අම්මගේ ආදරේ

සයුරි කාමරයේ ජනෙල් පියන්පත් ඇරියේ හිස් හැගීමකින්. නිවාඩු දිනයක් වෙච්ච සෙනසුරාදා දවසේත් වැඩට යන්න තිබුන නම් කොච්චර හොඳද කියලා ඇයට හිතුනා .

” ජනේලෙ ඇරගෙන මක් කරනවද ? අද වත් ඔය කාමරේ අස් කරගන්නවා සයුරි “

උදේ පාන්දරම වජිරා ගෝරනාඩුව පටන් අරගෙන .සයුරිගේ කාමරේ අස් කරන්න කියලා තිබුනේ ඇඳ විතරයි . කන්නාඩි මේසයයි, අල්මාරියයි ,සපත්තු රාක්කෙයි නම් සයුරිගේ කොහොමත් පිළිවෙලයි.

” ඔය කෙල්ලට නිවාඩු දවසෙවත් සැනසිල්ලේ ඉන්න දෙන්න වජිරා “

සයුරිගේ අත්තම්මා කුස්සියෙ ඉඳන් සද්දෙට එහෙම කිව්වේ ඇත්තටම සයුරි ගැන උපන්න දුකෙන් වෙන්න ඇති. හදිසි හෘදයාබාධයකින් සයුරිගේ තාත්තා මිය ගිය දවසේ ඉඳලා සයුරිගේ වගකීම කරට අරගත්තේ වජිරා.වජිරාගේ හයියට හිටියේ එයාගෙ අම්මා.
පුළුවන් තරම් ඉක්මනින් ගාමන්ට් එකක රස්සාව හොයාගත්ත වජිරා හිතේ තිබුණු හැම පීඩනයක් ම පිට කළේ සයුරිගේ පිටින් .සයුරි වැඩකලේ පෞද්ගලික ආයතනයක .තරමක හොඳ වැටුපක් සයුරිට ලැබුනත් ඒකෙන් බාගෙකටත් වඩා අයිතිය තිබුණේ වජිරාට .ජීවිතේ ගැන සයුරිට ගොඩක් හීන තිබුනත් වජිරා ඒ හීන හැම එකක්ම යටපත් කළා .

” මට කේක් හදන්න ඉගෙන ගන්න ආසයි “

කවදහරි දවසක තමන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා සයුරි කේක් හදන්න ඉගෙන ගන්න ආස කළා .

” කේක් ? දැන් එච්චරයි උඹට අඩු “

සයුරිගේ ආසාවට වැට බැඳුනේ එහෙම.

” ඔය ළමයා ආස නං යන්න දීපන් වජිරා . වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත කියලා මක් වෙනවද ? “

පුරුදු විදිහටම සයුරි වෙනුවෙන් කතා කළේ ආච්චි . හැබැයි වජිරාගේ තීරණය වෙනස් කරන්න ආච්චිට පුළුවන්කමක් තිබුණෙ නැහැ .

” වැඩ ඉවර වෙන්නෙ පහමාරට නේ .7 වෙනකන් උඹ මොකක්ද කරේ සයුරි ? “

” පාරේ ට්‍රැෆික් තිබුන අම්මෙ හොඳටම . බස් එකේ වාඩිවෙලා ඉඳලම මට එපා වුණා “

” ඇත්තද ? එන්න එන්න පරක්කු වෙවී උඹ නටන නාඩගම මොකක්ද කියලා මම හොයාගන්නම්කො “

බස් වල තෙරපිලා ගොඩක් මහන්සියෙන් ගෙදර ආපු සයුරිට ඒ වචන පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනා. ඇස් වලට පිරුණු කඳුළු හංගගෙන සයුරි කාමරයට ආවා.

” දෝණි. තේ එකක් ගේන්නද ? “

කරුණාව පිරුණු ආච්චිගෙ වචන සයුරිට ලොකු අස්වැසිල්ලක් වුණා .

” දැන් එපා ආච්චි .ටිකකින් රෑට කනවනෙ “

” උඹලගෙ අම්මා ඒ කාලේ ඉඳලම හිතුවක්කාරයි . මම කියන එකක් ඇහුවෙම නැහැ .අදටත් එහෙමයි . එයාට ඔය වැඩිපුර තරහා යන්නේ තරුණ වයසෙන්ම දරුවෙක් එක්ක තනිවෙලා ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න වෙච්ච නිසා වෙන්න ඇති “

ආච්චි කියන දේ සයුරි සාවධානව අහගෙන හිටියා. ඒත් අම්මා කෙනෙකුට මේ තරම්ම නපුරු වෙන්න පුලුවන්ද ?

