හස්බන්ඩ් ඔබට ඇහුන්කන්දෙන්නෙ ම නැද්ද?

විවාහක කාන්තාවන් හුඟක් දෙනෙකුට තමන්ගෙ සැමියා ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා. සමහර කතා හරිම රසවත්. සුන්දරයි. ආදරණීයයි. ඇය හඳුනාගත් කාලයේ පටන් ම පෙම්වතුන් වෙලා හිටිය කාලේ වගේ ම ආදරය බෙදාගන්නට ඔහු තමන් ළඟින්ම ඉන්නා බව කියන්නට හැකි නම්, එවැනි කාන්තාවන් ඇත්තටම හුඟක් වාසනාවන්තයි.

ඒත් එදාට වඩා ඔහු ඇයගෙන් ඈත් වෙලා කියලා ඇයට දැනෙනවනම්, වෙනද තරම් ඇයට ඔහු ඇහුන්කන් දෙන්නෙ නැත්නම් එහෙම කාන්තාවන්ට තමන්ගෙ ස්වාමිපුරුෂයා ගැන කියන්න තියෙන්නෙ දුක හිතෙන කතාවක්. ඉතින් එහෙම දුක හිතෙන කතා හිතේ පුරවගෙන තමන් හුඟක් අවාසනාවන්තයි කියලා දුක්වෙන කාන්තාවන්ට ඒ තත්වයෙන් ‍අත්මිදෙන්න මෙන්න මේ ටිප්ස් ටික අනිවාර්යයෙන් ම වැදගත් වේවි.

ඔහුගේ දෛනික වැඩකටයුතු රටාව තේරුම් ගන්න. සුදුසු දේ සුදුසු වෙලාවට කතාකරන්න

ඔහු උදෑසන අවදිවන වේලාව, ඔහු කරන රැකියාව, ඔහු රැකියාවට දක්වන උනන්දුව, ඔහුගේ ආහාර රටාව, අඳින පළඳින පිළිවෙළ, එක් එක් කටයුතුවලට ඔහු ගතකරන කාලය ආදී සියල්ල හොඳින් තේරුම් ගන්න. ඔහු ඔබේ ගෘහ කටයුතුවලට සහයෝගය ලබාදෙන ස්වභාවය තීරණය වෙන්නේ ඒ මතයි. හරියාකාරව මේ තත්වයන් අවබෝධ කරනොගෙන ඔහු සමඟ කරන කතාබහ නිසා ඔහු ඔබ නුරුස්සනවා විය හැකියි. උදාහරණයක් හැටියට ඔහු ඉතා කාර්යබහුලව රැකියාවට යාමට සූදානම් වන අවස්ථාවක දී ඔබ ඔබේ මිතුරියකගේ පෙම්පලහිලව්වක් හෝ ඈ අලුතින් කොණ්ඩය කලර් කිරීම ගැන ඔබේ අදහස් හෝ බෙදාගන්නට යාම සුදුසු නැහැ.

ඔහු වඩාත් ප්‍රියකරන මාතෘකා හඳුනාගෙන ඒ හරහා ඔහු හොඳ සවන් දෙන්නෙක් බවට පත්කරගන්න.

ඔබ රූපලාවණ්‍යයට දක්වන උනන්දුව වගේම වෙළඳ පොළේ ඇති නවීන මාදිලියේ මෝටර් රථ වර්ග, අලුත් පරිගණක මෘදුකාංග, දේශපාලනික තොරතුරු වෙනුවෙන් ඔහු දක්වන උනන්දුවත් එක හා සමාන විය හැකියි. ආදරය ඇතුළෙ දෙන්නම එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් කරනව‍නේ. ඉතින් ඔබ මොහොතකට ඔබේ කැමැත්ත කැප කරන්න. ඔහු ප්‍රියකරන දේවල් ගැන ඔහුට කරන්නට ඇති කතාබහට සවන් දෙන්න. ඔබේ අකමැත්ත, අප්‍රසාදය, උදාසීනබව වහාම යටපත් කරගන්න. ඇත්තටම මේක පුංචි රඟපෑමක් තමයි. ඒත් එය හානිකර නැහැ. ඉතා කෙටි කාලයකින් ඔහු ඉතා කැමති ඒ මාතෘකා ඔබේත් ප්‍රියතම මාතෘකා බවට පත්වේවි. ඉතා කෙටිකලකින් ඔබ ප්‍රියකරන මාතෘකා ඔහුගේත් ප්‍රියතම මාතෘකා බවට පත්වේවි.

ඔහු ඔබෙන් අපේක්ෂා නොකරන එහෙත් තවමත් ඔබ සිදුකරන දේවල් හඳුනාගන්න

අනුන්ගේ අඩුපාඩු, අනිත් අය යන ගමන් බිමන්, නෑදැයින්ගේ වැරදි, කරන්න සැලසුම් කරපු, ඒත් විවිධ හේතු නිසා නොකරපු වැඩකටයුතු, ගැන දිගින් දිගටම ඔබ කරන කතාබහ කිසිම වටිනාකමක් නැහැ. ඔහු එවැනි කතාවලට අකමැතිබව මීට පෙර අවස්ථාවල දීත් ඔබට දැනුම් දී ඇති. එහෙත් අමතකවීමෙන් හෝ ඔබ දිගින් දිගටම එවැනි කතා සිදුකරනවා නම් ඔහු ඔබට සවන් නොදීම ගැන දුක් වී පලක් නැහැ.

