මිය නොයන ආදරය

මහේෂ් වැල්ලවත්තේ මුහුද අද්දර කාර් එක නතර කලේ පරණ මතක වල අතරමං වෙන ගමන් . මීට අවුරුදු හයකට එහා අතීතයට හිත දුවගෙන යද්දී හද දවසේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා මහේෂ්ට හිතා ගන්න බැරි වුණා . ඉස්සරහෙන් පේන මූදු වෙරළේ මොනතරම් දවස් අයෝමිගේ අත අල්ල ගෙන ඇවිදින්න ඇද්ද කියලා මහේෂ් කල්පනා කළා.

මහේෂ්ට අයෝමි ව මුණ ගැහෙන්නේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පන්තියෙදි. අවුරුදු විසිතුනක්වුන මහේෂ්ට අවුරුදු විසි එකක් වුන අයෝමි ව දැක්ක දවසෙම මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුනා . එතන දී ඇරඹුන යාලුකම ආදරයක් බවට පෙරලෙද්දි ජීවිත කාලයටම අයෝමි ව අයිති කරගන්න මහේෂ් හීන දැක්කා . ධනපති පන්තියේ හිනිපෙත්තේම හිටපු පවුලක එකම දරුවාවුන අයෝමිගේ වත් පොහොසත් කම් ගැන මහේෂ් බිංදුවක් වත් හිතුවේ නැහැ . හැබැයි සල්ලි වල බලයෙන් ඔලුව උදුම්මවා ගෙන හිටපු අයෝමිගේ තාත්තා මුළු ගමේම ප්‍රසිද්ධ චරිතයක් කියලා මහේෂ් දැනගත්තේ ගොඩක් කාලෙකට පස්සේ. හැබැයි තාත්තගේ මාන්නක්කාරකමෙන් අංශුමාත්‍රයක්වත් අයෝමි ළඟ තිබුණෙ නැහැ .

” අපි අද වඩේ කමුද මහේෂ් ?”

” කොහෙන්ද අයෝමි? “

” ක්ලාස් කලින් ඇරුන එකේ අපි ගෝල්ෆේස් ගිහින් ඉස්සෝ වඩේ ගමු “

අයෝමිගේ සරලකමට මහේෂ් ඇත්තටම ආදරය කලා. පන්තියේ කාහටත් රහසක් නොවුන ඔවුන්ගේ ආදරය අයෝමිගේ තාත්ත දැනගන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ

” ඔය කොල්ල කොහේ එකෙක්ද ? “

” තාත්තෙ එයාගේ ගම රත්නපුරේ . කොළඹ නැවතිලා රස්සාවක් කරන ගමන් තමයි මේ ඩිප්ලෝමා එක කරන්නේ “

අයෝමි තාත්තට උත්තර දුන්නෙ ටිකක් විතර බයෙන්

” එතකොට අම්මා තාත්තා මොකද කරන්නේ ?”

” මහේශ් පොඩි කාලේ එයාගේ තාත්තා නැති වෙලා .අම්මා ගාමන්ට් එකක රස්සාව කරන්නේ “

මහේෂ්ගේ ඇත්තම තත්වය අයෝමි තාත්තා ඉස්සරහා කිව්වෙ ඒ විදිහට .

” උඹට වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද ඔය වගේ හිඟන්නෙක් එක්ක යාලු වුනේ ? උඹ ඔහොම එකෙක් එක්ක යාලු උනහම මගේ තත්වෙට මොකද වෙන්නේ කියලා උඹ හිතුවද අයෝමි ? “

තාත්තගේ කෝපයෙන් පිරුණු හඬ මුළු ගේ පුරාම රැව් පිළිරැව් දුන්නා.

” ඔයාට ඕනෙමයි කියපු නිසයි අපි ඔය ඩිප්ලොමා එකට හරි ඔයාව යැව්වෙ . නැත්තං තාත්තට ඕන වුණේ ඔයාව පිටරටකට යවලා උගන්වන්න “

අයෝමිගේ අම්මත් තාත්තගේ කතා අනුමත කළා. අයෝමි ගැහෙන හදවතකින් යුතුව කාමරයට ගියේ අම්මයි තාත්තයි කවදාවත් මහේෂ්ට කැමති වෙන්නේ නෑ කියලා තමන්ටම කියා ගන්න ගමන් .

” මේ යන විදිහට තාත්තා මාව ඉස්සරහට ක්ලාස් එවන එකකුත් නෑ මහේෂ් “

අයෝමිගේ ඇස් වල කඳුලු පිරිලා තිබුණා . දුරකථනය දිගේ ගලාගෙන එන අයෝමිගේ හඬ එන්න එන්නම බොඳ වෙනවා කියලා මහේෂ්ට දැනුනත් ඒ මොහොතේ කරන්න පුළුවන් කිසිම දෙයක් ඔහුට තිබුණේ නැහැ .

අයෝමි හිතුවා වගේම ඊළඟ දවසේ ඉඳලම අයෝමිට ගෙදර නතර වෙන්න සිද්ධ වුණා.

” උඹ මගේ දුවත් එක්ක තියන ඇයි හොඳයිය නතර කරන්න ඕනේ . ආයේ මට කියන්න තියන්න එපා “

දවසක් හවස් වරුවේ පන්තිය ළගට ආව අයෝමිගේ තාත්තා මහේෂ්ට තර්ජනය කළේ ඒ විදිහට. කියාගන්න බැරි තරම් අසරණ කමකින් මහේෂ් අයෝමිගේ තාත්තා දිහා බලාගෙන ඉද්දි ඔහු ඔහුගේ මෝටර් රථයට නැගිලා වේගයෙන් ඉගිලිලා ගියා .

අයෝමිගේ ජංගම දුරකථනයත් අම්මගේ බාරයට ගනිද්දි ඒ බව කියන්නවත් මහේෂ්ට කතා කරන්න විදිහක් අයෝමිට තිබුණේ නැහැ . අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවක ගෙදර දුරකථනයෙන් මහේෂ්ට ඇමතුමක් ගන්න අයෝමිට පුළුවන් වුණා .

” අපි දෙන්නා කොහේ හරි යමු “

අයෝමිගේ තීරණය වුනේ ඒක

” මේ වෙලාවේ අපි කොහේ යන්නද ? ඔයා හිතන තරම් ඒක ලේසි නෑ අයෝමි “

දුර දිග බලලා වැඩ කරන මහේෂ් අයෝමිගේ යෝජනාවට එකඟ නොවුණේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු අයෝමිට අවශ්‍ය සැප සම්පත් ඇත්තටම තමන්ට දෙන්න බැහැ කියලා තේරුම් ගත්ත නිසා .

” ඒ කියන්නේ ඔයාට මාව ඕනේ නැද්ද ? නැත්තං ඔයා මට ආදරේ නැද්ද ? “

” මෙතන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි අයෝමි .ඔයාව එක්කගෙන ගිහින් ඔයාට දුක් විඳින්න දෙන්න මට බැහැ “

අයෝමි දුරකථන ඇමතුම විසන්ධි කලේ මහේෂ් එක්ක අමනාපයෙන් .ඊට පස්සේ දින ගණනාවක් යනකං අයෝමි ගැන කිසිම ආරංචියක් මහේෂ්ට ලැබුණේ නැහැ . පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරපු මහේශ් ඉංග්‍රීසි ඩිප්ලෝමාව ට අමතරව තවත් ඉගෙනීම් කටයුතු කරමින් රාත්‍රී කාලයේ දී අන්තර්ජාලය හරහාද රැකියාවක් කරමින් මහන්සියෙන් හම්බ කළා . කවදහරි දවසක අයෝමි ආපහු කතා කළොත් ඇය බලාපොරොත්තු වෙන ජීවිතේ දෙන්න පුළුවන් වෙන තරමට දියුණු වෙන්න මහේෂ්ට ඕනවෙලා තිබුණා .

” අයෝමි ලොකු සල්ලිකාරයෙක් බඳින්න යනවා ලු “

දවසක් හදිසියේම අයෝමිගේ යාලුවෙක්ගෙන් මහේෂ්ට පණිවිඩයක් ලැබුණා

” එයා මේ පළාතෙ ඉන්න ලොකුම බිස්නස් කාරයෙක් ලු . කාර් සේල් එකක අයිතිකාරයෙක් කියලා තමයි ආරංචි . එයාලා වෙඩින් එකට මහ ඉහළින් ලෑස්ති වෙනවලු මහේශ් “

එක මොහොතකින් මහේෂ්ගේ හීන ලෝකය කඩාගෙන වැටුනා . අයෝමි ගැන තොරතුරු හොයන්න උත්සාහ කලත් මහේශ්ගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

” මම දන්නෙ නෑ අයෝමි ඇයි එයාට කැමැති වුණේ කියලා . අයෝමිට වඩා අවුරුදු පහළොවක් විතර ඒ මනුස්සය වැඩිමල් ලු “

මාස කිහිපයකට පස්සේ කොළඹ සුපිරි හෝටලයක පැවැත්වුනු අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයකින් අයෝමි නාඳුනන මනුස්සයෙකුගේ බිරිඳ වුණා කියලා මහේෂ්ට දැනගන්න ලැබුණා . තමන්ගේ අම්මා වෙනුවෙන් ජීවත් වෙන්න මහේෂ් තීරණය කළේ එදා.

අවුරුදු දෙක තුනක් ඇතුළත ඉගෙනීම් කටයුතු අවසන් කරලා , රැකියාවෙන් හම්බකරපු මුදල් වලින් නිවසකුත් වාහනයකුත් මිලදී ගත්ත මහේෂ් රත්නපුර හිටපු අම්මව කොළඹ ගෙන්න ගත්තා . තවත් අවුරුද්දක් විතර ගතවෙනකොට ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක ඉහළම තනතුරක් දරන්න තරම් මහේෂ්ගේ ජීවිතය වෙනස් වුණා .තමන් බලාපොරොත්තු වුන විදිහටම තමන්ගේ අම්මගේ ජීවිතය සැපවත් කරන එක, එකම අරමුණ කරගත්ත මහේෂ් අවුරුදු ගණනාවකට කලින් ටික කාලෙකට තමන්ගේ ජීවිතය ලස්සන කරපු අයෝමිගේ මතක එක්ක තනිවුනේ විවාහයක් ගැන බලාපොරොත්තු හිතෙන් අත ඇර ගන්න ගමන් .

මහේශ් සේවය කරන ආයතනයේ පුරප්පාඩු සඳහා සේවිකාවන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණේ ඔ‍ය අතරෙදි . තරුණ තරුණියන් කිහිප දෙනෙක්ම සහභාගි වුණ සම්මුඛ පරීක්ෂණය සඳහා අවසානයටම සහභාගී වුන තරුණිය කාර්යාල කාමරයට ඇතුළු වෙද්දී මහේෂ්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා .

” අයෝමි “

අවුරුදු ගණනාවකට කලින් තමන්ට අහිමි වෙච්ච පෙම්වතිය ෆයිල් කවරයක් අතැතිව මහේෂ් ඉදිරියේ හිටගෙන හිටියා. පොඩ්ඩක්වත් වෙනස් නොවුන අයෝමි දිලිසෙන දෑස් වලින් මහේෂ් දිහා බලාගෙන ඔහු ඉදිරියේ වාඩි වුණා. සම්මුඛ පරීක්ෂණය අවසන් වෙලා අයෝමි කාර්යාල කාමරයෙන් පිට උනේ හරියටම හැන්දෑවෙ පහට මහේශ්ව මුණගැහෙන පොරොන්දුව පිට. ඉස්සර පුරුදු වැල්ලවත්තේ මුහුදු වෙරළට මහේශ්ව මුණගැහෙන්න අයෝමි ආවේ ඊට පස්සේ .

” අම්මයි මමයි දැනගෙන හිටිය නැති වුණාට අපේ තාත්තා බිස්නස් වැඩ නිසා රට වටේටම ණය වෙලා හිටියේ. හිරාන් ගේ තාත්තට අපේ තාත්ත කෝටි ගානක් ණය වෙලා. ඒව ගෙවාගන්න බැරි හිලව්වට තමයි මාව හිරාන් ට propose කරේ . මම කැමැති වුණේ නැත්නම් suicide කරගන්නවා කියලා තාත්තා නිතරම කිව්වා “

තමන්ට මුහුණපාන්න සිද්ධ වුණ අවාසනාවන්ත සිදුවීම් අයෝමි එකින් එක මතක් කළා .

” තාත්ත නිසයි මං ඔය කසාදෙට කැමති වුනේ . හිරාන් කියන්නේ නරක මනුස්සයෙක් නෙමෙයි . ඒත් මම එයාට ආදරේ කළේ නැහැ . මම හැම වෙලාවෙම හිටියේ එයත් එක්ක කේන්තියෙන්. මට ඔයාව නැති උනේ එයා නිසා කියලයි හැම වෙලාවෙම හිතුණේ “

මහේෂ් සුසුමක් හෙළුවා. පහුගිය අවුරුදු ගණනාවට තමන්ගේ ජීවිතේ වගේම අයෝමිගේ ජීවිතේත් මොනතරම් දේවල් සිද්ධ වෙලාද කියලා මහේෂ්ට හිතුනා

” දවසක් මම හිරාන් එක්ක රණ්ඩු වෙලා යාළුවෙක් ගේ ගෙදර ගියා . හිරාන් මාව එක්කගෙන එන්න අපේ අම්මයි තාත්තයි එක්ක එනකොට තමයි වාහනේ කෝච්චියට හැප්පිලා තිබුනේ . මහ රෑ කලබලේ ආව නිසා හිරාන් කෝච්චිය දකින්නේ නැතුව ඇති “

අයෝමිගේ කටහඬ බොඳ වුණා. තමන්ගේ ජීවිතේ ළඟම හිටපු තුන්දෙනා එක වරම අහිමි වීම අයෝමි කොහොම දරා ගත්තද කියලා මහේෂ්ට හිතාගන්න බැරි වුණා

” මට ඉතුරු වුණේ හිරානුයි මමයි හිටපු ගෙදර විතරයි. අපේ ගෙදරත් තාත්තා උකස් තියලා තිබ්බ නිසා මාස කීපයකින් ඒව සින්න උනා. හිරාන්ගේ කාර් සේල් එකත් එයාගේ තාත්තාගේ නමට තිබුණේ . ඒ කිසිම දෙයක් මට අයිති නෑ.මට ඒවා වැඩකුත් නෑ . ඒ නිසයි මම රස්සාවක් හොයාගෙන ආවේ”

අවුරුදු ගණනාවක් තිස්සේ පරණ මතක හිතේ තියාගෙන තමන් විවාහ නොවී ඉන්නේ අයෝමි නිසා කියලා අයෝමිට කියන්න මහේෂ්ට ඕන උනත් මහේෂ් ඒ වෙලාවෙ නිහඬ වුණා. අයෝමිගේ මුහුනෙ පසුතැවීමක සේයාවක් සටහන් වෙලා තියෙන්නෙ තමන්ව අහිමි කර ගත්ත නිසාද එහෙමත් නැත්නම් තමන්ගේ සැමියාගේ මරණයට තමා වගකියන්න ඕනේ කියලා හිතෙන නිසාද කියලා මහේෂ්ට හිතාගන්න බැරි වුණා

” මගේ ජීවිතේ තාමත් ඔයා වෙනුවෙන් ඉඩ තියෙනවා අයෝමි “

අන්තිමට මහේෂ් හීන් හඬින් එහෙම මිමිණුවා

More Stories

Don't Miss


Latest Articles