ඉඳුදුන්න-01

සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය කඳුළු ද තනිකම ද උපද්දවන බව ඇය නොදන්නවා නොවේ.නමුත් අමන්දීට පහත මාලයට යන්නට කුසීතකමක් ඉපිදිණ.පහත මාලය කලබල ය.ඉවීමේ වැඩ ද නිවසට යාබද සිල්ලර කඩයේ වැඩ ද ඇති තරමට ය.අමන්දීට ඒවාට හවුල් වීමට සිතක් නැත.යමක් සොයා බලා කරන්නට ඇති ආශාව ඇය තුළින් පලා ගියේ ඇයට නොදැනීම ය.

“අක්කා..අනේ හොඳටම මදුරුවෝ.ඔය ජනෙල් වහගන්න..”

සඳුනි කාමරයට එබුණේ එසේ කියාගෙන ය.ඉන් නොනැවතුණු ඇය කාමරයේ ජනේල වසා දමා විදුලි පහන් ද දැල්වූවා ය.

“ඔය ඔක්කොම පොත් අක්කා කියවන්නද ගෙන්නුවේ..”

සඳුනි අසන්නේ අමන්දීගේ ඇඳ මත විසිරි පොත් තොගය දෙස බලමිනි.දෑවැද්දට ගෙන ආ අල්මාරිය පිරෙන්නට පොත් ඇති බව කියන්නට සිතුණ ද අමන්දී නොදොඩාම හුන්නා ය.

“අක්කා මෙහෙට ආවත් හරි කීපපාරක්ම පොත් ගෙන්නුවනෙ.දැන් බරටම ඇති නේද?”

සඳුනි ඇඳ මත විසිරුණු පොත් එක ගොනුවකට කළා ය.

“අපි හෙට ලී මඩුව පැත්තෙ යං..අක්කට පොත් රාක්කයක් හදෝ ගමු..”

නැගණියක නැති අඩුව හිටිහැටියේ පිරිමසන වැඩ සඳුනි අතින් සිදු නොවනවාම නොවේ.එහෙත් ඈ සාම්ප්‍රදායික නෑනාට අඳින තැන් බොහෝ ඇති නිසා අමන්දී ඈ සමඟ ගනුදෙනු කරන්නේ ප්‍රවේසමෙනි.මේ දැන් ද ඇයට කාමරයට පිවිසෙන්නට පෙර අවසර ගන්නටවත් සිතුණේ නැත.

“ඔයා යනවද රෑට ගොයං කපනවා බලන්න..”

මොනවා හෝ කියන්නට උවමනා නිසා අමන්දි ඇසුවා ය.සඳුනි දෙවුර ගස්සා හිනැහුණා ය. ඈ නොකියන රහස් අහන්නට අමන්දී මනාප නැත.සඳුනිට යන්නට හැර අමන්දී දුරකථනය අංකනය කළා ය.

“හෙලෝ..ආ කියන්න..”

එහා ඉමෙන් අවිශ්කගේ හඬ මතු වේ.තමන් ඔහු කැන්දාගෙන ආ බිරිඳ බවත් දුරකථනයට පිළිතුරු දෙද්දී හලෝ ගාන්නටත් ව්‍යාපාරික ඇමතුම් වලට මෙන් ආ කියන්න යැයි කීමට නුවුමනා බවත් අමන්දී අවිශ්කට කිහිපවාරයක් සිහි කළා ය.නමුත් ඔහුගේ පැවැත්මේ වෙනසක් නැත.මාස තුනක් ගෙවී ගිය ද වෙනසක් නැත.

“නිකං..ගොයම් කපනවද?”

ඇය ඇසී ය.අවිශ්ක සිටින ඉමෙන් මහා සද්දයට යන්ත්‍රවල හඬ ඇසේ.

“තව සෑහෙන්න තියනව නංගි.ඇයි?” අවිශ්ක අසයි.ඔහු නංගී යැයි පැවසුව ද ඔහුට අයියා කියන්නට අමන්දී නොකැමති ය.ප්‍රේමණීය වචන වලට ඔහුගෙන් සහයෝගයක් නොවේ.දැන් අමන්දී සැමියාට අමතන්නේ ආමන්ත්‍රණ රහිතව ය.

“මං එහෙමකට කුඹුරු වැඩ දැකල නෑ..ආස හිතුණා.ඇවිල්ල මාව එක්ක යනවද?

