අනුන්ගේ තතු.

තරුෂි අර කොල්ලොත් එක්ක යාළු ද ?”

දේවිකා ලග හිටපු සිතාර ගෙන් ඇහුවෙ තරුෂි දොරෙන් එළියට යනකම් බලාගෙන ඉඳලා.

” යාලු ඇති නේද ? “

සිතාරා උත්තර දුන්නා

” මම දැක්කා දෙන්න ඔෆිස් එකේ තැන් තැන් තැන් වල දවස් කීපයක්ම කතා කර කර ඉන්නවා . එෆ්බී එකේ කමෙන්ට් කර ගන්නවාත් දැක්කා. ඌට හොඳට සල්ලි තියෙන නිසා මෙයත් අහපු ගමන් කැමති වෙන්න ඇති “

” ආ දේවිකා. ඔයාට මොකද ඉතින් තරුෂි ඒ කොල්ලත් එක්ක යාළු වුණත් නැතත් ? “

ගිම්හානි කතාවට එකතු වුණේ නොරිස්සුමෙන්

” නෑ ඉතින් අපිත් දැනගෙන ඉන්න එපැයි . සමහරවිට දැන් ඔය යන්න ඇත්තෙත් ඒ කොල්ලව හම්බ වෙන්න තමයි “

දේවිකා එහෙම කිව්වේ තරුෂි එනවද කියලා දොර දිහා බලන ගමන් .

” ඔයාට අමතකද දේවිකා තරුෂි ඔයාට උදව් කළා ? ඔයාට සල්ලි නැති වෙනකොට ඔයා සල්ලි ඉල්ල ගත්තේ තරුෂිගෙන් නේද ? “

” හරි ඉතින් උදව් කළා තමයි .මම නෑ කිව්වෙ නෑනෙ “

එතකොටම තරුෂි කාර්යාල කාමරයට ඇතුළු වුණා . දේවිකා කට වහගෙන ආපහු තමන්ගේ වැඩේට අවධානය යොමු කළා . තමන් එන්න කලින් හැම දෙනාගෙම මාතෘකාව වුණේ තමන් කියලා තරුෂිට තේරුණා

දේවිකාගේ දුරකථනය නාද උනේ ඔය අතරේ .

” තමුසෙට පිස්සුද? මම ගත්තෙ නෑ. ඔය රාක්කේ උඩ බලනවා “

දේවිකාට තමන් ඉන්න තැනත් අමතක වෙලා තිබුණා . දේවිකා ඒ සැරෙන් කතා කළේ තමන්ගෙ සැමියාට කියලා කාර්යාලයේ හැමෝටම රහසක් වුණේ නැහැ .

” මේ මනුස්සයාට නං කිසි දෙයක් තනියම කරගන්න බැහැ . මට වෙලාවකට එපා වෙනවා සිතාරා “

දේවිකා තමන්ගේ සැමියා ගැන හැම වෙලාවෙම නෝක්කාඩු කිව්වා .

” ඔයා හරි සතුටින් නේද ඉන්නේ තරුෂි ? “

දවල් කෑම වෙලාවේ ගිම්හානි තරුෂි ගෙන් එහෙම ඇහුවේ ඇත්තම හිතවත් කමකින්

” ඔයාට බොරු කියන්න ඕනෙ නෑනේ ගිම්හානි. මම ඇත්තටම ඉන්නේ සතුටින් . ඒකට හේතුව චින්තක “

” චින්තක කියන්නේ ඔෆිස් එකේ මම දැකපු අහිංසකම ළමයෙක් . මොනවා උනත් මට සතුටුයි තරුෂි “

” මම දන්නව මම නැති තැන ගොඩක් අය මේ ගැන කතා වෙනවා කියලා . ඒත් මම ඕවා ගැන හිතන්නේ නැහැ .මම වෙන රස්සාවකුත් බලලා තියෙන්නේ ගිම්හානි, අපි දෙන්නට එකම තැන වැඩ කරන්න බැහැනේ “

තරුශි තමන්ගේ රැකියාවේ කටයුතු හරිම උනන්දුවෙන් කළා . ඒ අතර තමන්ගේ ප්‍රේම සම්බන්ධය ගෙදරටත් කියලා දෙමව්පියන් එක්ක අවශ්‍ය දේවල් කතාබහ කරගෙන පිලිවෙල කරන්නත් ඇය අමතක කළේ නැහැ .හැබැයි ඇය ඒ ගැන හරිම විස්තර කිව්වේ ගිම්හානිට විතරයි .

” දැක්කද තරුෂි ඊයේ හොටෙල් එකක කන්න ගිහින් ෆොටෝ දාලා තිබ්බා ? “

උදේ පාන්දර ඔෆිස් එකට ආව දේවිකා සිතාරා එක්ක එහෙම කිව්වා

” එහෙනම් කොල්ල එක්ක weekend එකේ යන්න ඇති “

සිතාරා ඇස් කරකවමින් උත්තර දුන්නා .

” මට පේන්නෙ මේකි කොල්ලගෙන් සල්ලි කඩාගන්නවා වගේ “

ලස්සන හිනාවකුත් එක්ක තරුෂි කාර්යාලයට ඇතුළු වුණා. ඇගේ අතේ පාර්සලයකුත් තිබුණා . ඇය මුලින්ම කළේ ඒ පාර්සලය ගිම්හානි අතේ තිබ්බ එක .

” ඊයෙ මම ෂොපින් ගියා .ඒ වෙලාවේ මේ සෙරෙප්පු දෙක ඔයාට ලස්සනයි කියලා හිතුනා. අපි දෙන්නම එකම සයිස් නිසා මං ඔයාටත් ගත්තා “

” අනේ thank you තරුෂි . මේක හරිම ලස්සනයි “

” කෝ අපිට මොකුත් ගෙනාවේ නැද්ද ? “

දේවිකා මැදට පැනලා එහෙම ඇහුවේ සමච්චලයට වගේ. තරුෂි කාර්‍යාලයට ආව දවසෙ ඉඳලා දේවිකාට වගේම කාර්යාලයේ අනිත් අයටත් පුළුවන් හැම වෙලාවෙම උදව් කළා . ඔවුන්ගේ උපන්දින වලට පුංචි පුංචි තෑගි අරන් දෙන්නත් තරුෂි අමතක කළේ නැහැ .නමුත් මෑතකදී ඉඳලා තරුෂි එක්තරා සීමාවක ඉඳගෙන හැමෝම ආශ්‍රය කරන්න පටන් ගත්තේ තමන් නැති තැන තමන්ට එක එක දේවල් කියන්න පටන් අරගෙන කියලා දැනගත්ත නිසා . විස පිරුණු මිනිසුන් ගෙන් ඈත් වෙන්න තරම් තරුෂි නුවණක්කාර වෙලා තිබුණා .

” තරුෂි ඔය ගිම්හානි ව ෂේප් එකේ තියාගන්න හදන්නේ එයාගේ රහස් වලට උදව් කරන නිසා “

දේවිකා සිතාරාගේ කනට කරලා එහෙම කිව්වේ කුහකකම පිරුනු ඇස් දෙක දිලිසෙද්දි.

තමන්ට දරුවා ලැබෙන්න ඉද්දි කිසිම දෙයක් කන්න බැරුව ඉන්නකොට කෙසෙල් කොළවල ඔතපු රසම රස බත් තමන්ට ගෙනත් දුන්නෙ තරුෂි කියලා දේවිකා ඒ වෙලාවේ අමතක කරලා තිබුණා .

” මේකිට කොල්ලෙක් සෙට් වුනා විතරයි දැන් උඩින් යන්නේ “

තරුෂි එහෙ මෙහෙ වෙන හැම වෙලාවකම දේවිකා එහෙම කිව්වා.

” නෑ. තරුෂි දැන් මිනිස්සුන්ගෙ හැටි දැන ගෙනයි ආශ්‍රය කරන්නේ “

ගිම්හානි වැරැද්ද නිවැරදි කලා . දේවිකා ගිම්හානිට රවලා අහක බලා ගත්තා.

” බොස්, බොස් දන්නවද තරුෂි මාකටින් එකේ කොල්ලෙකුට සෙට්වෙලා කියලා ? “

දේවිකා තමන් දන්න දේ තමන්ගෙ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉදිරියේ කිව්වේ ලොකු රහසක් හෙළි කරනවා වගේ සතුටකින්

” ඉතින් ? “

” ඉතිං අහන්නේ බොස් ,එකම ඔෆිස් එකේ දෙන්නෙකුට එහෙම කසාද බඳින්න පුළුවන්ද ? “

” බැහැනේ “

” මම නම් කියන්නේ අපි මේක HR එකට complaint කරන්න ඕනේ “

” මෙතන බොස් ඔයා ද මම ද දේවිකා ? “

” නෑ බොස් මම කියන්නේ මේවා ඉතින් අපිටත් හොඳ නැහැනේ. මේක දැන් මගුල් සක්වලක් වෙලා නේ “

ප්‍රධානියාගේ මූණෙ තිබුනේ සමච්චල් සහගත හිනාවක් . හැබැයි දේවිකා එකෙන් සැලෙන පාටක් පේන්න තිබුණෙ නැහැ. කෑම පැයෙන් පස්සේ තවත් බොහෝ වේලාවකට දේවිකා අතුරුදහන් වුණා . සෑහෙන වෙලාවකට පස්සෙ අමුතුම හිනාවක් එක්කයි දේවිකා කාර්යාල කාමරයට ඇතුළු වුණේ

” මම අරකිට හොද ගුලියක් ඇඹරුවා “

දේවිකා සිතාරා එක්ක එහෙම කිව්වේ පහත් හඬින් වුණත් ඒක ගිම්හානිට හොදටම ඇහුණා .

තරුෂිගේ ප්‍රේම සම්බන්ධය ගැන දේවිකා ඉහලට පැමිණිලි කරලා කියන ආරංචිය කාර්යාලයේ අනිත් අයට දැනගන්න ලැබෙන්නේ හවස් වරුවේ .

” තරුෂි resignation බාර දීලා තියෙද්දි දේවිකා මෙහෙම කරපු එක අන්තිම කැතයි . අනික මගෙන් අහන්නේ වත් නැතුව ඔයා කොහොමද එහෙම පැමිණිලි කරන්නේ ? “

දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට සෑහෙන්න තරහා ගිහින් තිබුණා . තමන් කළේ අනවශ්‍ය වැඩක් කියලා පිළිගන්න තරම් දේවිකා නිහතමානි වුණේ නැහැ .

” ඉතිං මම දන්නෙ නැහැනෙ තරුෂි resignation දීලා කියලා “

දේවිකා එහෙම කිව්වේ තවදුරටත් තමන් නිවැරදි කියන්නයි

” තමන් කරන හැමදේම මේක ඇතුලේ ඉන්න හැමෝටම කියන්න ඕනේ නැහැනේ . තරුෂි එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන තීරණයක් ගත්ත නිසා මේ ඔෆිස් එකෙන් අයින් වෙන්නත් එයා තීරණය කළා . එයා ඒ ගැන මට දැනුම් දීලා අවශ්‍ය කටයුතු කරලාත් තියෙද්දි අහක ඉන්න දේවිකා කළේ අනවශ්‍ය වැඩක් “

” නෑ බොස් මම මේ “

” නෑ නෙමෙයි.තමුන්ගේ රාජකාරි කටයුතුත් මග ඇරගෙනයි තමුන් අනුන්ගේ පෞද්ගලික දේවල් හොයන්න ගිහින් තියෙන්නේ “

හවස හතරට බාර දෙන්න තිබුන අත්‍යාවශ්‍යම වැඩක් තමන්ගෙන් මග ඇරිලා කියලා දේවිකාට මතක් උනේ ඒ වෙලාවෙයි.

දේවිකා තමන්ගේ රාජකාරියක් මග ඇරගෙන කරපු පහත් ක්‍රියාව ගැන විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අන්තිමට දේවිකාගේ ප්‍රධානියා ඉහලට පැමිණිලි කරලා තිබුණා .

ඒකෙ සත්‍ය අසත්‍යතාවය විමසලා බලපු කාර්යාලයේ කළමනාකාර මණ්ඩලය සති දෙකකට දේවිකාගේ වැඩ තහනම් කලා.

” දැක්කද? අනුන්ගේ පෞද්ගලික ජීවිතේත් තමන්ගේ කියලා හිතන මිනිස්සුන්ට අන්තිමට වෙන දේ ? “

ගිම්හානි සමච්චල් සහගත හිනාවක් මුහුණේ රඳවගෙන තරුෂි ගෙන් එහෙම ඇහුවේ කඳුලු පිස දමමින් කාර්යාලයෙන් පිට වෙන දේවිකා දිහාත් බලන ගමන්

More Stories

Don't Miss


Latest Articles