඕනෑවටත් වැඩි ය.මම්මා ඒවාට හිනැහෙන්නේ සුන්දර සිනාවකිනි.

“තමන් ආදරේ කරන මනුස්සයා බඳින්න නොලැබුණොත් ගෑනු තනියම ඉන්න එක හොඳයි සූකිරි..ඔයාට ඕවා තේරෙන්නෙ නෑ..”

ඈ එසේ කියන්නේ විශාල කතාවක් සිත යට සඟවාගෙන බව මට නොසිතෙනවා නොවේ.නමුත් එතැනින් එහාට එය හාරා අවුස්සන සිතක් මට නොවේ.ඒ මම්මා පෑරේදැයි දැනෙන බිය නිසාම නොවේ.

“ඔයාට ඕවා තේරෙන් නෑ..”

මම්මා එසේ කීවාට සත්‍යය එය නොවන බව දන්නේ මගේ සිත ය.විසි හැවිරිදි යෞවනියක තමන්ගේම කරගෙන රකින ඉමිහිරි රහසක් එහි ඇතැයි යෙත්මිටවත් කියන්නට මට සිත් නොවේ.ඒ මටම පමණක් අයත් රහසකි.

හසරැලි සමරදිවාකර වූ මම හසරැලි වැස්සක නැහැවෙමින් හිඳින්නට කැමැති ළදැලියක් මි.විද්‍යා විෂයන් උසස් පෙළට හදාරන්නට මට සිදු වූයේ අම්මාගේ හෝ තාත්තාගේ බලකිරීම හන්දා නොවේ.අගනුවර උසස් බාලිකාවක අධ්‍යාපනය හැදැරූ අම්මාගේ කෙවිටි කිරීම දරා ගන්නට වූයේ ශිෂ්‍යත්ව කාලයේ ය.ආසන්න නගරයේ පාසලක ඉගෙන ගත් මා අගනුවර බාලිකාවට යන්නටනම් ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ගත යුතු බව අම්මා විශ්වාස කළා ය.අයියා මීට පෙර ඒ වික්‍රමය කළ නිසාම මා ද ඔහුගේ අඩිපාරේ යාම අනිවාර්යය විය.

“අපි ඇයි ඉගෙන ගන්නේ.තාත්තා රටනෙ අම්මෙ.අපිට සල්ලි ගොඩාක් තියනවනෙ..”

අම්මාගේ ටොක්ක එය එසේ නොවන බව දස හැවිරිදි දැරියට පැහැදිලි කළ අතර මා ශිෂ්‍යත්වය සමත් වී තිබිණ.කොළඹට තදාසන්න නගරයක ජීවත් වෙන අප උදෑසනම පාසල් වෑන් රථයට ගාල් කරන්නට විඳින අපහසුව මිස අම්මාට අපේ අධ්‍යාපනය ගැන වද වීමට ඕනෑ වූයේම නැත.

“පන්තියේ පහ හය වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නෙ ජයන්ත.ලංකාවෙම දක්ෂ ළමයි ඉන්න ඉස්කෝලවල..”

අම්මා වීඩියෝ ඇමතුම් හරහා තාත්තාට එසේ කියමින් පන්ති රැස්වීම් වලින් අනතුරුව තුටු වූවා ය.අයියා ඉංජිනේරු පීඨයට සුදුසුකම් නොලබා වෙනත් උපාධියක් තෝරා ගත් මොහොතේ නම් අම්මාගේ මුහුණේ අඳුරු රේඛා නොඇඳුණා නොවේ.නමුත් අලුත් වන ලෝකය ගැන ඇගේ කාර්යාලීය මිතුරියන් නිරන්තරයෙන් ඈ දැනුවත් කළා ය.

“පොඩ්ඩිට නම් මෙඩිකල් කොලේජ් එක හීනයක් වෙන එකක් නෑ..”

වාර විභාගවල මගේ ලකුණු පිරික්සමින් අම්මා තාත්තාට කියන්නී ය.ඇගේ සෑම ඇමතුමකම ඇත්තේ අප ගැන වාර්තා සැපයීම ය.තාත්තා ද අම්මාගෙන් අසන්නේ අප ගැන ය.අම්මාට අතිශය වෙහෙසකාරී බව කියූ දිනයක පවා ඔහු මගේ භෞතික විද්‍යා පන්තියක් ගැන අම්මාගෙන් විමසුවේ ඒ වෙහෙසට හේතු නොඅසා ය.

“අනේ ඇත්තටම මම්මේ තාත්තා හරි නරකයි..එයා අම්මා ගැන අහන්නේ නැතිම තරම්..”

එදා මම ඒ කෝපය මම්මා අසල මුදා හැරියෙමි.ඇය කිසිත් නොකියා හිනැහුණා ය.

“ළමයි හම්බුණාම දෙන්නට දෙන්නා අමතක කරනව.පොඩ්ඩිටයි ජයන්තටයි වෙලා තියෙන්නෙත් ඒක..”

ආදරය විවාහයෙන් පසු පණ නොගසාම මියැදෙන්නේදැයි මා තවම හරිහැටි නොදන්නා බව ඇත්තකි.නමුත් “ඔහු” එසේ වේදැයි මම සිතමින් හිඳින්නෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content