අතීත පෑරුම් හදවතේ තිබුණ ද අමන්දී දැන් හිඳින්නේ අවිශ්කට යහපත් බිරිඳක් වීමේ අපේක්ෂා හද දරාගෙන ය.වියළි කලාපයේ ගමක ජීවිතය දරා ගන්නට ඉටා ගෙන ය.සඳ එළිය පිපෙන රාත්‍රියක අවිශ්ක සමීපයට වී ගොයම් කපන අන්දම බලා හිඳීමේ බොළඳ ආශාවක් ද ඇගේ සිත වෙළා ගත්තේ ය.

“මං පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් නං මුං හොර කරනව නංගි.බලමුකො.මං ඔයාවයි නංගිවයි එක්කන් එන්න සුරංගයවත් එවන්නං…”

අවිශ්ක එසේ කියා ඇමතුම විසන්ධි කර දැමී ය.

අමන්දී කවුළුව හැර දමා අඳුරු ආකාසය දෙස බලා හුන්නා ය.එහි තරු සිය ගණනක් පිපී එයි.සඳ නැගෙන අහසේ ඇත්තේ අමුතුම සෞන්දර්යයකි.වියළි සුලඟෙහි පවා සුන්දරත්වය නැතිවාම නොවේ.මේ වියළි කලාපයේ ජීවිතය ගැන ඇගේ සිහිනවල තිබිණ.ඒ බිරිඳක ලෙස නොවේ.අවිශ්කගේ යෝජනාව පැමිණියේ ඈ ගුරුවරියක වීමේ සිහින අතර එල්බ ගත් කාලයේ ය.

“අනේ අම්මේ..මොන දුරකද?”

අවිශ්ක සම්බන්ධ මංගල යෝජනාව පැමිණි වහා අමන්දී පැවසුවා ය.අවිස්සාවේල්ල පැත්තේ ගුරුවරයෙකු ද පෞද්ගලික අංශයේ සේවය කරන පිළියන්දල තරුණයෙකු ද අතරින් අම්මා තෝරාගත්තේ කුරුණෑගල නගරයෙන් ද බොහෝ ඈත ගමක අවිශ්කව ය.

“ගුරු රස්සාවෙන් මොනවද කරන්න පුලුවං..මේ කොල්ලටත් මඟුල් හෙව්වට හතලිස්දාහක්වත් පඩි නෑ මං හිතන්නේ..”

අම්මා අනෙක් යෝජනා දෙකම ඉවත හෙළුවා ය.

“මේ මිනිස්සු ඉඩකඩං සාගරේට තියන මිනිස්සු.ඔය පළාත්වල මිනිස්සු වගා කරලමයි දියුණු වෙන්නේ.වී මෝලකුයි කඩ කීපයක්ම තියනවත් කියන්නේ.එකම කොල්ලා.නංගිව දීග දෙන එකනෙ..”

අම්මා ඒකමතික තීන්දුව දුන්නා ය.අම්මා කියන ඕනෑ දෙයක් පිළිගන්නා තාත්තා නිහඬවම බලා සිටියේ ය.

“ශිෂ්‍යත්වෙ පාස් කරාම හොඳම ඉස්කෝලවලට යැව්වෙ බයෝ හරි මැත්ස් හරි කරයි කියල බලාගෙන.සංගීතයක් අල්ලා ගත්තනෙ..දැං පේනවනෙ.යමක් කමක් තියන තැනකට යවන්න හදන්නෙ එහෙම හරි හොඳට ඉන්න.මේ ඉඩම පර්චස් අටයි.මල්ලිට මේක දුන්නම මොකුත් ඉතුරු වෙන්නෑ ඔයාට..”

කොළඹ නගරයට තදාසන්න නගරයක පර්චස් අටකටත් හොඳ ඉල්ලුමක් ඇතිබව කියන්නට උවමනා වුවත් අමන්දී කිසිත් නොපැවසුවා ය.නමුත් ඇය ගුරුවරියක වීමට අවශ්‍ය බව අම්මාට කියා සිටියා ය.

“මුලින්ම දුෂ්කර දානත් එකේ මට ඔය මැරේජ් එක කරලා ඒ පැත්තේ ඉස්කෝලෙකට යන්න පුලුවන්නෙ..”

අමන්දී එසේ කියද්දී අලුත් මනමාලයාට අවශ්‍ය රැකියාවක් නොකරන ගැහැනියක බව අම්මා හෙළි කළා ය.අමන්දි නිරුත්තරව බලා හුන්නා ය.