ඔහුට හැකිතාක් සවන්දෙන්න

සන්නිවේදනය ඒකපාර්ශ්වීය කටයුත්තක් නොවෙයි. බොහෝ කාන්තාවන් පිරිමින්ට වඩා කතාකිරීමට වැඩි උද්යෝගයක් සහ පෙළඹීමක් ඇතිබව පර්යේෂකයින් පවා සඳහන් කරන කරුණක්. ඒ කොහොමවුණත් හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්න නම් කතාබහ ඇතුළෙ ඔහුටත් ඉඩ දෙන්න ඕනේ. දෙයක් ගැන ඔබේ අදහස් වගේම ඔහුගේ අදහසුත් ඉතා වැදගත්. ඉතින් ඒ ගැන දැනගන්න ඔබ ඔහුට සවන් දෙන්න ඕනේ. ඔහු ඔබට සවන් දෙන්න පටන් ගන්නේ ඉන් අනතුරුවයි.

ඔහුට වෙනදාට වඩා අවධානය, ගෞරවය සහ ආදරය ලබාදිය හැකි ක්‍රම සොයා බලන්න

ඔහුගේ හිත දිනාගන්න එක ආදරය කරන්න පටන්ගත්ත මුල් කාලයේ විතරක් ඔබ සිදුකළ දෙයක් නම්, එය අලුතින් නැවතත් පටන් ගන්න. ඔහු ඔබට සවන් නොදෙන්නේ, ඔබව නොතකා හරින්නේ ඔබෙන් ම සිදුවූ යම් යම් මඟහැරීයාම්වල ප්‍රතිඵලයක් ලෙස නම්, වරද නිවැරදි කරගත යුත්තේ ඔබ විසින්මයි.

ඔහු විවේචනය කිරීම, වැරදි මතුකර පෙන්වීම, අඩුපාඩු ගැන මැසිවිලි කීම සම්පූර්ණයෙන්ම අතහරින්න

අඩුපාඩු, වැරදි, නොසැලකිලිමත්වීම්, මඟහැරීයාම් කාගෙකාගෙනුත් සිදුවෙන අවස්ථා තියෙනවා. දිගින් දිගටම එහෙම නොවෙන්න වගබලානොගත්තොත් ඒක තමයි සාර්ථකත්වය. ඔහු ඔබට සවන් දෙන තත්වයට පත් වෙන තුරු මේ සම්බන්ධව මැසිවිලි, දෝෂාරෝපණ සිදුකිරීම සපුරා නවත්වන්න. සවන් දෙන්නට පටන් ගත් පසුවත් ඔබ මේ තත්වයන් කතාබහ කරන පිළිවෙළ, වෙලාව, හොඳින් සැලසුම් කරගත යුතුයි.

අනවශ්‍ය ලෙස ඔහු සැක කිරීම නතරකරන්න

ඔහු වැඩට ගොස් ගෙදර එන වෙලාව යම් යම් හේතු නිසා වෙනස් විය හැකියි. ඔහු වෙනදාට වඩා ඇඳුමේ පිළිවෙළ ගැන උනන්දුවන දවස් තිබිය හැකියි. ඔහු වැඩිපුර දුරකථනයේ රැඳී ඉන්නා බව ඔබට දැනෙන්නටත් පුළුවනි. ඇත්තටම ඔහු ගැන සාධාරණව සැක කළ හැකි තත්ත්වයක් ගොඩනැඟී තිබෙන්නත් පුළුවනි. ඒත් මේ ඔබට ඇවිස්සෙන්නට හෝ කෝපවී ඔබේ හැසිරීම් වෙනස් කරන්නට හෝ අහිතකර වචන පාවිච්චි කරන්නට වෙලාව නොවෙයි. ඔහුට වෙනදාටත් වඩා ආදරය කරන්න. ඔහු ඔබේ වෙනස හමුවේ සියල්ල හෙළි කරාවි.  ඔහුට හැකිතාක් සවන් දී කරුණු අවබෝධ කරගත් පසු  ඔහු ඔබේ අසන්නෙක් කරගන්න.

වෙනත් අයගේ ස්වාමි පුරුෂයින් සමඟ ඔහු සංසන්දනය කිරීමෙන් වළකින්න

අපේ ඔෆිස් එකේ කපිල නම් කවදාවත් ඔහොම නැහැ. නිශානිගෙ හස්බන්ඩ් එයාට නොකියන දෙයක් නැහැ. රංගන එයාගෙ වයිෆ් එක්ක හැම‍වෙලාවෙම කතාකරනවා. ඔබටත් මෙහෙම හස්බන්ඩ් කෙනෙක් හිටියනම් හොඳයි කියල හිතෙන එක ඇයි ඔබ ඔහුට කියන්නේ. ඒක කොහොමටවත් ඔහු සතුටුවන කතාවක් නෙවෙයි. මිනිස්සු විවිධයි. වැඩකරන විදිය එකිනෙකාට සමාන නැහැ. ඉතින් මේ විදියට ඔහු සංසන්දනය කරන්න ගියොත් ඔහු ඔබට සවන් නොදීම විතරක් නෙවෙයි ඔබව අතහැර දමන්න වුණත් ඒක හේතුවක් කරගන්න බැරි නැහැ.  ඒ නිසා මේ පුරුද්ද නම් වහාම අත්හරින්න.

ඉතාම කෙටි කාලයක් ඇතුළත ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ හොඳ ම ශ්‍රාවකයා බවට පත්කරගන්නට ඔබටත් මේ සියලු කරුණු නිසැකව ම වැදගත් වේවි. එහෙම වුණොත් මේ ලෝකයේ ඉන්න වාසනාවන්ත කාන්තාවන් අතරට ඉතා ඉක්මණින් ඔබටත් එකතු වෙන්න පුළුවන් වේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles