දින දෙක තුනක් ගෙවී ගියේ ශයිනි යම් නව අදහසක් වෙනුවෙන් සූදානම් වෙද්දීය. ඕ ඒ දින කිහිපයම ගෙවා දැම්මේ කොට්ටාවේ පිහිටි නිවසේදීය. හුදෙකලාව ඇගේ අදහස් වෙනුවෙන් ඇති ඉඩ තීවෘ කරන වග දන්නා නිසාම ඕ උන්නේ ඒ දින කිහිපය උපරිමයෙන් භාවිතා කරමිනි.
.
.
.
ශයිනි මාකුඹුරට අධිවේගී පිවිසුමෙන් බෙන්ස් රිය ඇතුලු කෙරූ මොහොතේ පටන්ම උන්නේ නොඉවසිල්ලෙනි. පැයක වෙලේ සිට හෝටලය ඉදිරිපිටට පැමිණි පිරිසක් හෝටලයේ යම් යම් කරුණු නිසා ප්‍රදේශයේ ජෛවගෝලයේ බිඳවැටීම් වන වග පෙන්වමින් උද්ඝෝෂණයක නියැලෙන වග තිළිණි පවසන විට ශයිනි උන්නේ අඩ නින්දේය. කලකට පසු ලැබුණු සුව නින්ද එතැනින් අවසන් විය. කඩිමුඩියේ සූදානම් වී රියැදුරෙකු පවා හෝ නැතිව ඕ නිවසින් පිටතට ආවාය.
“මොකද තත්වේ ?”
ඕ යළි තිළිණි ඇමතුවාය.
“කලබල නැතුව එන්නකෝ ශයි. අපි පොලිසියට කෝල් කරා… දැනට එලියේ ඉන්නේ ඒගොල්ලෝ…”
“මොන ජෛවගෝලයක් ගැනද කියන්නේ තිළිණි… ෆේස්බුක් ලයිව් එකකුත් තිබුණා.. අපිවත් ටැග් කරලා…”
“මොකද්ද කියන්නේ කියලා බලමු.. ඩ්‍රයිවර් අංකලුත් නැතුව ආව එකේ කල්පනාවෙන් එනවකෝ…”
ශයිනි කනේ රුවා තිබූ ඉයර් බග් එකට දෙවරක් තට්ටු කලාය. ඉන් වූ ඇමතුම විසන්ධි වීම හදවතට බරට දැනුණි. කිසිදිනෙක සිහිනෙකුදු නොසිතූ චෝදනාවකට ලක් වීමේ බර ද ශයිනිට දැනෙන්නේය.
මෙය ඇරඹුණේ කෙලෙසද ,විසඳාගත යුත්තේ කෙලෙසදැයි පැහැදිලි කරගන්නා තෙක් හිතට නිවනක් නැත. ජෛවගෝල හායනය වැනි බරසාර වචන වල චෝදනාවක් වන්නට තරම් මොණරවිල හොටෙල්ස් තුළ කුමක් වන්නේදැයි ශයිනිට වැටහුණේ නැත.
ශයිනි පැමිණියාය පසු උද්ඝෝෂණය වෙනස්ම මුහුණුවරක් ගත්තේය. ඉන් පසුව සටන් පාඨ කියැවුණේ ඈ ලැබූ සම්මානයටද එක්කය. පැමිණ සිටින්නේ ගාල්ල අවට ගම්වැසියන් බව ශයිනිට කීවේ චරිත් ය. වහාම ගම්වැසියන් කිහිප දෙනෙකු ඇතුළට කැඳවාගෙන සාකච්ඡා කරමුයැයි කීවද, චරිත් පවසා සිටියේ එවැන්නක් අවශ්‍ය නොවන වගයි. මෙවැනි අවස්ථාවක් කළමණාකාරණය කර ගැනීමේ අත්දැකීමක් නොතිබුණ නිසාම ඇය චරිත් ට ඉඩ දී උන්නාය. එහෙත් කල යුතු දේ කල්පනා කලාය.
“පොලිසියට නොකියා අපේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලලා ඉන්න තිබුණා ….. ඇත්තටම මොකක්ද ඒගොල්ලෝ ඒ කියන්නේ ?”
පොලිසියෙන් පැමිණ හෝටලයේ පිවිසුම අවහිර නොකර උද්ඝෝෂණය සිදු කරන ලෙස දැනුම් දීමෙන් පසු පිරිස විසිර ගියේ මේ පිළිබඳව නඩු පැවරිමෙන් පසු ඉදිරි කටයුතු පිළිබඳව දැනුම් දෙන බවට තර්ජනයද කරමිනි. හෝටලයේ පැත්තෙන් කිසිම වරදක් නැතිව මිනිසුන් මෙලෙස ආවේගශීලී වන්නේ කෙලෙසදැයි ශයිනි ප්‍රශ්න කලාය.
” කලබල නොවී ඉන්නකෝ .. අපි හොයල බලමු මොකක්ද මේ කියන්නේ කියලා ..”
“අපේ වේස්ට් මැනේජ්මන්ට් වෙන්නේ කොහොමද කියලා මට රිපෝර්ට් එකක් ඕනි තිළිණි… ඒක බලන්න… චරිත්ට කියන්න වේස්ට් මැනේජ්මන්ට් වලට පහුගිය අවුරුද්දේ ඇලෝකේට් කරපු බජට් එකයි, ප්‍රොග්‍රෙස් එකයි මට ඕනි කියලා …”
“හරි…”
” අපි මේකේ අගක් මුලක් හොයාගෙන ඉන්නෝනි ඒගොල්ලෝ ඊලඟ පියවරට යන්න කලින්…”
“මීඩියා දෙතුන් දෙනෙක්ම හිටියා. සමහරවිට නිව්ස් වල මොකක් හරි යන්න පුලුවන් …. අවෝර්ඩ් එකත් එක්ක මේක ට්‍රෙන්ඩින් යවාගන්න පුලුවන් නිසා යූ ටියුබ් කාරයෝ වුනත් රිංගන්න පුලුවන් …”
ශයිනිගේ හිස ගිණිගෙන තිබුණි. කිසිදිනෙක නොවූ තරමේ වේදනාවක් ඒ ගින්න නිසා දැනෙයි. උපයාගත් සියල්ලමද, අනාගතය සඳහා ආයෝජනය කර තිබූ සියල්ලමද ඒ ගින්නේ දැවී යන අයුරු ශයිනිට මැවී පෙනෙයි. ඕ නෙත් දෑතින්ම පිස හැරියාය.
“මොකද්ද මේ වෙන්නේ තිළිණි…?”
“කලබල නොවී ඉමුකෝ… අරයා විස්තරයක් හොයාවි… ඔයා අංකල්ලාට කිව්වද?”
“නෑ.. අම්මාලා නුවර එළියේ ගියානේ ඊයේ එහෙමම…ආයේ කලබල කරන්නෝන් නෑ…”
“හා එහෙනම්, පස්සේ කියමු.. කලබල නොවී ඉන්නකෝ.. මම වැඩ ටික පොඩ්ඩක් බලන්නම්…”
තිළිණි කැබින් එකෙන් පිටව ගියාට පසු ශයිනි ලැප් ටොප් පරිඝනක පණ ගැන්වූවාය. ෆේස්බුක් සජීවී බෙදා හැරීම යළි සොයාගත්තාය.
“හොර සම්මාන ගැන ලැජ්ජා වෙයවු…”
“අපේ පරිසරට විනාශ කරන මොණරවිල හොටෙල් එක වසා දමවු…”
“හෝටලේට රජ මඟුල් – පරිසරයට අව මඟුල් “
“ගිං ගඟට අපද්‍රව්‍ය මුදා හරින මොණරවිල හොටෙල් ලොක්කන් අපට එපා…”
“මොණරවිල වසා දමවු…”
සටන් පාඨ පුවරු සහ කියැවීම් එකින් එක බලමින් ශයිනි අවසානයේ ඔවුන් පවසන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි යන්තමින් වටහා ගත්තාය. ඒ කියන අන්දමට හෝටලයේ අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ ගිං ගඟට හෝ එහි අතු ගංගාවකට නම් එය නිවැරදි කල නොහැකි වරදක් බවට සැකයක් නැත.
එහෙත්, පරිසර හිතකාමීව සියළු කටයුතු සිදු කිරීම සඳහා වන පරිසර නිළධාරියෙක් සඳහාද වැටුප් ගෙවීම් සිදු වෙමින් තිබියදී මෙවන් හිඩැසක් ඇතිවූයේ කෙලෙසදැයි ශයිනි ට වැටහුණේ නැත.
එම නිළධාරියා සතියකට වරක් වන සාකච්ඡා සඳහාද සහභාගි වන අතර ඔහුගේ සැලසුම් සහ නිවැරදි විය යුතු කාරණා පිළිබඳව සියළු අංශ දැනුවත් කරන බවද ශයිනි ට මතකය.
