පෙමාතුර -39

සුදු පාට සිවිලිමත් වේගයෙන් කැරකෙන සිවිලින් ෆෑන් එකත් පමණක් මගේ දර්ශන පථයට හසු වී තිබිණ. වායු සමීකරණය ක්‍රියාත්මක කොට විදුලි පංකාව ද කැරකෙන්නට හැර තිබුණා වී ද මගේ සිරුර දහදියෙන් තෙමී ඇති බවක් මට දැනේ. මේ ග්‍රීෂ්මයට අදාල දාහයක් ද? අග්‍රා වල වාර්ෂික උෂ්ණත්වය වැඩි ම කාලය මැයි, ජුනි බව කාංචනා හෝ රාහුල් හෝ මට කී බවක් මතක ය. එය සෙල්සියස් අංශය හතළිස් හතරක් පමණ ඉහළ අගයකට පත් විය හැක. නමුත් දැන් මේ මොහොතේ මට දැනෙනා දාහය හා අග්‍රා වල දේශගුණය අතරේ සම්බන්ධයක් ඇතැයි මම නො සිතමි. මෙය තනිකර ම මගේ මානසික තත්වය හා සබැඳියකි.

ඒ දහදිය සයුරේ වැතිර හිඳිමින් ම මම විසල් ට යවන ලියුමේ ඊළඟට ලිවිය යුතු දේ ගැන සිතුවෙමි. 

මෙය පහසු අවස්ථාවක් නොවේ. මෙය අතිශය අපහසු අවස්ථාවකි. නමුත් මම ඒ අපහසුව අතරින් නැගිට පරිගණකය මවෙත ඇද ගතිමි.

අනේ විසල් මට දැනෙන්නෙ මං මැරෙන්න එනව වගේ. මේ කතාව අහන මුළු ලෝකය ම කිසා කියන හිතුවක්කාර කෙල්ලට දොස් කියන බව මං දන්නව. මං අඬනව විසල්. මේ ලියන මොහොතෙත් ඉකි ගගහ මං අඬනව.

මට මෙහෙ ඉන්න බෑ විසල්. මේ දැන් මට ගෙදර එන්න ඕන. ඔයා ව දකින්න ඕන. 

මගෙ ජීවිතේදි ඔයාට තරං මං වෙන පිරිමියෙක්ට ආදරේ කරල නෑ. මගෙ තාත්තටවත්. ඔව් මගෙ තාත්තටවත් මං මෙහෙම ආදරේ කරල නෑ. ඒ හිස් තැන අසීමිත විදිහට පිරිල ඉතිරිලා ගියේ ඔයා නිසා.

ඔයා නැතුව ජීවත් වෙන එක කොච්චර අමාරුද කියල දැන් මට වැඩි වැඩියෙන් දැනෙනව. ඇට මස් ලේ වලට දැනෙනව. පපුව පැලෙන්න එනව. පෙනහලු පුපුරන්න එනව. ජීවිතේ එක දෙයක් වෙනස් කර ගන්න වරමක් ලැබුණොත් මං ඔයාට ආදරෙයි නොකියා ඉන්නව.

ඔව් විසල්. එහෙම වුණා නම් ඔයා අද මෙහෙම ගින්දරක දැවෙන්නෙ නෑ. සඳුන් සෑයක දැවුණත් ගින්දරට පිච්චෙනව විසල්. ඒක මං ම අවුලෝ ගත්ත ගින්දරක් නිසා මං දැවෙන්නම්..ඒත් ඔයා මෙහෙම පිච්චෙනව බලන් ඉන්න බෑ. 

ඉෂිනි කියන්නෙ මට අදාල කාරණයක් නෙවෙයි. ඉෂිනි නිසා මං ඔයාගෙන් දුරස් වුණා නෙවෙයි. ඉෂිනිට කුද ගහ ගන්න කියල මට ඔයාව බැඳ ගන්න තිබුණා. ඒත් ඉන් පස්සෙ මොකක්දෝ මූසල කමක් අපි අතරෙ පැතිරෙයි කියල මට දැනෙනව. මං පැනල ආවෙ ආදරෙන් නෙවෙයි විසල්. අන්න ඒ මුස්පේන්තු හැඟීමෙන්.

ඔයා සඳුන් සුවඳක් වගේ හැමදාම මගෙ ඇතුළාන්තයෙ ඉන්න ඕන. ලැවෙන්ඩර් සුවඳක් වගේ..නමක් හොයා ගන්න බැරි මල් වලිනුයි ගස් වලිනුයි හමන සොබා දහම් සුවඳ වගෙ.

මේ කාමරේත් මට ඔයා සුවඳයි. ඒ මගෙ මුළු හදවතම ඔයා ගෙන් පිරිල නිසා. ඒ මගේ පැත්ත.

ඔයාගෙ පැත්ත මීට වඩා දරුනුයි. පරම්පරා දේපල පිට නොයා රැක ගන්න ඉෂිනි ව ඔයාට පවරන ඥාති සමූහය එක්ක ඔයා කැමති විදිහකට මේ ගැටළුව විසඳ ගන්න. ඒ කොහොම විසඳ ගත්තත් මං ඔයාව අත් අරින්නෙ නෑ. මං ඔයාව දාල යන්නෙ නෑ. කවදා ඔයාගෙ විසඳුම ලැබුණත් ඔයා වෙනුවෙන් බලන් ඉන්න හිතක් මේ ලෝකෙ කොතනක හරි තියනවා.

විසල්, මං ලස්සන හීනයක් දකිමින් හිටිය. ඒ හීනය ඔයා. මට දිගටම ඒ හීනය දකින්නෝන. ඒත් ඔයාට වදයක් නොවෙන්න. ඔයා නිදහස් වෙලා එනකල් මං බලන් ඉන්නව. සමහර විට මට බලන් ඉන්න වෙන්නෙ මාසයක් දෙකක් වෙන්න පුළුවන්. සමහර විට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒ කාලය ගැන මට ගැටළුවක් නෑ. මං දන්නෙ මං ඔයා වෙනුවෙන් බලන් ඉන්න බව විතරයි. සමහර විට මගෙ ජීවිත කාලය ම වුණත්. 

මේ ආදරේ ඔයාට දැනෙන සීමාවෙන් එහා තියන එකක් කියල වෙලාවකට මට හිතෙනව. අපේ පංචේන්ද්‍රියන්ට සංවේදී නොවෙන තීව්‍රතා වල සංඛ්‍යාත ඕන තරම් මේ විශ්වයේ තියෙනව. මං ඔයා වෙනුවෙන් විශ්වයේ කොහේ හෝ තැනකත් විශ්වය පුරාමත් සුසුර වෙමින් ඉන්නවා. ඔයා එන්න!

රත්තරං, මං ඔයාට ආදරෙයි. මගෙ අන්තිම හුස්ම හෙළන්නෙත් ඒ ආදරෙන්. 

මට සමා වෙන්න. මං මේ ලියුම ඔයාට එවන්නෙ නෑ. ඒත් යම් කිසි දවසක ඔයා මේක කියවයි. මේත් එක්කම තව ලියුම් ගොඩක් කියවයි. අන්න එදාට මේවා අතරෙ තිබිල, මගෙ හිත ඔයාට හමු වෙයි.

මං ආදරෙයි විසල්.

‘අන්සෙන්ට් ලව් ලෙටර්ස්’ යනුවෙන් නම් කළ ෆෝල්ඩරයක මම ඒ ලියුම තැන්පත් කළෙමි. සමහර විට මගේ හදිසි මරණයකින් පසු විසල් ට ඒ හමු වනු ඇත!

මගේ කොපුල් වල පරණ කඳුළු පාර වල පැල්ලම් ද අලුත් කඳුළු ද උතුරමින් තිබිණ. ලියුම ලියනාතර වාරයේ දිගට ම මා හඬා ඇත. ශ්වසන මාර්ගය තදින් අවහිර වී තිබිණ. මම තව බෝ වෙලාවක් ඉකිලමින් හැඬුවෙමි.

පසු දා ඉෂිනි යළි ගමේ ගිය බව පුංචී කීවා ය.

“ඒකිට පිස්සු. එදා අච්චර අමාරුවෙ කාර් එකේ හිර වෙලා ඇවිත්..දවස් කීයද හිටියෙ ගියා”

පුංචි ගේ මුහුණේ නොහොඳක් විය. නමුත් පුරුදු මන්දස්මිතය ද ඈ මුව අතැර නොයා තිබිණ. 

“මං කිසාට රෙස්පෙක්ට් කරනව. කිසා ගත්තෙ ඔය වයසෙ කෙල්ලෙක්ට ගන්න අමාරු තීරණයක්. ඔය වයසෙදි අපිට එහෙම කරන්න පුළුවන් වුණා නං මෙහෙම නොවෙන්න තිබුණා”

දුරකතන තිරයට එබුණ නදීරා කීවා ය. ඔවුන් මගේ කතාව දන්නා බව, ඒ ඉඟි වලින් මට අනුමාන කළ හැකි විය. නමුත් විසල් ගැන කිසිවක් ම අප කතා නො කළේ හරියට සම්මුතියකට එළඹ ඇත්තාක් මෙනි. 

“අපි ජීවිතේ මැදි වයසෙදි තේරුං ගත්ත යථාර්ථය කිසා ඔය වයසෙදි ඔප්පු කරල පෙන්නල තියනව”

“බොරුවක්යැ…අපේ පවුලෙ ජාන එහෙමනෙ”

අප සියලු දෙනා සිනහ වුණේ ත් කතා කළේත් අළු යට ගිනි තබා ගෙන බව නොරහසකි. මා රිදුම් විඳිමින් ඉන්නා බව, ඒ ගැන කතා නොකළා ට ගැහැනු ගෙදර ගැහැනු දනිති.

අම්මා ද විසල් ගැන මා හා දෙඩීම අත් හැරියා ය. තුවාලයක් යළි යළිත් පාරනවාට වඩා නිදහසේ සුව වෙන්න ට කාලය දෙන එක හොඳ යයි ඇය තීරණයකට එන්නට ඇත.

පොඩි කාලේ සිට ම මට දිගු කාලීන මිත්‍රත්වයන් තිබී නැත. අවස්ථානුකූල ව මා ඒ වෙලාවට අවැසි කෙනෙකු ඇසුරු කළා පමණකි. විරංග හැරුනු කොට ඒ කිසිවෙකු හා මා අතරේ හදවත් බැඳීමක් ඇති වී නැත. නමුත් ඉන්දියාවට ආ පසු කාංචනා ඒ සියල්ල වෙනස් කරන බවක් මට දැනිණ. ඇය මට වඩා  වසර කිහිපයකින් වැඩි මහල් වී ද අප දෙදෙනාට ම එහෙම වයස පරතරයක් නො දැනුණා කියා සිතමි. ටජ්මහල් බලන්නට ගිහින් එන අතරේ දී ඇය මගේ හදවතේ රහසිගත කොනට එබිකම් කළා ය.

“කොල්ලෙක් ව අමතක කරන්නද ඔය ඇවිත් ඉන්නෙ…”

ඇගේ ඒ ප්‍රශ්නය අභ්‍යන්තරික විදාරනයක් ඇති කරවනු මට දැනිණ. මීට පෙර කිසිදු මිතුරියක ඒ විදිහට මගේ හදවතට එබී නැත.

“ඇයි එහෙම අහන්නෙ…”

“ඔයා දිහා බලං ඉන්නකොට මට එහෙම දැනුණා. මොකද මාත් එහෙම කරපු කාලයක් තිබුණ නිසා. නුවර එළියෙ ඉඳං කාෂ්ටක කොළඹ ඇවිත් මගෙ හැඟීම් කර වෙලා වේලිලා යන හැටි පැත්තක ඉඳන් බලන් හිටපු නිසා. අද ඔයා දිහා බලන් ඉන්නකොට මට පේන්නෙ මගෙ අතීතය. හිස්ට්‍රි රිපීට්ස් කියන්නෙ නිකං නෙවේනෙ”

 යන්තම් සිනහවකින් බිම බලා ගෙන සිටියා මිස මම පිළිතුරු දෙන්නට නො ගියෙමි. විස්තර කතනයක් නො වූවා ට මගේ නිහඬ බව යනු එකඟ වීමක් ලෙස ට ඇය පිළි ගන්නට ඇත. 

“ආදරේ අපි කාටත් දැනෙන්න රිද්දන එක වතාවක් හරි ජීවිතේට උදා වෙනව කිසා. ඇත්තට ම…වයසට ගිය කාලෙක මතක් කරන්න වුණත් ඒ තුවාලෙ තමයි ඉතුරු වෙන්නෙ. ඒ තුවාලෙ ප්ලාස්ටර් කරල ඒකට උඩින් මොන සෙල්ලං දැම්මත්…තුවාලෙ එතන තියනව. වේලිලා කබොල්ල හරි…කැළල හරි ඉතුරු වෙලා තියෙනව”

අතීතකාමී බවක් මට ඇගෙන් දකිත හැකි විය. මේ මොහොතේත් ඇය ඒ තුවාලය පිරිමදිමින් සුව නොවෙන රිදුමක් විඳිනා බව පෙනෙන්නට තිබිණ. මොන හේතුවක් නිසා ද මන්දා මම ඇය ට කැමති වීමි. මගේ වයසේ ගෑනු ළමයින්ගේ නොයෙකුත් ඇද පලුදු සොයමින් ඔවුන් ගෙන් ඈත් වෙමින් සිටියා ට, මා බලාපොරොත්තු නොවූ ලෙස මම කාංචනා ට මගේ ජීවිතය වෙත සමීප වන්නට ඉඩ දුන්නෙමි.

“ඒ හීන වලට වඩා හොඳ ජීවිතයක් අන්තිමට අපි උරුම කර ගන්නව තමයි. ඒත් ඒ හීන ඇතුළෙ ඇස් දෙක පියා ගත්තහම අදටත් ජීවත් වෙනව කියල දැනෙනව…”

මම ද යම් කිසි කාලයක දී සිහින වල ජීවත් වූ ගැහැනු ළමයෙකු වෙමි. නමුත් ඒවා ප්‍රේමයට ළඟ සිහින නොව චමත්කාරය තැවරුණ සින්තටික් සිහින ය. ලෝකය පුරා ඇවිදින්නට යාම මගේ එහෙම සිහිනයක් ව තිබිණි. ඒ කාලේ දී හැම රැයක ම වාගේ මම හිම පතනයන් හි ඇවිද ගියෙමි. සකුරා මල් යාය වල, චෙරි මල් පෙති සුළඟට මුහු වුණ දිව්‍යමය පෙත් මං වල, ශරත් සමයේ මේපල් පත්‍ර පා ව යන පාළු වීදි වල තනි ව ඇවිදින සිහින මට දුර නොවී ය. මෝසම් වැස්සකට පසු රත්තරං පාට හිරු කිරණ කදම්බයක් පායා එන සෙයිනි, ඒ සිහින අතරින් විසල් එබී බැලුවේ. 

අවසන ඔහු සිහිනය නොව සිහින වල පාට තැවරූ මායාව විය. චමත්කාර සිහින වලට වඩා ජීවිතය බරැති හා රිදුම් දෙන ඉසව්වක් බව මා පසක් කර ගත්තේ ඒ මායාව ට පින් සිදු වන්නට ය.

විසල් ඊට පස්සේත් ලියුම් එව්වේ ය. මගෙන් පිළිතුරු නොලැබ ඔහු අවසාන වශයෙන් තිස් වන ලියුම ද එවා තිබිණි. ඒ වන විට මගේ ලැප්ටොප් පරිගණකයේ අන් සෙන්ට් ලව් ලෙටර්ස් ෆෝල්ඩරයේ ලියුම් ගණන සියය ඉක්මවා තිබිණි. සමහර දවසක මම ලියුම් තුන හතර ලීවෙමි. සමහර දවසක හිත හිස් කමින් පිරී තිබි අතර මට එක අකුරකුදු ලිවිය හැකි වූයේ නැත. 

ලියුම් ලීවා මිස ඇත්තට ම මා නවකතාව ලියන්නට පටන් ගත්තේ හෝ නැත. අග්‍රා වලට ආසන්නයෙන් වන, විදේශික අවධානය යොමු වන තැන් වලට සේ ම ජනපද වලට ද කාංචනා හෝ රාහුල් මා කැටුව ගියේ ය. නමුත් ආපසු නවාතැනට විත් ලිවීමක් අරඹන්නට තරම් ප්‍රබෝධයක් මට නො දැනිණ. ලිවිය හැකි වූයේ විසල් සිහි කරමින් ඔහු ට ලිපි පමණකි.

පිරිමියෙකු කෙරෙහි පෙමින් ආතුර වීම ඒ වාගේ උමතුවක් බව ඊට පෙර මා දැන සිටියේ නැත. ප්‍රේමවන්ත පිරිමි ඇස් දෙකක් ගැන ගැහැනියකට මේ තරම් ලිවිය හැකි යයි කොහෙත් ම මම දැන නො සිටියෙමි.

“ඊස්තටික් සබ්ජෙක්ට්ස් වලට ඉංග්ලිෂ් ලිට්රිචර් කරන්න ආපු ළමයින් ගෙන් අපේ ග්‍රේඩ් එකේම අන්තිමට ඉතුරු වුණේ ළමයි හත් දෙනයි. අනිත් අය පුරුදු විදිහට ඩානසින් වලටයි මියුසික් වලටයි ගියා. ලිට්රිචර් දිරවන්නෙ නෑ කියල පස්සෙ හිනා වුණා. ලිට්රිචර් වලට තිබුණ නවල්ස් වලට අමතරව මං සෑහෙන්න ක්ලැසික්ස් කියෙව්ව. ඒත් ඒ එක පොතකවත් හරියට පිරිමි ගැන ලියවිලා නෑ කියලයි මට දැන් හිතෙන්නෙ”

කාංචනා එක්ක දෙහි මුසු කළ ශීත තේ එකක් තොල ගාන ගමන් මම මිමිණුවෙමි.

“ඒ කියන්නෙ දැං ඔයා ලියන එකේ ඔය කියන විදිහෙ ලවබල්…ලස්ටි…ශෘංගාරාත්මක…සෞන්දර්යාත්මක පිරිමි ගැන ලියවෙනව…”

මම හඬ නගා සිනහ වීමි. කාංචනා විශ්මයෙන් බලා සිටියා ය.

“මං හිතන්නෙ ඒව ලියල තියෙන ගොඩක් පිරිමි. එයාල ඉස්මතු කළේ ඒගොල්ලොංගෙ ෆැන්ටසි වල හිටපු ගෑනුංව. නමුත් ලේඩි නවලිස්ට්ල ගොඩක් ලියල තියෙන්නෙ එයාලගෙ ඇත්ත හැඟීම් වහගෙන. ඒක නිසා ඒවගෙංවත් හරියට පිරිමියා මතු වුණේ නෑ. ලියනවනං…මට දැං තියෙනව එහෙම සෞන්දර්යාත්මක පිරිමි ගැන ලියන්න මහා හුඟක් කාරණා”

දවසක ඒවා ලියා තබන්නට මට ඕන වුණා දැයි මා වුව දන්නේ නැත. නමුත් මගේ ඇස් දීප්තිමත් වී ඇති බවක් මට ම දැනිණ. ඒ මහා පුරුෂ හැඟීම විසල් විසින් ටික ටික හදවතට කාන්දු කරමින් සිටියේ ය. මට වඩ වඩාත් ඒ හැඟීම දැනෙන්නට වූයේ ටික ටික ඔහු ගෙන් දුරස් වෙත්දී ය.

කෙසේ වෙතත් ලියන්නට හිටි නවකතාව , ඒ ශෘංගාරාත්මක සෞන්දර්ය වාදියා ගැන ලියූ පෙම්පත් වලින් විස්ථාපනය වෙමින් තිබිණ. විසල් අපේ ගෙදරට යාබද උඩු මහලෙන් නික්ම ගිය බව පුංචී මට කීවේ මා ඉන්දියාවට විත් දෙමසක් ඉක්ම ගිය පසු ය. ඒ වෙලාවේ මම දරුණු භූමි කම්පනයක් බඳු සසලවීමකට බඳුන් වීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles