“බබා නැගිටින්න…”
අම්මා මාව ඇහැරවා ගත්තේ උදේ පාන්දරම.ඉස්කෝලෙ යන්නේ නැති හැම සති අන්තෙකම උදේ ඇහැරෙන ළමයා මම විතරයි කියල මට හිතෙන්නේ.
“අද තාත්තා ගාව ඉන්න දවස”
සෙනසුරාදා දවස එනවට මම මේ තරම් ආස ඒකයි.අද මම තාත්තා ළඟ ඉන්න දවස.තාත්තා ගෙදර එන දවස නෙවෙයි.මම තාත්තාගෙ ගෙදර යන දවස.
“අම්මේ..අපි තාත්තට ආපහු ගෙදර එන්න කියමු..”
මම අම්මට හැම වෙලාවෙම කියනවා.අන්න ඒ වෙලාවට අම්මා මගේ ඔලුව ඉඹිනවා.
“තාත්තා දැන් මේ ගෙදරට අයිති නෑනෙ පුතේ..”
මං ලොකු වුණේ අම්මා තාත්තාගෙ රණ්ඩු බල බලා.අම්මයි තාත්තයි කියන්නේ හැමතිස්සෙම රණ්ඩු කරන දෙන්නෙක් කියලයි මම දන්නෙ.ඊටත් පස්සේ දවසක තාත්තා ලොකු බෑග් එකක් අරන් ගෙදරින් යන්න ගියා.තාත්තා ඒ ගියේ ඔෆිස් වැඩකට කියලයි මම හිතාගෙන හිටියේ.
දවස් ගෙවිලා යනවා.තාත්තා ආයේ ආවේ නෑ.තාත්තා පිටරට ගිහින්.මම එහෙමත් හිතුවා.
“ඔයාව සෙනසුරාදාට තාත්තට ගිහින් දෙන්නම්..”
අන්තිමට අම්මා මට කිව්වා.ඒක උසාවියේ තීරණයක් ලු.
“කාව්‍යා, සමහර බබාලාගේ අම්මලා තාත්තලා තීරණය කරනවා එයාලා එකට ඉන්නේ නෑ කියලා.එහෙම වුණාම එයාලා කරන්නේ වෙන් වෙන එක.එතකොට එයාලට පුලුවන් බබාව බෙදා ගන්න.ඔයාට අම්මා එක්ක ඉන්න ගමන් සෙනසුරාදාට තාත්තා ගාවට යන්න පුලුවන්..”
මට ඒ කතාව තේරුම් කරලා දුන්නේ තුනේ පන්තියේ අංජලී ටීච.දැන් මම පහ වසරේ.
“පුතා කැමතිද වෙඩින් එකක ෆ්ලවර් ගර්ල් කෙනෙක් වෙන්න..”
එදා මම කාර් එකට නැග්ග ගමන් තාත්තා මගෙන් එහෙම ඇහුවා.තාත්තා මාව එක්ක යන්නේ ෆ්ලවර් ගර්ල් කෙනෙක් කරන්නද?
“හා…”
මම ආසයි ලස්සනට අඳින්න.ෆ්ලවර් ගර්ල් කෙනෙක් වෙන්න මම කොහොමත් ආසයි.
“කොහෙද තාත්තේ වෙඩින් එක තියෙන්නේ..”
මම අහන්නේ ආසාවෙන්.
“තාත්තගෙ ඈත ගමේ.ෆ්ලවර් ගර්ල් වෙන්න පුතාව එක්ක තාත්තා එන්නම්.අම්මා කැමති වුණා..”
මඟුල් ගෙයක් කියන්නේ සතුටින් ඉන්න දවස් වලට.ඊයේ පෙරේදා අම්මා හිටියේ හුඟක් දුකින්.අම්මා තනියම අඬනවත් මම දැක්කා.
“කවුද තාත්ති මනමාලි..”
මම අහන්නේ ආසාවෙන්.
“ආන්ටි කෙනෙක් පුතේ..”
තාත්ති කියන්නේ හිනාවෙන ගමන්.
මම ෆ්ලවර් ගර්ල් වෙන වෙඩින් එකේ මනමාලයා වෙන්නේ තාත්ති කියලා මම දැනගත්තේ ලස්සන ගවුමකුත් මැහුවාට පස්සේ.ලස්සනම ලස්සන ගවුමත් අරගෙන තාත්ති මාව බලන්න ආවා.
“පුතා එහෙනම් ලබන සතියේ උදේම ලෑස්ති වෙලා ඉන්න..”
තාත්ති එහෙම කියලා යන්න ගියා.
“අම්මි, අර වගේ වෙඩින් ෆොටෝ එකක් අරන් නේද අම්මිලා මාව ගෙනාවේ..”
මම අහනකොට අම්මා අඬන්න ගත්තා.මටත් දුකයි.ඒත් මට අහන්න තව දෙයක් තියෙනවා
“ඉතින් අම්මි,තාත්ති අර ආන්ටිව මැරි කරලා වෙන නංගිලා මල්ලිලා ගේනවද..එතකොට මං තාත්තිගේ නෙවෙයිද?”
අම්මා මාව තුරුළු කරගත්තා.අම්මා අඬන්නේ මට හුඟාක් දුක හිතෙන විදියට.
“ඔයා අම්මගෙන් ඉස්සර නංගිලා මල්ලිලා ඉල්ලන්නේ මගෙ පුතේ..දැන් තාත්ති ඔයාට ගෙනත් දෙයි..ඔයා හැමදාම තාත්තිගෙ ලොකු දෝණි..”
ඒත් ආයේ කිසිම දෙයක් ඉස්සර වගේ වෙන්නේ නෑ කියලා මම දන්නවා.තාත්තා ඉස්සර වගේ වැඩ ඇරිලා ගෙදර එනවනම්, අපිට බීච් එකට , ට්‍රිප් එහෙම ආයෙත් යන්න පුලුවන් නම්.
අම්මත් තාත්තාත් වෙන් වුණේ ඇයි කියලා මට ලොකු වෙනකොට තේරෙයි කියලයි ගමේ ආච්චි අම්මා කීවේ.
“එයාලා මට ආදරේ නෑ..”
මට දැන් ඕනෑ අම්මායි තාත්තායි මැදින් නිදාගන්න.ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තර දෙන්නාගෙන්ම අහගෙන කරන්න.ගමේ අත්තම්මලාගෙ ගෙදර ගිහින් ගඟේ නාන්න.
“මගේ තාත්තා කාර් එක ඇක්සිඩන්ට් වෙලා නැති වුණානෙ…”
මගේ හොඳම යාළුවා ශෙනාලි ඒ ගැන ඉන්නෙ හරිම දුකකින්.
මම ඉන්නේ ඊට වඩා දුකකින්.
මගේ තාත්තා අපේ ගෙදරින් ගියා.දැන් එයාට තවත් ගෙයක් තියනවා.අම්මත් මමත් තනි වෙලා.
“මේ ප්‍රශ්න මගේ සුදු දූ දවසක තේරුම් ගනීවී..”
තාත්තා මට එහෙම කිව්වා.
ඒ දවස එන්නේ කවද්ද?? මම බලාගෙන ඉන්නවා.ඒත් මම ලොකු වෙන්න ආස නෑ.තාත්තා වගේම ගහන හස්බන්ඩ් කෙනෙක් මනමාලයා වුණොත් කියලා මම බයයි.