” මොනදේ උනත් වජිරා උඹට ආදරෙයි “

එහෙම කියපු ආච්චි කාමරෙන් එළියට ගියා. ආච්චි කියපු ඇත්ත තමන්ටත් තේරෙන නිසා අම්මා නපුරුවෙලා කියන හැම වචනයක්ම ඊළඟ මොහොතෙන් අමතක කරල දාන්න සයුරි වෙනදා වගේම හිතාගත්තා .

” අම්මේ බත් එක මෙහෙම පාර්සල් කරන්න . අම්මා ඔය බඳින විදිහට ඕක දිග ඇරෙනවා “

දවසක් උදේ සයුරි වජිරාට එහෙම කිව්වේ දිගහැරුණු බත් පාර්සලේ ආපහු හදන ගමන්

” මට ඔය මෝස්තර කරන්න වෙලාවක් නැහැ . මීට පස්සෙ උඹම ඕක බැඳ ගනින්. උඹලට කරන්නත් ඕනේ , ඒවායේ ඇද අහගන්නත් ඕනේ “

අම්මට කිසි දෙයක් කියලා තේරුමක් නැති නිසා සයුරි නිහඬ වුණා . එදා ඉඳන් හැමදාම උදේට අම්මා උයන කෑම ටික පාර්සල් කර ගන්න සයුරිට සිද්ධ වුණා.

මොන ප්‍රශ්න මැද වුණත් සයුරි ඇගේ රැකියාව අකුරටම ඉටු කළා . රැකියාවට ගිහින් අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් වුණත් ඇගේ දක්ෂකම් දැක්ක ආයතනයේ ඉහළ නිලධාරීන් ඇයට ඇයට උසස්වීමක් දුන්නේ වැටුප් වැඩි වැඩි කිරීමකුත් එක්ක

” වැඩිපුර ලැබෙන කීයකින් හරි උඹට රත්තරන් බඩුවක් දෙකක් හදා ගනින් පුතේ . උඹගෙ අම්මා ඒ වගේ දේකට උඹ වෙනුවෙන් සල්ලි ඉතුරු කරල ඇති කියලා මම හිතන්නේ නැහැ “

උසස්වීමයි වැටුප් වැඩි කිරීමයි ගැන දැනගත්ත ආච්චි සයුරිට එහෙම කිව්වා. ලොකු ළමයෙක් වෙච්ච දවසේ ආච්චි සයුරිගේ කරට දාපු මාලෙට වෙච්ච දෙයක් සයුරි දන්නේ නැහැ. සල්ලි නැති වෙලාවක අම්මා ඒක උකස් කරන්න ඇති කියලා සයුරිට හිතුනා. වැටුප් වැඩි වැඩිකිරීම ගැන ආච්චිගෙ ප්‍රතිචාරය එහෙම වුණත් වජිරාගේ ප්‍රතිචාරය උනේ වෙනස්ම එකක්

” ලබන මාසේ ඉඳලා රුපියල් දහදාහක් වත් මට වැඩිපුර දීපන් එහෙනම් . මේ ගෙදර වියදම් වලට මගේ පඩිය ගෑවෙන්නත් මදි “

ඒ වචන ටික වජිරා කොයි මොහොතේ හරි කියනවා කියලා සයුරි බලාපොරොත්තුවෙනුයි හිටියේ . ඇගේ තීරණ ගෙදර අවසාන තීරණය නිසා ඒකට ඉඩ දෙන්නත් සයුරි හිතාගත්තා

” දෝණි.. අම්මට ටිකක් සනීප නෑ. අද කලින් එන්න පුලුවන්ද ? “

එක දවසක දවල් වරුවේ ලැබුණ දුරකථන ඇමතුමෙන් සයුරිගේ හිත ටිකක් ගැස්සුනා.ඉහෙන් බහින ලෙඩක් නොතිබුණ ,උදේ ඉදන් රෑ වෙනකම් එක දිගට වැඩ කරපු අම්මට මොනවා උනාද ? දුරකථන ඇමතුමෙන් පැයක් දෙකක් ඇතුළත සයුරි ගෙදර ගියා .

” මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි, අම්මා බොරුවට බය වෙලා . අපරාදේ සයුරි උඹ නිවාඩු දාලා දුවගෙන ආවෙ “

වජිරා හිටියේ ඇඳේ හාන්සි වෙලා පපුවට අතකුත් තියාගෙන

” අම්මා ඔයා අමාරුවෙන්නේ හුස්ම ගන්නේ . අපි යමු බෙහෙත් ටිකක් ගන්න “

” මම එද්දි බෙහෙත් අරගෙන ආවේ .පපුවේ කැක්කුම ආවේ ගෑස් වලට වෙන්න ඇති කියලා දොස්තර කිව්වා “

දවසක් දෙකක් ගිහිල්ලත් බෙහෙත් වලට අඩු නොවුන වජිරාගේ පපුවේ කැක්කුමට කැස්සකුත් එකතු වුණා. එන්න එන්නම රෝග තත්ත්වයන් උත්සන්න වුණ නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුට වජිරාව පෙන්වන්න සයුරි තීරණය කළා

දහස් ගණනක් වියදම් වුන පරීක්ෂණ ගණනාවකට පස්සේ වජිරාගේ අසනීපය මොකක්ද කියලා නිගමනය කරන්න වෛද්‍යවරුන්ට පුළුවන් වුණා

” ඔයාගෙ අම්මට තියෙන්නෙ පෙනහලු වල පිළිකාවක් . ඒක තරමක් දුරට පැතිරිලා තියෙන්නේ “

සයුරිට දැනුනේ කියාගන්න බැරි තරම් දුකක් .කොච්චර නපුරුකම් කලත් ඒ තමන්ගේ අම්මා !

තමන්ගේ අසනීපය ගැන දැනගත්ත වජිරා එන්න එන්නම වෙනස් චරිතයක් බවට පත් වුණා . සයුරි කියපු ගමන්ම රැකියාවෙන් ඉවත් වෙන්නත් වජිරා කටයුතු කළා. පිළිකාවේ පැතිරීම සහ වර්ධනය වේගවත් බව වෛද්‍යවරුන් වජිරාට බොහොම කරුණාවෙන් පැහැදිලි කළා

” මට දුක මගේ කෙල්ලව දාලා යන්න “

වජිරා ඇගේ අම්මත් එක්ක එහෙම කිව්වේ පහත් හඬකින් . තමන්ගේ දියණියට ආදරය කරන්න තිබුණ කාලය තමන් විසින්ම කෙටි කරගත්ත කියල වජිරා පසුතැවුනා .ගෙදර හැම වියදමක්ම කරට ගත්ත සයුරි වජිරාගේ ප්‍රතිකාර වෙනුවෙනුත් කරන්න පුළුවන් හැම දෙයක්ම හොයලා බලලා කළා .

” උඹට ඔය කෙල්ලට සලකන්න තිබුණෙ ඔහොම නෙමෙයි. දැක්කද ඒකි උඹට කොච්චර ආදරෙයිද කියලා? ඒක තේරුම් ගන්න උඹට ලෙඩක් හැදෙනකම් ම ඉන්න වුණා “

සයුරිගේ ආච්චි සයුරි ගෙදර නැති වෙලාවක් බලලා වජිරාට එහෙම කිව්වා.

” ඒකි උඹෙන් අම්මගේ ආදරේ හෙව්වට උඹ දුන්නෙ ඒකිට කුඩම්මෙකුගෙ ආදරේ “

තමන්ගේ අම්මා කියන වචනයක් ගානේ වජිරාගේ හිත රිදුනා . ඒත් ඒ හැම දෙයක්ම ඇත්ත කියල දැනෙද්දි වජිරාගේ හිතේ තිබුණ පසුතැවීම තව තවත් වැඩි වුණා .

” මමත් වයසක ගෑනි . උඹත් දැන් ලෙඩ ගානේ. කවදහරි මේ කෙල්ල තනිවෙයි. උඹ ඒකිගේ අනාගතේ ගැනවත් බැලුවද ? “

එදා වේල හම්බ කරගන්න වෙහෙසුනත් සයුරිට තමන් අතින් වෙන්න ඕන යුතුකම් මොනතරම් මග ඇරිලා ද කියලා වජිරාට හිතුනා.

