මියුරු පෙම් වසන්තේ – 7

“මොනවද විල්සන් මාමෙ මේ ලැජ්ජ නැති වැඩ?” කියා වස්තු බනිද්දී එයට උත්තර දෙන්නට විල්සන්ගේ වෙරි හිඳී තිබුනේ පොලිසියෙන් ලැබුණ සංග්‍රහය එච්චරටම හොඳ හන්දාය.

“බොන්න ලැජ්ජ වෙන්න ඕනය?” කියා විල්සන් කියන්නේ ඒ සංග්‍රහ ගැන කිසිත් මතකයක් නැති පරිද්දෙනි.

“බොන්න නෙවෙයි ලැජ්ජ වෙන්න ඕන, මේ ගෙදර ළමිස්සියෙක් ඉද්දි තාත්තා කෙනෙක් ඔහොම අපතය වගේ බීල පාරවල් වල රණ්ඩු වෙලා පොලිසි ගානෙ පාච්චල් වෙන්න යන එක ගැන”

“උඹ නිකන් මගෙ තාත්තා වෙන්නෙ නැතුව හිටහං. මං නෙ බොන්නේ, අනික කවුද පොලිසිවලදි ලැජ්ජ උනේ, ඒ මිනිස්සු මාව කූඩුව ඇතුලට දැම්මෙත් මිස්ට විල්සන් කොහොමද? කාලෙකට පස්සේ? හව් ඩූ යූ ඩූ කියල” විල්සන් හොරෙන් බලද්දී වස්තු ත්‍රීවිල් එක මහ හයියෙන් බ්‍රේක් කර පාරෙ මැද්දෙ නවත්තා විල්සන් දෙස නෙත් ඔරවා බැලුවේ “බාප්පද යකෝ ලැයිසන් දුන්නේ?” කියා වෙනත් රියදුරෙක් අපහසුවෙන් වාහන දෙක එකිනෙක ගැටෙන එක නතර කරගන්නට වෙට්ටුවක් දමන ගමන් ය.

විල්සන්ව විස්සෙ කණුවෙන් බස්සවා වස්තු ත්‍රීවිල් එක නුගේගොඩට පදවාගෙන එන අතරවාරයේ නදී මෙතෙක් වේලා කම්මුල් තෙමන්නට වූ කඳුලු ටික ටික පිසදාගනිමින් උත්සහ කරගත්තේ කාර්‍යාලයට යාමට සුදුසු මනුස්ස පෙනුමක් අරගන්නටය.

“උඹ දැන් ඔය අඬල නිකන් මෝහිනී වගේ ඔෆිස් යන්න එපා, පව්ඩර් ටිකක්වත් නැද්ද දාගන්න” කියා කාර්‍යාලය අද්දරින් ත්‍රි රෝද රිය නතර කර නදීට මූණට පව්ඩර් ටිකක් ආලේප කරගන්නට හැකි අන්දමින් ත්‍රිරෝද රියේ කණ්ණාඩිය සකස් කර දුන්නේද වස්තුය.

පික් මී ෆ්ලෑශ් ඔස්සේ ආ පාර්සලය අරගෙන ආපහු කාර්‍යාලය ඇතුලට යන්නට ගිය මියුරු නතර වුනේ දෙනෙත් කොණකින් හුරු පුරුදු දසුනක් නෙත ගැටුණා ගැයි සිතුවිල්ලක් හිතට ආ හින්දාය.

“මට නම් මේ ජීවිතේ එපා වෙලා බං, අපි ඉපදිච්ච තැන්වල වරදවල් හින්ද හැම පැත්තෙන්ම කී තැනකදි අපි තැලෙනවද? ඉස්කෝලෙදි අපි අල්විස් වත්තෙන් ආවත් වත්තෙ මිනිස්සු නෙවෙයි වගේ අනිත් ළමයි එක්ක පෑහෙන්න ට්‍රයි කරා, දැන් මේ අපිට අත පොවන්න බැරි තැන්වල ඔෆිස් හොයන් අන්තිමේ ඒවයිදිත් තැලෙන එක තමා වෙන්නෙ” කියමින් නදී ආයෙම වතාවක් ඇස් තෙමාලමින් කම්මුල් දිගේ වැගිරෙන්නට ආ කඳුලු වැලක් පිස දැම්මාය.

මියුරු දැක්කේ ඔන්න ඔය සිදුවීමය. දෙනෙත් පිච්චෙනවා වගේ දැනෙද්දී උනත් මියුරු එක මොහොතකටවත් ඒ දසුනෙන් දෙනෙත මෑත් කර නොගත්තේ මේ ඇත්තක්මදැයි සැක හැර දැනගන්නට උවමනා හන්දාමය.

කෙල්ලෙකු ඔහොම අඬන්නේ තමන් දන්නා අඳුරන කෙනෙකු ලඟ පමණක් බව මියුරු නොදන්නවා නොවේ. මෙහෙම උදේ පාන්දර ත්‍රීවිල් එලවන කොල්ලෙකු එක්ක ඔෆිස් එක ලඟට ඇවිදින් අඬ අඬ ඉන්නේ මැය හැබෑවටම ලැජ්ජාවක් නැති කෙල්ලෙක් නිසා නොවේද කියා නොසිතා ඉන්නට හැටියක් මියුරුට තිබුනේ නැත.

මියුරු කඩාගෙන බිඳගෙන කාර්‍යාලය ඇතුලට ගියේ ඇයි කියා හිතාගන්නට ලිඩියාට ඇත්තටම පුලුවන් උනේ නැත. කේන්තියෙන්ම කාර්‍යාලය ඇතුලට ආ මියුරු ස්වයංක්‍රීය දොර ඇරෙන්නටත් පලමුව කලබලයෙන් කාර්‍යාලය ඇතුලට යන්නට ගොස් තව ටිකෙන් තමන්ගේ සුන්දර මුහුණ චප්ප කරගන්නවා යැයි ලිඩියාට සිතුණිට.

මියුරු කාර්‍යාලයට ඇවිත් කෝපයෙන් එහා මෙහා ඇවිද්දේ නදී දැන් ඒවි දැන් ඒවි යැයි හිතාගෙනය. එහෙත් නදී ඇත්තටම කාර්‍යාලයට ආවේ තවත් විනාඩි කිහිපයකට පසුවය. ඒද කලබලයෙන් එන්නට ගොස් ෆ්ලෝ එක මැද්දේ තව පොඩ්ඩෙන් ඇය සෙරෙප්පුවෙ අඩිය පැටලී වැටෙන්නටත් ගියාය.

සනුකි ද ෆ්ලෝ එකෙ ඉන්න අනික් කෙල්ලන්ද සමච්චලයෙන් හිනාවෙනවා දුටුවද නදිගේ හිතේ ඒ වෙලාවේ වැඩ කරේ “දැන් බැණුම් අහන්න වෙයිද?” කියන ප්‍රශ්නයම පමණකි.

“මේක ඔෆිස් එකක්, නාඩගම් මඩුවක් නෙවෙයි මෙතන මේ හිතුණ හිතුණ වෙලාවට එන්න”

මියුරු කඩාගෙන පැන්නේ නදී කාමරයට ඇතුලු වනවාත් එක්කමය. ඒ ගෝරනාඩුවෙන් කොටසක් ගොස් එලියේ ෆ්ලෝ එකේ උන් කාර්‍ය මණ්ඩලයේ කන්වල ගැටුණා ද යැයි පසුතැවුනේත් ලැජ්ජ වුණේත් නදී පමණකි. මියුරු උන්නේ ඒ කිසිවක් ගැන වගක් නැතුවය.

“සර් අපේ තා…” කට අරින්න ඉඩක් නැත. මියුරු උන්නේ යකා ආවේශ වී මෙන් කාමරයේ එහෙටත් මෙහෙටත් ඇවිදමිනි.

“මේ මේ දැන් අරකයි මේකයි කියල බොරු එක්ස්කියුසස් දෙන්න එපා. මං ඔක්කොම දැක්කා. මට කමක් නෑ එලියෙ මොන රස්තියාදුකාරයා එක්ක යාලුවෙලා හිටියත්. හැබැයි මේ ඔෆිස් එක ඉස්සරහට ඇවිල්ලා නාඩගම් නටන්න තියාගන්න එපා. මොකද මේක වැදගත් තැනක්. ඔයා කොහෙන් ආවත් කමක් නෑ, මෙතනට ආව නම් ඒ වැදගත්කම මේන්ටේන් කරන්න පුරුදු වෙන්න. එලියෙ ඔයා කවුරු උනත් මේ උදේ ඉඳල හවස පහ මාර වෙනකම් වෙලාවෙ ඔයා මෙතන වර්කර් කෙනෙක් කියන එක අමතක කරන්න එපා. ඔයා ගැන රෙස්පොන්සිබිලිටි එකක් ඔෆිස් එකට තියෙනව වගේම ඔයාගෙ රෙස්පොන්සිබිලිටි එක තමයි ඔෆිස් එකේ ගුඩ් විල් එක පරිස්සම් කරන එක කියලත් අමතක කරන්න එපා.

අනික ඔයාට එන්න ඕන වගේම යන්න ඕන වෙලාවක් එච් ආර් එකෙන් ඉන්ෆෝම් කරල තියෙනවනෙ. ඔයාලා කොච්චර පරක්කු වෙලා ආවත් හරියටම පහ මාරට යන එකනම් වෙලාවටම කරනවනෙ. ප්ලීස් මීට වඩා වැදගත් විදියට හැසිරෙන්නයි වැඩ කරන්නයි පුරුදු වෙන්න. මොකද මම එහෙම මනුස්සයෙක්. එතකොට මගේ සෙක්‍රටරිටත් ඒ කොලිටීස්ම තියෙන්න ඕන නෙ නේද?”

වුනේ කුමක් දැයි කීම පවා තේරුමක් නැති බව නදී වටහාගත්තේ මියුරු හිතාගෙන ඉන්නේ තමන් සහ වස්තු අතර ප්‍රේම සබඳතාවයක් තිබේ යැයි කියා සිතන විටය. මිනිස්සු හිතාගෙන ඉන්න හැටි වෙනස් කරන්න උවමනාවක් නැති හන්දාම නදී මියුරු කියූ සියලුම දේවල් අහගෙන සිට “සොරි සර්, ආයෙ එහෙම වෙන්නෙ නෑ” කියා තමන්ගේ අසුන වෙත ගියේ බිම බලාගෙනමය.

ඇඟට කඩන් පැන්නේ ක්ෂණික කෝපය හන්දා උනාට මියුරු ඉන්පසුව කාලය ගෙව්වේ නදීට කෙලින් මුහුන දෙන්නේ නැතුවය. නදී උන්නේත් එහෙමය. කාර්‍යාලයේ මිනිසුන් තවම නුපුරුදු නිසත්, ඔවුන් කොහොමත් තමන් දිහා බලන්නේ අමුතුවට හින්දාත් නදී කාමරයෙන් එලියට ගියේ දවල්ට කන්නට පමණි. වැඩ රාජකාරි හන්දා මියුරුත් නිතරම උන්නේ තමන්ගේ කාර්‍යාලයට වැදී ලැප්ටොප් පරිගණකය අස්සේ හිස ඔබාගෙනය. එකම කාමරයක එකිනෙකාට හරියාකාරව මුහුණ නොදී ඉඳීම කොච්චර අමාරුද කියා නදී මෙන්ම මියුරුද දැනගෙන උන්නද ඒ අපහසුව මග හරිනු පිණිස පියවරක් ගන්නට දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් හයියක් තිබුනේ නැත.

නදී දවාලට කන්න ගියේ කාර්‍යාලයේ බොහෝ දෙනෙකු කෑම ගෙන අවසන් වූ පසුවය. ඒ වෙද්දීත් මියුරු උන්නේ උදේ පටන් ගත් විලසින්ම ලැප්ටොප් පරිගණකය අස්සට හිස ඔබාගෙන වැඩ කරමින් දිවා ආහාරය ගැන වගක්වත් නැතුව මෙනි.

