“දුව, මං කියන්නමයි හිටියේ..”
ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට වඩා නැහැ. ඉතින් මම නිදා ගන්න හැටි,කන දේවල්, නාන්න ඕන වෙලාව,දකින්න අහන්න ඕනෑ දේවල් තීරණය කරන්නේ ජීවන්තගේ අම්මා.ජීවන්ත නම් කියන්නෙ බබා ඉපදෙනකොට අම්මා ජීවන්තව එළියෙන් තියලා ශල්‍යාගාරයට වුණත් යන්න බැරි නෑ කියලා.ප්‍රසව හා නාරි වෛද්‍යවරයා නොදන්න ඔක්කොම අම්මා දන්නවා කියලයි ජීවන්ත හිනා වෙන්නේ.
“වත්සලා එක එක මඟුල් උයාගෙන ආවට කන්න එපා..”
මං සීතල වුණා.මට ඇත්තටම කන්න හිතෙන්නේ වත්සලා අක්කාගේ කෑම.වත්සලා අක්කා අතින් වතුරයි බතුයි දුන්නත් පුදුම රසක්.ඒක මම ගැබිණියක් වෙන්න කලින් ඉඳන්ම අත් දැක්ක දෙයක්.අනිත් එක ජීවන්තගේ අම්මාට මාව ලේලි වෙලා අවුරුදු දෙකක්වත් නෑ.වත්සලා අක්කා එයාගේ ලොකු ලේලි වෙලා දැන් අවුරුදු අටක්.
“අක්කා උයන ඒවා රසයිනෙ අම්මෙ.අනික අක්කා ගිනි ගණන් දීල ඕගනික් එලවළු එහෙම අරන් උයන්නෙත්..”
මං විරුද්ධ වුණා.අම්මා මං දිහා බලාගෙන හිටියෙ, උඹ දන්න තරම කියන්න වගේ.
“ඔය වත්සලා අවුරුදු අටක්ම ළමයෙක් හදා ගන්න දැඟලුවා.දැන් ඒක බෑ කියල අතෑරල ඉවරයි.ප්‍රශ්නෙ ඒකිගෙ කියල ඔප්පු වෙලා තියෙන්නෙත්.මම අපේ ලොක්කට කට කැඩෙනකම් කියනව දික්කසාද කරපං කියල..අහනවයැ..”
මට මේ කතාව මහ අප්‍රසන්නයි.අපිට ලැබෙන්න ඉන්නෙ දුවෙක් බව දැනගත්තම ජීවන්ත නැටුවේ නැති ටික විතරයි.දුවගේ හැඩරුව ගැන හීන දැක දැක එයා ගෙදර ආවේ ලෝකෙම අතට ගත්තා වගේ.
“අනේ මගෙ රත්තරනෙ..කෙල්ලො මොකක් කරන්නද?ඊගාව පාර මට පුතෙක් ඕන හොඳේ..”
කොල්ලො දෙන්නෙකුට උපත දීම ගැන තාමත් වර්ණනා දොඩවන ජීවන්තගේ අම්මා මගේ ඔළුව අතගාලා ඉල්ලීමක් කරා.
“දූලගෙ ගෙදර ඉන්නෙ කෙල්ලොම තුනක්නෙ.ඒ ආරේ ඔය..”
ඊටපස්සෙ එහෙම කිව්වා.එකොළහ වසරේ විද්‍යාව ගැන එයා එක්ක තර්ක නොකර මම මගේ පාඩුවේ හිටියා.
“මම අවුරුදු කීයක් ආච්චියෙක් වෙන්න බලන් හිටියාද දුවේ..ඒකමයි කියන්නෙ.ඔය වත්සලා ගේන ඒවා කන්න එපා.හිතේ කේන්තියට බඩ හේදෙන්න දෙයක් දුන්නා..”
මේ ජීවන්තගේ අම්මා නොවුණානම් මට කතා කරන්න හිතෙන්නේ ශුද්ධ සිංහල භාවිතා කරල.මං ඉවසීමෙන් අහගෙන හිටියා.අම්මා ඇවිත් ගියේ මගේ හිතේ ගින්නක් අවුලවලා.මං ඒ ගින්න ගැන හිතුවේ කලකිරීමෙන්.
වත්සලා අක්කා ජීවන්තගේ එකම අයියා වුණු අවන්ත අයියාගේ බිරිඳ.මම ජීවන්ත එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තු කාලේ ඉඳලම වත්සලා අක්කා මට සැලකුවේ ආදරෙන්.නංගිලා දෙන්නෙකුට අක්කා වුණු මට අක්කා කෙනෙක්ගේ ආදරේ දුන්නේ වත්සලා අක්කා.අපේ විවාහයේ බොහොමයක් දේවල් අපි සැලසුම් කරද්දී වත්සලා අක්කා කරලත් ඉවරයි.
“ළමයෙක් නෑනෙ ඉතිං.හම්බ කරන සල්ලියට කරන්න දෙයක් එපැයි.”
ජීවන්තගේ අම්මා මට කිව්වා.මම නෑහුණු ගාණට හිටියා.
“මට දූගෙන් ඉල්ලන්න තියෙන්නේ එකම එක දෙයයි.ඉක්මනින් දරුවෙක් හදාගන්න.වඳ ගෑනු හින්දා මාත් සෑහෙන කාලයක් නින්දා විඳිනව.මටත් ඉක්මනින් මුණුබුරෙක් නලවන්න ආසයි..”
අපේ වෙඩින් එක ඉවර වෙලා ජීවන්තගේ අම්මා මට එහෙම කිව්වා.මම පුංචි හිනාවක් නගලා මුළුතැන්ගෙයට ගියා.වත්සලා අක්කා දොරට හේත්තු වෙලා අහස දිහා බලාගෙන අඬනවා.
“අපි ට්‍රීට්මන්ට්ස් ගමු අක්කේ..ඕවා ගණන් ගන්නෙපා..”
කළ හැකි සියල්ල කරලා අවසන් බව ඇය කිව්වේ අඬන අතර.මම එදා තීරණයක් ගත්තා.
“අපි ඉක්මනින් බබෙක් හදමු..”
මං එහෙම කිව්වම ජීවන්ත මං දිහා බලන් හිටියේ පුදුමයෙන්.
“අම්මා කියන දේවල් ගැන හිතන්න එපා අනේ..එයා ඔය වත්සලා අක්කට කියන ඒවට මං කොච්චර රණ්ඩු කරනවද?”
ජීවන්ත එහෙම කියනකොට මං එයාගේ අතකින් අල්ලා ගත්තා.
“අපි අපේ දරුවාට අම්මෙක් වෙන්න වත්සලා අක්කටත් ඉඩ දෙමු..”
මම ඉක්මනින්ම ගැබිණියක් බවට පත් වුණා.රතු ඉරි දෙකේ ඡායාරූපය මුලින්ම වට්සැප් වුණේ වත්සලා අක්කට.මගේ අම්මාටත් කලින් මම ඒ පණිවිඩය කිව්වේ වත්සලා අක්කට.
“අරකිට මාස තුනක්වත් යනකම් කියන්න එපා දුවේ.පොල් ගහයි..”
ජීවන්තගේ අම්මා මට රහස් කිව්වා.ඒ වෙනකොටත් වත්සලා අක්කා පත්‍තිනි දෙවියන්ට බාර වෙලා මට බෝධි පූජා තියමින් හිටියා.
“අක්කේ,මට කන්න බෑ..”
මහ පාන්දර මං අඬාගෙන දුරකථන ඇමතුම් දෙනකොට අක්කා දුවගෙන එන්නේ රටේ ලෝකේ තියන සේරම කෑම හදාගෙන.
“මං එන්න කලබල නොකරන්නෙ දූ ඉන්න හින්දා.ඔයා දැන් මෙයාගෙ අම්මා වෙලා.මං කැලේ..”
අපේ අම්මා වත්සලා අක්කාගේ හිස පිරිමදින්නේ ආදරෙන්.
මගේ නංගිලා දෙන්නා එක්ක එහෙමෙහෙ ඇවිද ඇව්ද අපේ දූගේ කාමරේ ලස්සන කරන්න, එයාට ඕනෑ ඇඳුම් ගන්න අක්කාට තියෙන්නේ පුදුම උනන්දුවක්.
“මගේ රත්තරන් කැටේ..”
අක්කා මගේ කුසට අත තියලා කතා කරනවා.පුංචිත්ති පිනුම් ගහන්න ගන්නවා.වත්සලා අක්කාගේ මූණ මල් වත්තකට සමාන වෙන්නේ අන්න ඒ වෙලාවට.
“බබී ආවම එයා ලොකු අම්මට අපි දෙන්නට වඩා ආදරේ වුණාම තමයි වත්සලා අක්කා අපෙන් පාඩමක් ඉගෙන ගන්නෙ..”
මගේ නංගිලා කියන්නේ වත්සලා අක්කාගේ දිග කොණ්ඩෙන් අදින ගමන්.මගේ දරුවා ඉපදෙන්නේ අම්මලා හතරපස් දෙනෙක්ගෙම ආදරේ හොරකම් කරගෙන කියලා හිතෙනකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.
“ඔය කාටත් වඩා දරුවා ආදරේ වෙන්නේ වත්සලා දූට.ඔන්න බලන්නකො.ලොකු දූ ආයේ දරුවෙක් හදාගන්න.මෙයා නම් වත්සලාගෙ වෙන්න එන්නෙ..”
වත්සලා අක්කාගේ අඩි සද්දෙටත් බඩ ඇතුළේ උඩ පනින අපේ පුංචි කුමාරිකාව දිහා බලාගෙන අපේ අම්මා කියනවා.වත්සලා අක්කා ගවුම් උරහිසේ කඳුලක් පිහිනවා.
“ඔය සල්ලි ගරන ඉස්පිරිතාලෙ ගියාට කමක් නෑ.ඔපරේසං නම් කරන්නම එපා.දරු සෙනේ එන්න ළමයෙක් විලි රුදා විඳලම ලබන්න ඕන..අනික ළමයා හම්බෙන දවසක් වත්සලාට කියන්න එපා.බඩේම ළමයා හිරවෙන ගුරුකම් තියනවා..”
ජීවන්තගේ අම්මා උපදෙස් දෙනකොට මට මහා කේන්තියක් දැනෙනවා.ඒත් අපි රෝහල්ගත වෙන්න යනකොටත් වත්සලා අක්කා හිටියේ මං වෙනුවෙන් බෝධි පූජාවක් තියන ගමන්.
පුංචි දෝණි ලැබිලා මං අපේ රෝහල් කාමරයට එනකොට අපේ අම්මා නංගිලා දෙන්නත් එක්ක බලාගෙන ඉන්නවා.ජීවන්තගේ අම්මා ඉස්සරහටම ඇවිත්. මගේ මුළු ගර්භනී කාලයම මගේ වමනේ ඇදපු,රස කෑම කවපු, මාත් එක්ක රෝහල් සංචාරවලට ආපු, දූගේ බඩුමුට්ටුවල වැඩි බරපැන දරපු වත්සලා අක්කා ඉන්නේ කාමරේ මුල්ලකට වෙලා.
“අක්කට කතා කරන්නකො..”
මං මගේ ලොකු නංගිට කිව්වා.
“බබාව අක්කට දෙන්න..”
පුංචි දූ අරගෙන ආව හෙදියගෙන් ඊටත් පස්සේ මම ඉල්ලුවා.අපේ අම්මාගේ මූණට ලස්සන හිනාවක් එනවා මං දැක්කා.නංගිලා පළපුරුදු කැමරා ශිල්පිනියෝ වගේ දුරකථනය මානාගෙන ඉන්නවා.
“අක්කේ, දෝණිව ගන්න..”
වඳ ගැහැනියක් කියලා අවුරුදු ගාණක් නින්දා වින්ද වත්සලා අක්කා මගේ කෙඳිරිලි හඬ දිහා බැලුවේ පුදුමයෙන්.හෙදිය ඇගේ අතින් අපේ දෝණිව තියද්දී අක්කාගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා.
“අවුරුදු අටකට පස්සෙ ඔන්න ඔයත් අම්මෙක්.ඔය දරුවා අපි ඔක්කොගෙම අක්කේ.මට ඔයා අම්මෙක් වෙන්න බැරි කෙනෙක් නෙවෙයි.ඔයා මුලින්ම අම්මා කෙනෙක් වුණේ මට.මට වගේම මගෙ දරුවටත් හොඳ අම්මා කෙනෙක් වෙන්න.ඔයා වගේම හොඳ කෙල්ලක් වෙලා හැදෙන්න එයාට උගන්නන්න..”
අක්කාගේ ඇස්වල කඳුළු පිරිලා.අපේ අම්මා ඇවිත් මගේ හිස්මුදුන සිප ගත්තා.ජීවන්ත ඈතට වෙලා කඳුළු පිහින හැටි මට පේනවා.
ජීවන්තගේ අම්මා දොර සද්දෙන් වහගෙන යන්න ගියා.එයා මොනව හිතුවත් මේ සතුට නොහෙල්ලෙන බව මම දන්නවා.
වත්සලා අක්කා මගේ දූට තවත් අම්මා කෙනෙක් වෙනමයි.මට ඒක විශ්වාසයි.