ඕ වහා එම නිළධාරියා ට ඇමතුමක් ගත්තාය. දුරකතනය ට පිළිතුරු ලැබුනේ නැත. ඉන් පසුව ඕ ඇමතුවේ චරිත් ටය.
“ඕ ……”
කලබල හඬක් ඇසුණි.
“ඔයා මොකද කරන්නේ චරිත් ?”
“පොඩි ප්‍රශ්න ටිකක් විසඳගන්න ආවා.. මේක සෙට්ල් කරගෙන එන්නම් හරිද?”
“අර එන්වරමන්ටල් ඔෆිසර්ව මීටින් එකකට ඇරේන්ජ් කරන්නකෝ… ආයේ අද නැත්නම් හෙට මට සයිට් විසිට් එකකුත් ඇරේන්ජ් කරන්න…”
“ඕකේ..ඕකේ… දැන් කලබල නොවී ඉන්නකෝ…”
“මේක සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් කාරණාවක් නෙවෙයි … ඇත්තටම අපේ අතින් මෙහෙම දෙයක් වෙනවද කියලා වහාම හොයන්න …”
“පිස්සුද හලෝ … ඔයාට මේ ශුවර් නැත්තේ මාවද ? … ඒ මිනිස්සු කාගේ හරි උසි ගැන්වීමකට එන්න ඇත්තේ…එකත් එකටම අර ඉකෝ විලා එකේ අය වෙන්න පිලිවන් .. මේක මම විසඳන්නම් කිව්වනේ….”
“හරි හරි… ඒත් , .. මටත් ටෙන්ශන් මේ වුණ දේට…”
“තේරෙනවා ළමයා…ඔයා ඉන්නකෝ.. මම ශාලිත එක්ක මීටින් එකක් ඇරේන්ජ් කරන්නම්…. ඕකේ ?”
“හරි… වේස්ට් මැනේජ්මන්ට් රිපෝර්ට් එක ඉක්මන් කරන්න හොඳේ…”
“ශුවර් ශුවර්…”
ඇමතුම විසන්ධි වෙද්දි ශයිනිට යම් සැහැල්ලුවක් දැණුනි. තිළිණි සහ චරිත් විශ්වාස කල නොහැකි අයවලුන් නොවේ. ඔවුන් දෙදෙනා තමා හා එක්වූ කාලයේ පටන්ම හිතෛෂීවන්තකම උපරිමෙන් පෙන්වූ අයය.
ශයිනි ඊළඟ පියවර සිතුවාය. දැන් ඌරාගේ මස් උගේ පිටේම තබා කැපිය යුතුය. සමාජ මාධ්‍ය සහ පුවත්පත් විසින් විනාශ කරන්නට යෙදුණු තම ආත්ම අභිමානය ඔවුන් ලවාම ගොඩ නැවිය යුතුය. අනිවාර්යයෙන් ඔවුන් ලවා එය කෙලෙසකම හෝ සිදුකලයුතුය.
ශයිනි වහා ඇමතුවේ මාධ්‍ය මිතුරියකටය. ඇයගෙන් ලැබුණු ඉඟිය අනුව ඕ ඊළඟ පියවරට එබුණාය.
මුහුණු පොතේ සෙවුම් තීරයේ ඉතා ඉක්මනින් නමක් සෙව්වාය.
“අමයුරු දිසානායක “
ප්‍රොෆයිලය ඉදිරියෙන්ම පෙන්වූ නිසා ඕ දෙවරක් නොසිතාම ප්‍රොෆයිලයට එබුණාය. එහි පහලට හැල්මේ දිව්වාය. මුලින් කිසිවක් ඉවසීමෙන් නොබලා මේ කවුරුන්දැයි දැනගන්නට මෙන් උඩින් පල්ලෙන් ඇස් යොමු කරාය. මැද තැනක නැවතී ඔහු විසින් ලියා තිබූ සටහනක් කියවන්නට ගත්තාය.
ලියා තිබුණේ සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ බිල් කිරිමේදී සිදුකරන අක්‍රමිකතාවයක් පිළිබඳවය. තිතටම ලියා තිබුණ සටහන කියවීමෙන් පසු ශයිනි තවත් සටහන් කිහිපයක්ම කියෙව්වාය
“හී ඊස් ද මෑන් …”
ඕ තවත් සටහනක් දිග ඇර ගත්තාය.
| අපේක්ෂා ගුණරත්න |