” හැම දේටම මම පරක්කු වැඩියි අම්මේ”

” මොන දේට පරක්කු වුනත් උඹට පුළුවන් දැන්වත් ඒකිට අම්මෙකුගෙ ආදරේ දෙන්න “

දවසින් දවස වජිරා දුර්වල වුණා. කෙළවරක් නැති වෛද්‍ය ප්‍රතිකාරවලින් රෝගය පාලනය කරන්න පුළුවන් වුණත් වජිරාගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි කියලා වෛද්‍යවරුන් විශ්වාස කළේ නැහැ

වජිරාගේ සියලු වැඩ කටයුතු කළේ සයුරි . දවල් දවස පුරාවටම වජිරා ව බලාගත්තේ ඇගේ අම්මා . සයුරි යකඩ කෙල්ලෙක් වගේ ගෙදර හැම දෙයක්ම හොයලා බලලා අඩුපාඩුවක් නැති වෙන්න කරන්න වගබලාගත්තා . තමන්ටත් වඩා හොඳට ගෙදර වැඩ කටයුතු කරගෙන රැකියා කටයුතු කරන දියණිය දිහා බලලා වජිරා සැනසුම් සුසුම් හෙළුවා.

නිතරම රෝහල් කරා යන සයුරිට වෛද්‍යවරයකුගෙන් විවාහ යෝජනාවක් ආවේ ඔය අතරෙදි . ජීවිතයත් මරණයත් අතර සටනක හිටපු වජිරාත් ඇගේ අම්මාත් ඒ යෝජනාවට කැමති උනේ මුල ඉදන්ම ඉතාම කරුණාවෙන් තමන් ගැන හොයා බලපු තරුණ වෛද්‍යවරයාට තමන්ගේ දියණියගේ ජීවිතය බාර කරන ගමන්.

සුදාර කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් . තමන්ගේ අම්මාව සුවකරගන්න දිවා රෑ නොබලා වෙහෙස වෙන ශක්තිමත් තරුණියක්ව සුදාර සයුරි තුළින් දැක්කා.සයුරිට හැම අතින්ම ශක්තියක් වෙන්න සුදාර වෙහෙසුනා. අලුත් වුණ ජීවිතයත් එක්ක සයුරි තමන්ගේ අම්මව සුවපත් කරගන්න හැම උත්සාහයක්ම දැරුවා .

” මට දැන් සයුරි ගැන බයක් නැහැ.මට දැන් පුලුවන් නිදහසේ ඇස් පියාගන්න “

සුදාරගේත් සයුරිගේත් දෑත් අල්ලගෙන වජිරා කිව්වේ එහෙම. ඒත් තමන්ගෙ අම්මට සමුදෙන්න සයුරිට ඕන වුණේ නැහැ . තමන්ගෙ අම්මට අම්මා කෙනෙක් වෙමින් සයුරි තමන්ගේ යුතුකම් ඉටු කළා.

සයුරිගේ ඒ හැම උත්සාහයක්ම නිශ්ඵල කරමින් ටික දවසකට පස්සෙ වජිරා අවසන් හුස්ම හෙළුවා

” අම්මා කෙනෙකුගේ ආදරේ මට උඹට හරියට දෙන්න බැරි වුණා . ඒත් උඹ මට අම්මා කෙනෙක් වුණා මගේ දුවේ “

අවසාන මොහොතේදී වජිරා දෑස්වල කඳුළු පුරවගෙන එහෙම කිව්ව හැටි සයුරිට මතක් උනේ සයුරි මනමාලියක් වුණ දවසේ. අද තමන්ගේ තනි නොතනියට ඉන්න ආච්චි වගේම ,ඉස්සර දවස් වල වගේ නපුරුකම් කරන්න හරි තමන්ගේ අම්මත් හිටියා නම් මොන තරම් හොඳද කියල සයුරිට හිතුනා.

” කවදාහරි අම්මා කෙනෙක් උන දවසට කිසිම හේතුවක් නිසා උඹේ දරුවන්ට ආදරෙන් අඩුවක් කරන්න එපා දෝණි “

මධුසමයට පිටත් වෙන්න ඔන්න මෙන්න තියලා සයුරිගේ ආච්චි සයුරිගේ කනට කරලා එහෙම කිව්වා

More Stories

Don't Miss


Latest Articles