ඔර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සේවක මඩුල්ලට සහන මිලකට ආහාර ගැනීම පිණිස කාඩ් පත් ගැනීමට හැකියාවක් ආයතනයෙන් පිරිනමා තිබේ. මුදල් ගෙවා මාසය මුල දී කාඩ් පතක් මිල දී ගත් පසු ඒ මිල කැපී යන තුරු දිවා ආහාරයද, අතුරුපස ආදියද ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ කැන්ටිමෙන් මිලට ගන්නට පුලුවන් උනත් නදී කෑම අරගෙන ආවෙ ගෙදරිනි. මනුස්සයෙකු කන දෙයින් ඔවුන්ගෙ සමාජ තත්ත්වය පෙනෙන බව නදී දැන උන්නාය. තමන් පත්තර කොලයක ඔතා ගෙන එන බතුත්, සම්බෝලයත්, එක් එලවලුවකුත් ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයටත් එහි කාර්‍ය මණ්ඩලයටත් නොපෑහෙන නිසාවෙන්ම නදී තනියම කෑම ගත්තාය.

මියුරු කෑම ගන්නට ආවේ නදී කන්නට ගොසින් විනාඩි දහයකට පමණ පසුවය. ඒ වෙද්දිත් කැන්ටිමේ තැන් තැන්වල තව දෙතුන් දෙනෙකු වාඩි වී කෑම ගනිමින් උන් අයුරු මියුරු දැක්කාය. ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ අනාගත හිමිකරුවා උනත් මියුරුද දවල් ආහාරය ගත්තේ මාසය අන්තිමට පඩියෙන් කැපෙන අන්දමට ආහාර කාඩ් පත භාවිතා කරය. එලවලු සමග බත් කන්නට ආස අයට ඒවාත්, ෆ්‍රයිඩ් රයිස් ආදිය කන්නට ආස අයට එයත් තිබුනත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිරතුරුවම හිතන මියුරු රතු බතුත්, එලවලුත්, චිකන් කරිත් සමග බත් පිඟාන රැගෙන විත් වාඩි වුනේ නදීට එහා පැත්තේ පනවා තිබූ මේසයකය. එතැන් සිට බලද්දී නදී කන්නේ ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ කෑම කාඩ්පතෙන් ගත් කෑම නොවන බවත් ගෙදරින් ගෙන ආ බත් මුලක් බවත් එහි ඇත්තේ බත් චුට්ටකුත්, පොල් සම්බෝලයකුත්, සෝයා කරියකුත් පමණක් බව මියුරු දැක්කේය.

මියුරු ඒ ගැන නදී ගෙන් ඇහුවේ දිවා ආහාරය අරගෙන ඇවිදිනුත් බොහෝ වෙලාවකට පසු නදී වැඩ අහවර කර කාර්‍යාලයෙන් යන්නට ඔන්න මෙන්න තිබියදීය.

“කෑම අරගෙන එන්න ඕන නෑ, මෙහෙන් ලන්ච් දෙනවා”

අත් බෑගයට බඩු ටික දාගනිමින් උන් නදී ගැස්සුණේ මියුරුගේ හඬටත් වඩා මියුරු ඒ කතා කරේ තමන්ටමද කියා හිතාය. කියන්නට ඕන කුමක්ද කියා හිතාගන්නට බැරි හන්දා නදී හීන් හිනාවක් පෑවාය. ඒ හිනාව හිත මත් කරන්නක් උනත් ඇය යාලු වී ඉන්න ත්‍රීවිල් කොණ්ඩ කුරුල්ලා මතක් වෙච්ච හන්දා මියුරු අහක බලාගෙන කතාවේ ඉතුරු ටික කියා දැම්මේය.

“කාඩ් එකක් ඉල්ලගන්න පුලුවන් එච් ආර් එකෙන්, සැලරි එකෙන් ඒ ගාන කට් ඩවුන් කරගන්නවා”

කෑම ගන්නට මාසික වේතනයෙන් කීයක් හරි කට් ඩවුන් කරගන්න වෙන එක ජීවිතයෙන් කොච්චර දේවල් කට් ඩවුන් කරගන්නට හේතුවන බව ඉතින් කොළඹ හතේ කුමාරවරු නොදන්නා බව දන්න හන්දා නදී කලේ හිනා වෙන එක විතරය.

ඔය උදේට හාල් ටිකක් ලිපේ තියා අහල පහල වත්තකින් හෝ පොලේ ඉතුරුවන යමකින් සකසා ගන්නා දෙයකින් බඩ පුරවාගන්න එක පෙනුමට ලැජ්ජාවක් උනත් ජීවිතේට සැහැල්ලුවක් හන්දා නදී ඒ කතාව එහෙමම එතනින් අමතක කර දැම්මාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles