“මං අද බබාට ඇඳුම් මැහුවානෙ..”
මම ගෙට ගොඩ වෙනකොටම චතූ ආවේ හිනාවක් පුරෝගෙන.නාලා තේ එකක් බොන මුළු වෙලාවම ගියේ එයාගේ මැහුම් හැකියාව බලන්න.
“ලස්සනයිද?”
චතූ අහන්නේ ආසාවෙන්.
“ඔය ඇඳුම් ඔක්කොම අපි බේබි ෂොප් එකකින් ගමු.ඇයි ඔයා මහන්සි වෙන්නේ..”
මං අහන්නේ හෙමින් සැරේ එයාගේ ඔලුව අතගාන ගමන්.මාසෙට පාරක්වත් ෂොපින් ගිය,ඇඳුමක බොත්තමක් තරමේ අල්ලපු නැති එයා වෙනස් වුණු තරමක්.
“මං ආසයි..එයාගේ ඇඳුම් මම මහන එක මට සතුටක්..”
චතූ කියන්නේ ආසාවෙන්.මං එයා දිහා බලාගෙන ඉන්නේ ආදරේ පුරවගන්න පුලුවන් තරම් ඇස්වලට අරගෙන.
අපි මුණ ගැහුණේ ඉස්කෝලේ යනකොට.හොඳම යාළුවෙක් කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් බෙදා ගන්න පුලුවන්,ඕනෑම දෙයක් කියන්න පුලුවන් කෙනෙක් කියලා මට කිව්වෙත් චතූම තමයි.හැබැයි එයාට නොකියා මම ප්‍රශ්නයක් හංගා ගන්න කාලයක් ආවේ මටත් නොදැනී.
“මොකක්ද සිතිජ ඔයාගේ ප්‍රශ්නේ?”
චතූ හැමතිස්සෙම අහන්න ගත්තා.කිසිම ප්‍රශ්නයක් නැති බව කිව්වත් ඒ ප්‍රශ්නේ මට හැමවෙලාවෙම හිතට ගෙනාවේ මහම මහ බරක්.
“මං කෙනෙක්ට ආදරෙයි..”
අන්තිමට මං ඒක චතූට කියන්න තීරණය කරා.චතූගේ මුහුණ වෙනස් වෙන හැටි පෙනුණත් මං ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.මොකද ඉතින් ඉගෙන ගන්න කාලේ ඉගෙන නොගෙන කෙල්ලෝ ගැන කියවන්න ගියාම යාළුවන්ට වුණත් කේන්ති යනවා තමයි.
“එයාට ඒක කියන්න..”
මට චතූ උපදෙස් දුන්නා.මම ඔලුව වනලා පාඩුවේ හිටියා.
“මේ සිතිජ, එක එක කෙහෙම්මල් හිත හිතා ඔලුව නරක් කරගෙන පාඩම් කරන් නෑ නේද? ගිහින් ඒ ගෑනු ළමයගෙන් අහනවා..”
චතූ දවසක් කඩා පැන්න හැටි මට තාමත් මතකයි.
“මට බෑ..”
අන්න ඒ තමයි වෙලාව.මං අද ජීවත් වෙන සතුටුලන්තයේ මුල්ම ගඩොල තිබ්බ වෙලාව.
“මං අහන්නම්..කවුද කෙල්ල..”
හොඳ හුස්මක් එක්ක මං හිතට වීරිය ගත්තු හැටිත් චතූගේ මුහුණේ තිබ්බ බැල්මත් මට තාමත් මතකයි.දැන් ඒ දවස සැමරිය යුතු ඇනිවසරි එකක් වුණත් ඒ අතීතය මට තවමත් අද ඊයේ වගේ.
“කණ්නාඩියකින් මූණ බලන්න ගිහින්..”
චතූ අඬාගෙන පැත්තකට දිව්ව ඒ මොහොත මට තාමත් හිත ඇතුළේ මවා ගන්න පුළුවන් රූප පෙළක්.
ජීවිතේ පටන් ගත්තේ ඒ විදියට.
අපි බොහොම පරිස්සමින් අත් අල්ලාගෙන බොහොම දුරක් ඇවිදගෙන ආවා.හීන දැක්කා.හැබෑ කරගත්තා.හැබෑ නොවුණු සිහින එකතු වෙමින් තියෙනවා.අපි අපේ ගමන ආදරෙන් පරිස්සමින් ආව බව මට විශ්වාසයි.
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපි ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව
ඒ ගීතය ලියවෙන්නේ ඇත්තේ අපි දෙන්නා දිහා බලාගෙන කියලා මං හිතපු වාර අනන්තයි.ළාබාල කාලයේම ආදරයක් පටන් ගන්න එක ලේසි වැඩක්.ඒ ආදරේ රැක ගන්න එක, බාධාවලට මුහුණ දෙන එක ඇත්තටම ලේසි නෑ.
මං ඒවා විඳගන්න ඇත්තේ චතූ නිසා.අපි අපිව දරා ගත්තු නිසා.
තවත් මාසයක් එකහමාරක් මඟ බලන එක මොනතරම් අමාරුද කියලා අපි හිතමින් ඉන්න කාලයක් මේ.ඉස්කෝලෙදි හෝම් වර්ක් මඟ ඇරලා උඩබිම බලන මට ටොක්කක් ඇනලා හෝම්වර්ක් කරවපු හොඳම යාළුවා ඊටත් පස්සේ මං කැම්පස් එකේ මඟ අරින හැම ලෙක්චර් එකකම නෝට්ස් පිළිවෙලකට ලියලා දුන්නා.ඒ හොඳම යාළුවා පෙම්වතිය වුණු කාලේ.ඊටත් පස්සේ මං කරන අනවශ්‍ය වියදම් බොහොම පරිස්සමින් පෙන්නලා දුන්නේ මගේ ආදරණීය බිරිඳ. දැන් ඉන්ටර්නෙට් එක පීරමින් හොඳම පුතෙක් හදන්න දැනුම හොයන්නේ මගේ දරුවාගේ අම්මා.
මේ හැම චරිතෙම එකම එක්කෙනා වෙලා ලැබීම මගේ වාසනාවක්.
“මං මහත් වෙලා තියන තරමක්.පුතා ආවම එක්සයිස් ටිකක් කරලා ඇඟ හදා ගන්න වෙයි..”
කොන්දට අතක් තියාගෙන නැගිටපු චතූ මං ගාවට ආවේ එහෙම කියාගෙන.
“මං ඇත්තටම කැත වෙලා නේද සිතිජ.ඔයාලගෙ අම්මා කියනව පුතාලා හම්බ වෙන්න ඉන්නකොට කැත වෙනවලු.ඉතින් මං හිත හදා ගත්තා..”
චතූ මං ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මං එයාගේ කුසට අතක් තියාගෙන චන්ඩියාගෙන් පාරක් කන්න මාන බැලුවා.
“ඇත්තටම මං කැත වෙලාද?”
චතූ ආයෙමත් අහනවා.
“ඔයාගෙ රූපෙ වෙනස් වෙයි චතූ..ඔයත් වෙනස් වෙයි.ඒත් වයසට ගිය කාලෙක වුණත් මට ඔයාව පේන්නේ අර ඉස්කෝලෙ ගිය පොඩි කෙල්ල තාලෙට.ක්ලාස් කට් කරලා ක්‍රිකට් ගහන්න ගියාම අපිව ක්ලාස් ටීචට අල්ලලා දෙන කොච්චි කරල තාලෙට..”
කාලේ ගෙවෙනවා තමයි.අපි වයසට යනවත් තමයි.ඒත් ආදරේ වයසට යන්නේ නෑ. ආදරේ කියන්නේ පරණ නොවන මිහිරි බැඳීමකට.