“තමුසෙගෙ ජීවිතේ මහ බෝරිං ඕයි.කොල්ලෙක් නෑ.අච්චර සබ්ජෙක්ට් තියාගෙන මියුසික් කරා…දැන් ඔන්නොහෙ ඔය කසාදෙ කරගන්නවා..”

ඉංජිනේරු ශිෂ්‍යයෙකු වී මල්ලී පැවසුවේ එපමණකි.

සැබෑවටම තමාට පෙම්වතෙකු සිටියේ නැතිදැයි අමන්දී සිතුවා ය.එය අදට ද පිළිතුරු නැති ප්‍රශ්නයකි.ආදරය වචන වීමට අවශ්‍ය නැතැයි ඇය කියවා ඇත.වචන නොවී ළඟ හුන් ආදරයක් ඇයට විවාහ යෝජනා එද්දී පවා වදනකුදු නොදොඩා හුන්නේ ය.ඔහුට සිහිනයක් දිගේ ඇවිද යන්නට තමන් අමතක කරන්නට සිදු වන්නට ඇතැයි අමන්දී සිතුවා ය.

“හයියෝ අක්කා.ඔයා වෙලට යන්න ඕන කිව්වද අයියට?”

අමන්දී පහත මාලයට බසිද්දී සඳුනි පැමිණියේ නෝක්කාඩුවක තැවරීගෙන ය.

“අනේ,ඔයාට බැරිනම් මං සුරංග එක්ක යන්නම් නංගි..”

අමන්දි එසේ පැවසුවා ය.එහෙත් සුරංග සමඟ ගමනේ යන්නට සඳුනිගේ මනාපයක් ඇති බව තෙමසක් තිස්සේම අමන්දීට නොදැනුණා ද නොවේ.

“යං..නවයට විතර යං ඈ..”

අමන්දී එයට එකඟව මුළුතැන්ගෙයට අඩිය එසවූවා ය.සඳුනි ඇගේ අතකින් ඇද සෝපාවට ගත්තා ය.

“ඉන්නකො අප්පා..අද අලුත් ඩ්‍රාමා එකක් පටන් ගන්නවා.ඒක බලන්න මං නැවතුණෙ”

සඳුනි බලන ප්‍රේම කතාවලට අමන්දීගේ මනාපයක් නොමැත.ඇය යූ ටියුබ් ඔස්සේ තෝරාගත් නිර්මාණ නරඹද්දී නැන්දම්මා සහ නෑනා රූපවාහිනිය ඝෝෂකාරීව ක්‍රියාත්මක කරගෙන පෙම් කතා බලති.

“අනේ ඉන්නකො..අද ඉඳන් අර ඉඳුවර හසරැල් ඇක්ට් කරන්න පටන් ගන්නව.මං මේ ඉන්නේ එයා බලන්න..”

පිට කොන්ද දිග සියුම් හිරියක් වැටෙන බව අමන්දීට දැනිණ.ඇය සඳුනි දෙස බැලුවේ තිගැස්මෙනි.තිගැස්ම සඟවා ගන්නට යත්න දරමිනි.

“ඇයි ඉතිං මූණ නරක් කරගත්තෙ.එයා ගායකයෙක් තමා.ඒ උනාට එයා ආපු චැනල් එකේම නාට්ටියක ප්‍රදාන නලුවා වෙන්න බැරි නෑනෙ.මං හරි ආසයි අක්කා ඉඳුවරට.එයා මාර ලස්සනයි.මං ඒ කාලේ එසෙමෙස් සීයක් විතර ගැහුවා එයාට.කොහෙද අර යටි උගුරෙන් බෙරිහන් දෙන මිනිහෙක්නෙ දිනුවේ..අනේ අර..පටන් ගත්තා.මේකේ තේමා ගීතෙත් එයාගෙ.”

සඳුනි උන්මාදයෙන් බොහෝ දේ කියවද්දී කකියන උගුර කෙළ.පොදකින් තෙමා ගනිමින් අමන්දී මුළුතැන්ගෙයට ඇදුණා ය.ඉඳුවරගේ ගී හඬ දෙසවන්හි හැපෙන්නේ ඈ වඩා අවුලවමිනි.අමන්දී වතුර වීදුරුවක් ගෙන ගී හඬ නොඇසෙන දුරකට ගියා ය

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles