අම්මාගේ හීන

“නැටුම් ඇඳුම මහන්න කලින් කියන්න ඔයා ඉන්නේ මොන පේළියෙද කියලා”

දේවිකා සරනිගෙන් ඇහුවේ කල්පනාකාරී බැල්මකින්.තමන් ඉන්නේ තුන්වැනි පේළියෙ කියලා සරනි කියද්දී දේවිකාට යස්සයා ආරූඪ වුණා.

“එයාට අවුරුද්ද පටන් ගන්නකොටම තෑග්ගක් යැව්වා.රහට කෑමක් හැදුවත් යවනවා..එහෙව් එකේ ඔයාව ඉස්සරහට ගන්න බැරිද?”

දේවිකා කියන්නේ කේන්තියෙන්.

ටීච සාරිය ඉස්කෝලේ වැඩවලට ගන්න නැටුම් කාමරයෙන්ම තිබ්බ බවත්, ගෙනියන රස කෑම හැමෝටම බෙදන බවත් සරනි හරිම හෙමින් අම්මට කිව්වා.

“මේක හරි විකාරයක්නෙ.පිටිපස්සට යන්න නම් ඕන නෑ.නැටුමට ඉන්න එපා.මං ඇඳුම් මහන් නෑ..”

දේවිකා අන්තිම තීන්දුව දුන්නා.ඊට පස්සේ සරනිට තාත්තාට මේ නඩුව කියන්නම සිද්ධ වුණා.නැත්නම් කොහෙන්ද නැටුම් ඇඳුම්.

අම්මා එහෙම තමයි!සරනි හැමදේකම ඉදිරරියෙන්ම ඉන්න ඕනෑ,කැපී පේන්න ඕන කියලා අම්මා නිතරම හිතනවා.ඒ වෙනුවෙන් සරනිට වද දෙනවා.නවය වසරේ ළමයෙක් හොඳින් අධ්‍යාපනය හැදෑරීම ප්‍රමාණවත් වුණත් අම්මා හිතන්නෙ සරනි පුලුවන් තරම් උපරිම වෙන්න ඕනෑ කියලයි.

“නැගිටිනවා .”

පාන්දර හතරේ ඉඳලා අම්මා කෑගහනවා.රෑ දොළහ පහු වෙනකන් නිදා ගන්න ඉඩකුත් නෑ.සරනිට හැම වෙලාවකම නිදිමතයි.

“සරනි, ඇයි පුතේ ඔයා ඉස්සර වගේ පණ ඇතුව නටන්නේ නැත්තේ..”

නැටුම් මිස් අහනවා.මොන පණක්ද? සරනිට හරිම නිදිමතයි.

“සරනි,පන්තියේ නින්ද යන්නේ ඇයි? මං උගන්නනවා හරි නැද්ද?”

විද්‍යාව මිස් දවසක් ඇහුවේ හිනා වෙන අතරේ.සරනිට හරිම දුකයි.සරනි විද්‍යාවට මොනතරම් ආදරෙයිද? ඒත් ඉතින් සරනිට නිදා ගන්නවා මදි නිසාම පුදුම නිදිමතක් තියෙන්නේ.

“ඔයා ශිෂ්‍ය නායකයන්ගෙ ඉල්ලුම්පත්තරේ දැම්මද ළමයෝ?”

අම්මා දවසක් සරනිගෙන් ඇහුවේ සැරෙන්.ඒ ආරංචියත් අම්මා හොයාගෙන.සරනි නායකකම් කරන්න කැමති නෑ.

“මම ඔය ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක්.ඔයා නොවී හිටියම මොන ලැජ්ජාවක්ද?

අම්මා කෑගහන්න ගත්තා.අන්තිමට ඉල්ලුම් පත්‍රයක් ගෙනල්ලා අම්මා ඉස්සරහම පුරවන්න සරනිට සිද්ධ වුණා.ඒත් එයා තීරණයක් ගත්තා.

“ඉස්කෝලෙට ගිය දවසේ ඉඳන් චෙස් වලට දැම්මා.ඊට පස්සේ කුඩා මිතුරි කෙරෙව්වා.නැටුම් කණ්ඩායමේ ඉන්නව.නෙට් බෝලුත් කරා.දැන් ගයිඩින් කරනවා.හැමදාම පන්තියේ මුල් තුන්දෙනා අතරෙ ඉන්නවා.ඉන්ග්ලිෂ් ඩේ,බාෂා තරග ඔක්කොටොම යනව.ඇයි මේ ළමයා ශිෂ්‍ය නායිකාවක් නොකරේ..”

අම්මා ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍ය නායකයින් බාර ගුරුතුමී එක්ක පැටලිලා කියලා දැනගත්තම සරනිට ආවේ ලැජ්ජාවක්.

“මෙහෙමනෙ සරනිලගෙ අම්මෙ.මොනතරම් සුදුසුකම් තියන දරුවෙක් වුණත් ඉල්ලීමක් කරලා ඉල්ලුම් පත්‍රයක් දාලා නැත්නම් අපි එයාව ශිෂ්‍ය නායිකාවක් හැටියට තෝරන් නෑ.නායකත්වයට අකමැති දරුවෙක් බලෙන් නායකයෙක් කරන්න බෑනෙ.”

අම්මා හොඳටම කේන්ති අරන් ගෙදර ගියා.සරනි පාසල් වෑන් එකෙන් බැහැලා ගෙදර එනකොටම පේර ගහෙන් කෝටුවක් කඩා ගත්ත අම්මා සරනිගෙ කකුල් වලට පාරවල් හිටිනකම් කෝටු පාර දුන්නා.

“මට නින්දා කරන්නම තමයි දන්නෙ.”

ඒත් එහෙම නින්දා කරපු දවසක් සරනිට මතක නෑ.

මොන්ටිසෝරියට යන්න කලින් අකුරු පුළුවන් වෙන්න ඕන කියලා අම්මා සරනිට වද දුන්නු හැටි එයාට තාමත් මතකයි.එයා බාස්කට් බෝල් ප්ලේ කරන්න ආසාවෙන් හිටියට සරනිලගෙ ඉස්කෝලේ ජනප්‍රිය චෙස්වලටත් නෙට් බෝල්වලටත් නිසා අම්මාට ඕන වුණේ සරනි ලවා ඒවා කරවන්න.සරනි ගොඩක් ආස වයලින් ගහන්න.ඒත් අම්මාට උවමනා එයා ස්ටේජ් එකේ හැමෝටම පේන්න නටන්න.

“මං ළමයෙක් නෙවේ.අම්මාගෙ රූකඩයක්..”

සරනිට හයියෙන් ඇඬුණා.බෙහෙත් ගන්න ගිහින් එන හැමවතාවකම නිමාලි ඩොක්ට වගේ වෙන්න සරනිට හීනයක් තියනවා.විද්‍යා විෂයට හැමදේටම වඩා ආස කරන එයාට ඒක හීනයක් නොවන බව විද්‍යා ගුරුතුමියත් කියනවා.

“සයන්ස් කරන්න නම් නටන්න එපා.ඕක පළවෙනි පාරෙන් පාස් නොවුණොත් මට රෙද්දක් ඇඳන් පාරට බහින්න බෑ.කලා කරන්න.ලෝයර් කෙනෙක් වුණෑකි..”

කනට ඇහෙන්න කතා නොකරන තමන් උසාවියේ නඩු කතා කරන්නේ කොහොමද කියලා සරනි හිතනවා.

අවුරුදු පහළොවක් පුරා වින්ද පීඩනය එදා රෑ පිටවෙන්න පටන් ගත්තා.ඉකි බිඳීමකින් පටන් ගත්තු සරනිගෙ හැඬුම විලාපයක් වුණා.ගේ පුරාම විදුලි එළි දල්වපු තාත්තා දුවගෙන් ඇවිල්ලා දූව තුරුළු කරගත්තා.

“පාරක් ගැහුවට අඬන්න බබෙක්ද?”

අම්මා ඇහුවම මතක ඇති කාලෙක ඉඳන් අම්මාගෙ හීනවල ගොදුරක් වීම ගැන කියමින් සරනි උස් හඬින් හඬන්න පටන් ගත්තා.

“පුතාට දැනුත් පුලුවන් වයලින් ඉගෙනගන්න.ඔයා ස්පෝට්ස් කරන්නේ ආසාවෙන් නෙවෙයි නම් මම හෙටම ඉස්කෝලෙට ඇවිල්ලා ඒ ගැන කතා කරන්නම්.ඔයා නායිකාවක් වෙන්න ආස නැත්නම් ඒකට තාත්තා ආසත් නෑ. ඒ වගේම තමයි පුතා එකපාරින් කැම්පස් යන්න ඕනෑ නෑ.ඔයා ඕලෙවල් හොඳට කරලා බයෝ සයන්ස් වලින් ඒ ලෙවල් කරන්නකො..අපි බලමු මගේ චූටි කෙල්ලට ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්ද කියල..”

තාත්තාගේ වචන සරනිට ඇහුණේ දිව්‍ය මන්තරයක් වගේ.

“ඔයා දන්නේ නෑ ළමයා හදාගන්න.පණ්ඩිත කතා කියලා එයාගේ ඔලුව අවුල් නොකර එයාව හදා ගන්න මට ඉඩ දෙන්න..”

දේවිකා සාලෙ පුටුවකට වෙලා කල්පනා කරන සැමියාට කිව්වේ නොරිස්සුමෙන්.

“ඔන්න ඕක තමයි ඔයා වරද්දා ගත්තු තැන.මං ඕන වුණේ ළමයා හදා ගන්න විතරනෙ.ඊටපස්සෙ ඔයා ඔයාගෙ හීන එයා ලව්ව බලෙන් කරවා ගන්න පටන් ගත්තා.අවුරුදු පහළොවක් තිස්සෙ ඒවට ඉඩ දුන්නු මමයි මුල්ම වැරදිකාරයා.ඒ වුණාට ආයේ එහෙම වෙන්නැ.මගෙ දරුවා එයාට පහසු දේවල් කරාම ඇති.එයා ඉෂ්ට කරගන්න ඕන එයාගෙ හීන මිසක් ඔයාගෙයි මගෙයි අරමුණු නෙවෙයි..”

සරනිගේ තාත්තා පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන්.

දරුවන්ගේ හීන දිගේ නිදහසේ පියාඹන්න එයාලට ඉඩ දෙන එක අම්මා අතින් වෙන්නම ඕනෑ.නැත්නම් දරුවෝ සමාජෙට කලින් තමන්ගෙම පවුලට වෛර කරන එක නවත්තන්න කාටවත්ම බෑ.

More Stories

Don't Miss


Latest Articles