ඒ මගේ බෝනික්කා

ගෙවෙන හැම තත්පරයක් ගානෙම, අපි ඇහි පිය හෙලන ඇසිල්ලෙන් පවා, ලෝකෙ බොහෝ තැන් වල විවිධ  පීඩාවන්ට, දුක්ඛිත තත්වයන්ට, වේදනාවන්ට පත් වුන පුංචි දරු පැටවු ගැන ඔබ කතා අහල ඇති. එහෙම කතා නිසා හිත උණු වෙලා, ගත හිරි වැටිලා ගිහින් ඇති.  අතිශය සංවේදී බිඳ වැටීම් වලට මුහුණ දීලා ඇති. අද අපි ඔබට කියන මේ  සිදුවීමත් ඔබව සංවේදී කරවන,  ලෝකයටම අමතක කරන්න අයිතියක් නැති අනුවේදනීය  සිදුවීමක්. 

ඔබ අහල ඇති කියුබානු විප්ලය තුල අමතක නොවන ඉතිහාසගත චායාරූප ගත්තු Alberto corda ගැන. කියුබානු විප්ලවයට අතිශය ඉතිහාසමය වටිනා කමක්  දුන්න චායාරූප බොහෝමයකගේ වගේම, විප්ලවයේ සදානුස්මරණීයමය චරිතය;  චේ ගුවේරාගේ වඩාත් කැපී පෙනෙන  චායාරූප  ලබා ගත් ශිල්පියා වන්නෙත් ඔහු.

ඔහු ලබා ගත් තවත් අයිතිහාසික චායාරූපයක් වටායි මේ ලිපිය ගොඩ නැගෙන්නෙ. ඔහුගේ තෙවැනි ඇස නැවතුණ මේ සේයාරුව ලෝකය පුරා තවමත් අලෙවි වෙනවා.

මේ ලිපිය අවසානේදී  වැඩිය වටින්නේ  මුදල් නෙවෙයි; ලද දෙයින් සතුටු වෙන  හැඟීම්  වලින් පොහොසත් දරුවෝ කියලා හිතලා ඔබට හිත හදාගන්න පුලුවන් වේවි ද කියලා බලන්න. එහෙමත් නැත්නම් බෝනික්කෙක්, සෙල්ලම් කාර් එකක් කියන අතිශය ප්‍රාථමික අවශ්‍යතාවයක්වත් නොසැපිරෙන දරුවෝ ගැන  වේදනාවක් ඔබට  දැනෙනවද කියලා බලන්න. ඒ වේදනව බයක් වෙලා පැතිරෙනවද කියලා බලන්න…, 

alberto corda කියන්නේ  කියුබානු විප්ලවයේ දිශානතිය වෙනස් කරවන  බොහෝම විප්ලවීය රූ කැමරාවට අල්ල ගත්ත කෙනෙක් බව අපි කලින්ම කිව්වා. විප්ලවීය චායාරූප වෙනුවෙන් වෙහෙසුණ alberto corda  1959 පෙබරවාරි මාසේ මැද දවසක  කියුබාවේ පිනාර් ඩෙල් රියෝ කියන ප්‍රාන්තයේ ප්‍රධාන නගරය මැදින් ඇවිදගෙන යන ගමන් හිටියා. ඒ වෙනකොට ආර්ථික අපහසුතා වලින් බැටකමින් උන්නු නගර වාසීන්ගේ මූණු අතරෙන් alberto  හෙව්වේ වෙනස්ම කතාවක් කියන මූණක්. ධනේශ්වර මිනිස්සුන්ගේ පීඩන නිසාම ඒ ප්‍රාන්ත වල සාමාන්‍ය සහ මධ්‍යම පාන්තික මිනිස්සු ගෙව්වේ අතිශය දුක්ඛිත ජීවිත.

ඒ ඇවිදගෙන යන අතරේදී තමයි alberto  ලොකු කලු පාට ඇස් තියෙන, අවුවට පිච්චුණ හමක් තියෙන, අවුරුදු හතරක පහක  ගෑණු ළමයෙක්ව දකින්නේ. ඒ ළමයා කොළ කෑල්ලක ඔතලා තිබුණ යමක් පපුවට තුරුළු කරගෙන  සුදු පාට බිත්තියක් සහ දොරක් ළඟ හිටගෙන ඉන්නේ ඔහු දිහාවම බලාගෙන. alberto එතන නවතිනවා. කැමරාව බෙල්ලේ එල්ලගෙනම ඒ හුරතල් කෙළි පොඩ්ඩ දිහා බලාගෙන ඉන්නවා.

alberto ට හිතෙන්නේම ඇය ගුලි කරන් ඉන්නේ කොළ කෑල්ලක ඔතපු පාන් කෑල්ලක් වගේ යමක් වෙන්නැති කියලා. alberto පුංචි ගෑණු ළමයා  දිහාවට කිට්ටු වෙනවා.

“යාලුවා… ඔයාගේ නම මොකක්ද ..?”

alberto එහෙම ඇහුවම කොළ කැල්ලේ ඔතලා තිබුණ යමක් පපුවට තදට තුරුළු කරගෙන ඒ පුංචි ගෑණු ළමයා එයාගේ නම කියනවා. කනට නෑහෙන ගානට. alberto  ගෑණු ළමයාගේ නම කිහිප වතාවක්ම  කියලා පුංචි කෙල්ල එක්ක  හරි ඉක්මනට මිතුරු වෙනවා. 

“ඉතින් පොඩි බබෝ මොකක්ද ඔය කොලේක ඔතාගෙන ඉන්නේ ?”

alberto ටික වෙලාවකින් එහෙම ඇහුවම පුංචි ගෑණු ළමයා වටපිට බලලා alberto හීනෙකින්වත් නොහිතපු උත්තරයක් දෙනවා.

“ඒ මගේ බෝනික්කා … එයා මගේ හොඳම යාලුවා…”

ඊට පස්සේ, alberto පුංචි ගෑණු ළමයාගෙන් අහනවා බෝනික්කා එක්කම පින්තූරයක් ගනිමුද කියලා. පුංචි ළමයා හිනාවෙලා පත්තර කොළේ  පැත්තකට දානවා. ජීවිතේ සමහර දේවල් වෙනුවෙන් අපට තියෙන බලාපොරොත්තු වල පරිමාව ගැන alberto ට හොඳටම තේරෙන්නේ එවෙලේ. පුංචි ගෑණු ළමයා ගේ අතේ තියෙන්නේ නිකම්ම නිකම් ලී කැල්ලක්. එයාගේ අතට පහසුවෙන් අල්ලගන්න පුලුවන් තරමේ හැඩැති ලී කෑල්ලක්.

“මෙයා මගේ බෝනික්කා …”

පුංචි ගෑණු ළමයා එහෙම කියනකොට alberto කැමරාව ඒ දිහාවට එල්ල කර ගන්නවා. කුඩා  ගැහැණු ළමයෙකුට සෙල්ලම් බෝනික්කෙක් කියලා තුරුළු කරගන්න ලැබෙන්නේ ඉවත දාන ලී කැබැල්ලක් නම්, දරුවන්ගේ අනාගතය ගැන දැනෙන්න ඕනි බය alberto ට හොඳින්ම  දැනෙනවා. ධනේශ්වර මිනිස්සුන්ගේ කෑදරකම නිසා පීඩාවට පත් වෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වල ඇතුලාන්තය අර පොඩි ළමයාගේ ලොකු ඇස් වලින් alberto ට පේන්න ගන්නවා.

අනෙක් පැත්තෙන්, තමන්ට වටින හැඟීම් වෙනුවෙන් සන්තකයේ තියෙන දේවල් වලින්ම වටිනාකම් හදාගන්න පොඩ්ඩෙක්ව පේන්න ගන්නවා. ලී කැබැල්ලක් තුරුලු කරන් “මේ මගේ බෝනික්කා” කියලා කියන්න කොච්චරක් ලොකු හදවතක් ඕනිද? තියෙන දේවල් වලින් හීන, බලාපොරොත්තු පාට කරගන්න ඉගෙනගෙන්න පොඩි දරුවෝ කියන්නේ රටකට කොච්චරක් වටින් සම්පතක් ද ? alberto  එහෙමත් හිතන්න උත්සාහ කරනවා. 

වගකීම් විරහිත වැඩිහිටියෝ නිසා, ලෝකේ හැම තැනම ලී කෑලි වලින් බෝනික්කෝ හොයන පොඩි උන් තවම ඉන්නවා ඇති. මූලික මානව අවශ්‍යතා අතරට ආහාර, ජලය , හිසට සෙවණක් විතරක්ම නෙවෙයි අයිතිවෙන්නේ. පොඩි උන්ගේ හිත් වලට නොරිදී පවතින්න  තියෙන අවකාශයත් ළමා අයිතිවාසිකමක්. වැඩිහිටියෝ ඉවක් බවක් නැතුව ගන්න තීරණ නිසා අසරණ වුණ පොඩි පැටවුන්ගේ වීඩියෝ පට පහුගිය කාලේ තිස්සේම ඔබත් දකින්න ඇති. ඊශ්‍රායලය සහ පලස්තීනයේ වැඩිහිටියෝ එකිනෙකා හා පැටලෙද්දී සැබෑම  පීඩිත පිරිස වුණේ ඒ පොඩි පැටවු.

තමන්ගේ දරුවාගේ ජීවිතේ සුවපහසු කරන්න අපි හැමෝම වෙහෙසෙනවා. ඒක කොච්චරක් අමාරු වුනත්, ඒ  වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒ අතරේදී alberto ට මුණ ගැහුණා වගේ පුංචි ගෑණු ළමයි ඕනි තරම් ඇස් බෝල කරගෙන බලාගෙන ඉන්න බව ඔබට මඟෑරෙනවා වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඔබ හිතලාම මඟාරිනවා වෙන්නත් පුලුවන්.

ඉතින් ; ඇත්තටම ලෝකේ කැරකෙන තාලේ ගැනවත් කිසිම පැහැදිලි අවබෝධයක් නැති පොඩි උන්, අවම පහසුම්වත් නැතුව ජීවිතේ හුස්ම අල්ලන එක ඇත්තටම ඇත්ත ඛේදවාචකයක් නෙවෙයි ද  ? ඒ ඛේදවාචකය වෙනුවෙන් වග කියන වගකීම ඇත්තටම බාර ගන්නේ කවුද ? 

ලී කැබැල්ලක් තුරුළු කරගෙන, ඒ මගේ බෝනික්කා කියලා කියන්න වෙන එක කොච්චරක් අසරණ කමක්ද කියලා දැනෙන්න නම් ඒ ඇස් වල ඇතුලට ගිහින් බලන්නම වෙනවා. එහෙම නැත්නම්, බෝනික්කෙක් වෙනුවට ඔබේ දරුවාගේ අතේ ලී කෑල්ලක් තියලා අඟුරු කෑල්ලකින් ඇස්, කට ,නාසය ලකුණු කරලා; මේ ඔයාගේ බෝනික්කා පුතේ කියලා කියන්න වෙනවා. 

ජීවිතේ වැඩිහිටි මිනිස්සු අසරණ වෙන එක සාධාරණයි.ඒත්; පොඩි දරුවන්ගේ හීන වල පාට අලු  පාටින්  පටන් අරන් අලු පාටින්ම ඉවර වෙන එක සාධාරණ නැහැ.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles