ඔබ රැකියාවක් සඳහා විදෙස් ගත වෙනවාද? ඒ සඳහා අවශ්ය් ලියවිලි සුදානම් කර ගැනීම පිලිබඳ දැනුවත් වෙමු..

Smart Lady තුලින් අප අද ඔබ වෙත ගෙන එන්නේ, විදෙස් රැකියාවකට පිටත් වන ඔබට අවශ්‍යය ලියවිලි සහ ඒවා ලබාගැනීමට ඔබ යොමු විය යුතු ආයතන පිළිබඳවයි.

පළමුවෙන් ඔබ, ගමන් බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරන්න.මෙය ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් පහසුවෙන් Down load කරගත හැකිය. එය සම්පුර්ණ කර බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාර දෙන්න. ඔබට එක්දින සේවාව මගින් එදිනම හෝ සාමාන්‍ය සේවය මගින් ඔබේ ගමන් බලපත්‍රය ලබාගන්න. නැතිනම් ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සම්පුර්ණ කරන ලද අයදුම්පත භාර දෙන්න.එහි අදාල නිලධාරීන් හමුවී විමසන්න. ඔබට අවශ්‍ය තොරතුරු ඔවුන් ලබා දෙනු ඇත.

රැකියාවක් සඳහා විදෙස් ගත වීමේදී ක්‍රම කිහිපයකට එම අවස්ථාව සොයාගන්න පුළුවන්. එනම්,

  • විදේශ රැකියා ඒජන්සි
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන
  • විදෙස් ගත හිත මිතුරන්/ආයතන
  • අන්තර්ජාලය

එමෙන්ම, ගෘහාශ්‍රිත හා ගෘහාශ්‍රිත නොවන අංශය වශයෙන් රැකියා අංශ දෙකක් ඔබට හඳුනාගත හැකි වේවි. ගෘහාශ්‍රිත රැකියා අංශය යටතට ගැනෙන්නේ, ආයතනික නොවන රැකියා වන ගෘහ සේවිකා, අත් උදවූ කරු, රියදුරු වැනි රැකියා වේ.

ගෘහාශ්‍රිත නොවන රැකියා යටතට, හෙදියන්,දොස්තරවරුන්,ගුරුවරුන්, පිරිසිදු කරන්නන්, හෝටල් අංශයේ රැකියා, කාර්මික අංශයේ රැකියා වැනි නිපුණතා පදනම් කරගත් අවස්ථා රැසක් සොයාගත හැකිය.

  • විදේශ රැකියා ඒජන්සි මාර්ගයෙන්…

ඔබ රැකියාවක් තෝරාගැනීමෙන් පසු ඔබගේ ජිවදත්ත විස්තරයක් (Bio Data) විදේශ රැකියා ඒජන්සිය වෙත ලබා දිය යුතුය. ඇතැම්විට ඔවුන්, ඔබගේ ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීමේ සිට ඔබ ගුවන් තොටුපොල වෙත රැගෙන යාම දක්වා සියලු කටයුතු සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙනු ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය පිලිබඳ ඔබ දැනුවත් විය යුත්තේ සිදුවිය හැකි අපහසුතා, වංචා සහ රැවටීම් වලින් ආරක්ෂා වීම සඳහා යි. එමෙන්ම ඔබගේ අයදුම් පත් සහ අනෙකුත් ලියවිලි ලබාදෙන විදේශ රැකියා ඒජන්සිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක්ද යන්න සොයා බලන්න.
ඔබ රැකියාවක් තෝරාගත් පසුව, එහි අවශ්‍යතාව අනුව වෛද්‍ය වාර්තාවක්(MEDICAL REPORT ) ලබාගත යුතු අතර වෛද්‍ය වාර්තා රජයේ නිර්දේශිත සේවා ආයතනයකින් ලබාගෙන ශරීර සෞඛය යෝග්‍යයතාව තහවුරු කල යුතුය.මෙම වාර්තාව සේවා යෝජකයා(විදේශ) විශේෂයෙන් සලකා බලන අතර ඔබ යම් රෝගී තත්වයක් හෝ වැඩ කිරීමට නුසුදුසු තත්වයක් පෙන්නුම් කළහොත් එම රැකියාවට නුසුදුසු ලෙස සැලකේ.

විදෙස් ගත රැකියාවකට යාමේදී ඇතැම් රැකියා අංශ සඳහා පෙර පුහුණුවක් අවශ්‍ය වන අතර, ඔබ තෝරාගන්නා රැකියාව අනුව අදාල පුහුණු කාලසීමාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනගත හැකිය. ඊළඟ පියවර ලෙස ඔබ කල යුත්තේ VISA (රටකට ඇතුලත් වීමට අවසර ලබාදෙන නෛතික ලියවිල්ල) ලබා ගැනීමයි.මෙය නැතිව රටකට ඇතුල්විය නොහැකි අතර වංචා සහගත ලියවිලි ඔබව නීතිය ඉදිරියට ද ගෙනයනු ඇත.

VISA ලබාගැනීම සඳහා ඔබ රැකියාව කිරීමට නියමිත රට නියෝජනය කරන, මෙරට පිහිටි තානාපති කාර්යාලයෙන් VISA අයදුම් කර VISA ලබාගත යුතුය. එහිදී ඔබ විදෙස් ගමන් බලපත්‍රය , රැකියා ගිවිසුම හා අදාල රට අනුව ඔවූන් ඉල්ලා සිටින ලියවිලි ඉදිරිපත් කල යුතුය. ඉන්පසුව ඔබ කල යුත්තේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ගෙවා අවසන් අනුමැති අංශයෙන් ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය, රැකියා ගිවිසුම සහ VISA ලියවිල්ල සහතික කරවා ගැනීමයි.

ඔබේ සියලු තොරතුරු සහ පුහුණුව පිලිබඳ නිවැරදිබව තහවුරු කරගැනීමෙන් පසුව සහතික කර ඔවුන් නිකුත් කරන මුද්දරය විදෙස් ගමන් බලපතෙහි අලවා, රැකියා ගිවිසුම හා VISA ලියවිල්ල සමග ඔබට ලබාදෙනු ඇත.(මෙම ලියාපදිංචිය මගින් විදේශයකදී ඔබට සිදුවිය හැකි හදිසි අනතුරකදී වන්දි මුදලක් ලබාගැනීමට හැකිවනු ඇත.)

  • විදෙස් ගත හිත මිතුරන් මාර්ගයෙන්

මෙහිදී ඔවුන් ඔබට අදාල රැකියා ගිවිසුම සහ VISA එවනු ඇත. ඉන්පසු ඔබ එම ලියවිලි සහ විදෙස් ගමන් බලපත්‍රය සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුය.මෙහිදී වැදගත් කරුණක් වන්නේ,ඔබට රැකියාව සඳහා VISA එවන මිතුරා හෝ ආයතනය විසින් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, රැකියා ගිවිසුම සහ VISA ලියවිල්ල ලියාපදිංචි කර ඔබට එවිය යුතුය.

ඔබ අතට පත් වන VISA ලියවිල්ල පරික්ෂාකාරීව කියවන්න, ඔබගේ නම, විදෙස් ගමන් බලපත් අංකය, උපන් දිනය වැනි තොරතුරු නිවැරදිව සටහන් වී ඇත්දැයි පරික්ෂා කර, සුළු හෝ වැරදීමක් ඇත්නම් එය නිවැරදි කරගන්න. නැතිනම් විදේශයන්හි දී ඔබට අනවශ්‍ය අපහසුතා වලට පත් වීමට මෙන්ම ඔබව ප්‍රතික්ෂේප වීමට ද ඉඩ ඇත.

පිටත් වීමට පෙර රැකියා ගිවිසුමේ කොන්දේසි හොඳින් කියවා අවබෝධ කරගන්න. විදේශයකදී ඒවා කඩවීමක් සිදුවේනම් ඔබට ඒ සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. ( එවැනි අවස්ථා වලදී ඔබට එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදෙස් සහ සහය ද ලබාගත හැකිය)

මෙම කරුණු වලට අමතරව ඔබට විදෙස් රැකියාවක් සඳහා පිටත් වීමට අවශ්‍ය වයස් සිමාවන් පිලිබඳ අවබෝධයක් තිබීම වැදගත් වේ.

  •  ගෘහාශ්‍රිත රැකියා   – 23(ගැ) 18(පි)
  • ගෘහාශ්‍රිත නොවන රැකියා – 18 (ගැ/පි)

( මෙය පොදු වයස් සීමාවක් වන අතර ඇතැම් රටවල දී වෙනස් වේ.උදා: සවුදි අරාබිය, මැලේෂියාව)

එමෙන්ම ඔබ වයස අවුරුදු 5ට අඩු දරුවකු සිටින මවක් නම්, විදෙස් ගත වීමට අවස්ථාවක් නොලැබෙන අතර ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවුල් පසුබිම් වාර්තාවක් මගින් ඔබේ යෝග්‍යතාව තහවුරු විය යුතුය. පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අදාල ඉදිරි කටයුතු කරගැනීමට හැකිවනු ඇත.

ගුවන් ටිකට් පත ඔබට මිලදී ගැනීමට සිදුවන අතර ඇතැම් අවස්ථා වල සේවා යෝජකයා ගුවන් ටිකට් පත ඔබට සපයා දෙනු ඇත.( රැකියා ගිවිසුමේ සඳහන් කර ඇති කොන්දේසි අනුව)

මෙම අවශ්‍යතා සම්පුර්ණ කරගත් පසු ඔබ විදෙස් රැකියාවට පිටත් වීමට සුදානම්. එමෙන්ම දැන් ඔබට, ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරකු විදෙස් රැකියාවකට පිටත් වීමේදී දැනුවත් කලයුතු මුලික කරුණු පිලිබඳ අවබෝදයක් ලැබී ඇති.

Smart Lady තුලින් අපගේ ඊළඟ ලිපියෙන් විවිධ විදේශ රැකියා අංශ සඳහා අයදුම් කිරීමට ඔබ සපුරාලිය යුතු සුදුසුකම් පිලිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

නිලක්ෂි

Related Articles

Don't Miss


Latest Articles