“අම්මේ.. ඇයි?”
සඳුන් අම්මාගෙන් ඇහුවේ අම්මා ඉන්නේ ලොකු කල්පනාවක හින්දා.දේවිකා හුස්මක් ඉහළට ඇදලා සඳුන්ගේ ඔලුව අත ගෑවා.ප්‍රශ්න තිබ්බා කියලා මේ අවුරුදු දොළහක පොඩි එකා මොනවා කරන්නද? නිමල් ජීවත් වෙලා හිටියානම් මේවා මෙහෙම වෙන එකක් නෑ.ඒත් මොනවා කරන්නද?
“අම්මේ ඇයි අම්මේ..”
සඳුන් ආයෙත් ඇහුවා.එහා ගෙදර කමලා නැන්දා මහ සද්දෙට කාටද බනිනවා ඇහෙනවා.හවස පහාමාරේ කෝච්චිය ගියේ සඳුන්ගේ කනේ හැපීගෙන වගේ.සඳුන් අම්මා දිහා බලාගෙන හිටියා.
“මං දැන් වැඩ කරන්නෙ ගෙදරකනෙ පුතේ..”
අන්තිමට දේවිකා ප්‍රශ්නෙ ගැන කියන්න හිතුවා.
“ඒ ගොල්ලො අම්මට බනිනවද?”
දේවිකා ඔලුව වැනුවේ නෑ කියන්න.
“නෑ..පාරේ වැඩ කරන කාලේ නංගිව අරන් ගියාට දැන් එහෙම අරන් යන්න බෑ.මං බැලුවෙ උදේ වරුවෙ ඒ නෝනාට උයලා ගේ අස් කරලා දීලා එනකන් නංගිව මොන්ටිසෝරියට දාන්න..”
නංගි මොන්ටිසෝරියට යන්න බෑ කියලා අඬනවා ඇති.තාත්තා රස්සාවක් කරන්න ගිහින් ආපහු ආවේ පෙට්ටියකින්.එදා ඉඳන් අම්මා රස්සාවකට කරේ පාර අතු ගාන එක.නංගිව ගහක් යටින් නිදි කරවලා පාරේ වැඩ කරාට අම්මාට ලැබුණේ සොච්චමක්.අම්මා ඒ හින්දා තමයි ගෙදරක වැඩට යන්න තීරණය කරේ.සඳුන් දිගට හිතන්න පටන් ගත්තා.
“ඒ මොන්ටිසෝරියට ඇඩ්මිසන් ගාස්තු කියලා දෙදාස් පන්සීයක් ඉල්ලනව පුතෙ.පොතුයි තව එක එක එව්වත් තියනව.පන්දාහක්වත් ඕන වෙයි…”
අම්මා හීල්ලුම් හඬකින් කියනකොට සඳුන්ට ඇති වුණේ දුකක්.සඳුන් කරන්න පුලුවන් දේ ගැන සෑහෙන වෙලාවක් කල්පනා කරා.
“මාමේ.මටත් හඳුන්කූරු පැකට් දෙන්නකො..විකුණලා දෙන්නං..”
සඳුන් නිවාස පේළියේ ඉන්න හඳුන්කූරු හදන සුමනපාලගෙන් සඳුන් ඉල්ලීමක් කරා.හඳුන්කූරු පෙට්ටි ටිකක් ලැබුණා.ලාබය සොච්චමක්.ඒත් සඳුන්ට ඒකත් වෙලාවේ හැටියට වටිනවා.
එදා ඉඳන් ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවේ ඉඳලා සඳුන් දුවන්නේ හඳුන්කූරු විකුණන්න.රජමහා විහාරයේ අනුහස් පිරුණු බෝධියෙන් පිහිට ඉල්ලන්න එන්නේ ලොකු ලොකු නෝනලා මහත්තුරු.එයාලාට හඳුන්කූරු පැකට් එකක් විකුණාගන්න තියනවානම් ඒකත් ලොකු දෙයක්.
“ඔයා ඉස්කෝලේ යන් නැද්ද?”
සමහර නෝනලා එහෙම අහලා රුපියල් විස්ස වෙනුවට රුපියල් සීයක් සඳුන් අතට දෙනවා.අන්න එදාට සඳුන්ට හරි සතුටුයි.
“කොහොමහරි පන්දාහක් හොයා ගන්න ඕන..”
මහන්සි වෙලා ඉස්කෝලේ ගෙදර වැඩ කරලා පහුවදාට ගුරුවරුන්ගෙන් ප්‍රසංසා ලබන්න ආස කරපු සඳුන්ට ඊටපස්සේ උවමනා වුණේ වෙන අරමුණක්.
“පුතේ, ඔය වැඩේ නවත්තන්න..නිදි කිර කිරා මහා රාත්‍රිය වෙනකන් ඉස්කෝලෙ වැඩ කරන්න බෑනෙ..”
අම්මා කිව්වට ඒක අහන්න බෑ.සඳුන් හිටියේ එයාගේ අරමුණට කිමිදිලා.
“පුතේ,මහ රැයක් වෙනකන් විහාරේ ගාව ඉන්න එපා.මම එන්නම් පහ වෙනකොට උඹව එක්ක යන්න..”
දේවිකා කියන්නේ හූල්ලන අතරේ.
“හොඳට තියෙයි..පහට තමයි මිනිස්සු පන්සල් එන්නේ..”
සඳුන් තමන්ගේ පුංචි රැකියාව ගැන සන්තෝස වුණා.මහන්සි ආවට මහන්සියට වඩා මාසයක් යන්න කලින් මේ මුදල හොයා ගන්න තමයි සඳුන්ට උවමනා කළේ.
“රජමහා විහාරේ ගාව හිඟන්නෙක් ඉන්නව..”
දවසක් සඳුන් පන්තියට එනකොට තරූෂ කිව්වේ හරි සද්දෙන්.සඳුන් ගල් ගැහුණා.ළමයි ඔක්කොම සඳුන් දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා.
“ඊයේ අපේ කා එකට තට්ටු කරා පොඩි හිඟන්නෙක්.අතේ හඳුන්කූරුයි කපුරු බෝලයි..ඊයා නේද..මහ ලොකුවට මැත්ස්වලට හයි මාක්ස් ගන්න ට්‍රයි එක..සඳුන් හිඟන්නා..හඳුන්කූරු හිඟන්නා…”
හැමදාම පන්තියේ අන්තිමයා වුණාට මොකද එහෙම වෙලාවට තරූෂගෙ කට මහා සද්දයි.හොඳ පාරක් දෙන්න හිතුණත් සඳුන් ඉවසුවා.රණ්ඩුවක් දාගත්තම දෙමව්පියෝ ගෙන්නනවා.අම්මා එක දවසක් ඉස්කෝලේ ආවොත් එදාට වෙන්නේ බඩගින්නේ ඉන්න.
තරුෂට තිබුණු තරහ සඳුන්ට ගණිතය උගන්වන එරංග සර් ආදරෙන් සලකන එක.සඳුන් ඒ තරම් ඇතිහැකි උගත් පවුලක කියලා නොපෙනුණත් හරි දක්ෂයෙක්.
“අර පහළ මුඩුක්කු පේලියෙ ළමයෙක් ඒ..ඒ වුණාට බ්‍රයිට් නේද?” පන්ති බාර මාලතී ගුරුතුමියත් එරංග සර්ට කියලා තිබුණා.සරසවියෙන් පිටවුණු හැටියෙ ලැබුණු රැකියාව නිස එරංග සර්ට දරුවන්ට හොඳින් උගන්වන්න තමයි ඕන කළේ.
ඒත් සඳුන් ගැන තිබුණු පැහැදීම එක පාරම සුණුවිසුණු වෙන්න ගත්තේ සඳුන්ගේ අලුත් හැසිරීමත් එක්ක.දවසක් දෙකක් නිදි කිරන්න ගත්ත සඳුන් ඊටපස්සේ උදේ තියන හැම ගණං පීරියඩ් එකකම නිදාගන්න පටන් ගත්තා.
“සඳුන්…හෝම්වර්ක් කරාද?”
එරංග සර් ඇහුවේ සැරෙන්.
“නෑ..”
සඳුන් කියන්නේ ඔලුව දෙපැත්තට වනන ගමන්.
“හොඳට වැඩ කරපු ළමයෙක් නේද..පොඩ්ඩක් කරදඬු උස් වෙනකොට ඉන්න තැන ගතිය පුරුදු වෙනව.ඔය ළමයා ඉන්න තැන ගැන මට මිස් මාලතීත් කිව්වා.ඒකයි මං මෙච්චර කියන්නෙ.මහ මිනිස්සු වගේ ඔය මුඩුක්කුවෙම ඉන්නද කල්පනාව.ඒකෙන් ගොඩ යාමක් නැද්ද?”
සඳුන් ගණිතය පීරියඩ් එක පුරාම එළියෙන් තියන්න ගුරුතුමා වග බලා ගත්තා.මේ දවස්වල බෝධි පූජා වැඩියි.පන්සලෙන් එනකොට රෑ නවයවත් වෙනවා.ගෙදර වැඩ කරනකොට මඟින් නින්ද යනවා.සමහර වෙලාවට සුමනපාල මාමාගෙ දවසේ ආදායම් හදන්නත් වෙන්නේ සඳුන්ට.ඒවා කරලා රෑ එකොළහට විතර ගෙදර ආවම හෝම්වර්ක් කරන්න වෙලාවක් නෑ. කලින් දවසේ මහන්සියට නින්ද යන බව දන්නෙත් සඳුන් විතරයි.
ඊටපස්සේ එරංග සර් සඳුන් ගැන හෙවීමත් අගය කිරීමත් නැවැත්තුවා.වයසින් වැඩෙනකොට ඒ ළමයත් ඉන්න පළාතේ මිනිස්සු වගේ අධ්‍යාපනයට හොර වෙන බව ඔහු හිතුවේ තරහින්.
ඒ බොහොම ටික දවසකට විතරයි.
ළඟදිම විවාහයට සැරසෙමින් හිටිය එරංග තමන්ගේ පෙම්වතිය වුණු සවිනිත් එක්ක රාජමහා විහාරයට ආවේ සෙනඟ උතුරන හවස් වරුවක.මල් මිටියක් අරගත්තට පස්සේ අනිත් කළහලමනා ගන්න එරංග කඩයකට යන්න හදනකොට සවිනි එරංගව වැළැක්කුවා.
“අර අතන පොඩි ළමයෙක් විකුණනවා.එතනින් ගමු..”
සඳුන්ගේ මහන්සි පිරුණු මුහුණ දැක්ක එරංගට පන්ති කාමරයේ නිදා වැටෙන වරදකාරී පෙනුමැති පුංචි අහිංසක මුහුණ ආයේම මතක් වෙන්න පටන් ගත්තා.
“පුතේ…”
ඔහු සඳුන්ට කතා කරේ ආදරෙන්.
“සර් පන්සල් ආවද..”
සඳුන් අහන්නේ දිලිසෙන ඇස්වලින්.එරංග සඳුන්ව සෙනඟ අතරින් මුදාගෙන රාජමහා විහාරය ළඟ උද්‍යානයට එක්කගෙන ගියා.
“තාත්තගෙ මරණය,නංගි,අම්මා,නංගීගෙ ඇඩ්මිෂන් පීස්,සුමනපාල මාමාගෙ හඳුන්කූරු..”
ඒ දිග කතාව අහන් ඉන්නකොට සවිනිට නාඩා ඉන්න බැරි වුණා.
“පුතේ,අපේ ඔෆිස් එක අතුපතු ගාලා තේ ටිකක් හදලා ඉන්න කෙනෙක් ඕන.අම්මට හෙට උදේම මාව හම්බ වෙන්න කියනවද?”
සවිනි දීපු කාඩ්පත සාක්කුවට ඔබා ගන්න ගමන් සඳුන් හිනා වුණේ ලස්සනට.
“මේ ඔයාගෙ පන්දාහ.නංගිගෙ මොන්ටිසෝරි පොතුයි,ඔයාට අට වසරට පොතුයි අරන් මමයි මේ ආන්ටියි හෙට එන්නං පුතාගෙ ගෙදර.”
එරංග සඳුන්ගේ හිස පිරිමදින ගමන් කිව්වා.
“හැම ළමයටම අයිතියක් තියනව පුතේ ඉගෙන ගන්න.ඔයාගෙ ළමා කාලේ සතුටින් ඉන්න.ඒ කාලෙ ඔයා ගෙදර වියදම් හොය හොයා දුක් විඳින්න එපා.අපි ඔයාව බලා ගන්නම්..”
අවුරුදු පහළොවකට විතර කලින් දවසක හේනේ පැල් රැක්ක පොඩි කොල්ලෙකුට එහෙම කිව්වේ ගමේ ඉස්කෝලේ ලොකු සර් බව එරංගට මතකයි.
ඒ කොලුවා ඉන්පස්සේ හොඳින් ඉගෙන ගත්තා.ගුරුවරයෙක් වුණා.දුෂ්කර ගමක ඒ දරුවා වගේම නාගරික පරිසරයක මුඩුක්කු පරිසරයේ මේ දරුවත් තමන්ගේ පාරක් හොයා ගන්න ඕනෑ කියලා සඳුන් හිතුවා.
“ඔයා ඉගෙන ගන්න පුතේ..මං උදව් කරන්නම්.ඉගෙනීම තමයි ඔයාට තියෙන එකම පාර.”
හෙට අනිද්දා පෝය නිසා හඳ පායාගෙන එන්නේ හරිම ලස්සනට.සඳුන් ඒ දිහා බලන් හිටියේ ආසාවෙන්.”දැන් මගේ ලෝකෙටත් එළිය ලැබුණා..” සඳුන් සන්තෝසයෙන් හිතන්න පටන් ගත්තා.