අඩ නින්දක හිටපු හසිනි ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩින්. ආපු ඇමතුම ක්‍රියාත්මක කරලා ඇය නිදිමතේම දුරකථනය කනේ හොවා ගත්තා. ඇමතුමේ අනෙක් පස හිටියේ අවිශ්කගේ අම්මා .
” දැන් කොහොමද දූ ඔයාට ? “
” නිදාගෙන හිටියෙ අම්මේ. එලිවෙනකන්ම මට නින්ද ගියෙ නැහැ “
” අනේ මම ඔයාව ඇහැරෙව්වා නේද ?”
” ඒකට කමක් නැහැ අම්මේ “
” දු නිදාගන්නකො .මම පස්සෙ ගන්නම් “
හසිනි ආපහු නින්දට වැටුණා. නැන්දම්මා කෙනෙක් නොලැබී අම්මා කෙනෙක්ම ලැබුණේ මොනතරම් වාසනාවකටද. ඇයට හිතුණේ එහෙම .
කොවිඩ් වෛරසය ආසාදනය වෙලා හසිනි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් වුණේ මීට දින තුනකට උඩදී. ඒ හැම දවසකම උදේ පාන්දරින්ම හසිනි ට කතා කරලා සුවදුක් විමසන්න අවිශ්කගේ අම්මා අමතක කළේ නැහැ.
සතියක විතර ඉඳලා තරමක් අසනීපයෙන් හිටපු හසිනි ගෙදර දොරේ කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වයකයි හිටියේ. හසිනි අසනීපයෙන් බව දැනගත්ත ඇගේ අම්මා එක දවසක ඇයටත් නොකියාම හසිනි ගේ ගෙදරට ආවේ හසිනි ආසම කෑම වර්ග කීපයක්ම හදාගෙනයි
” අම්මා ගෙට එන්න එපා . මේ දවස් වල බයයි නේ “
” මෙන්න මේ ගේට්ටුව අරින්න ළමයෝ මම ගේ ටිකක් අස් පස් කරල දාල යන්නම් “
” අවිශ්ක ගේ අස් කරලයි ගියේ අම්මා යන්නකෝ “
හසිනිගේ අම්මා ආපහු යන්න හැරුණෙ දුකෙන්.ඒ ගැන හසිනි ටත් දුකයි .ඒත් තමන්ගෙ අසනීප තත්ත්වයෙන් නිශ්චිතවම තවමත් හඳුනාගෙන නැති නිසා අම්මාව ගෙට ගන්න බයක් හසිනි ට දැනුනා
දින ගනනාවක ඉඳලා තිබුණු උණ ගතිය නිසා කෑම කන්න ඒතරම් පිරියක් නොතිබුනත් අම්මා හදාගෙන ආව කෑම නොකා ඉන්න හසිනිට බැරි වුණා. හසිනි ඉන්නෙ අසනීපයෙන් නිසා ඇගේ සැමියාවුන අවිශ්ක රැකියාවට ගිහින් වේලාසනම ගෙදර ආවා . අවිශ්ක ගෙට ගොඩ වෙනවත් එක්කම ගේට්ටුව ගාවින් හෝන් හඬක් ඇහුණා
” කවුද මේ වෙලාවේ ? “
එහෙම කියාගෙන අවිශ්ක ගේට්ටුව ළඟට ගියා . කොළපාට නිල ඇඳුමක් සහිත ඩිලිවරි තරුණයෙක් ගේට්ටුව ගාව ඉන්නවා හසිනි දැක්කා .පාර්සල් කීපයක් ම ඔහු අවිශ්ක අතින් තිබ්බා. පොලොස් ඇඹුලක් , මාළු ඇඹුල්තියල් එකක් , හාල්මැස්සන් බැදුමක් සහ කුකුල් මස් කරියක් ඒ පාර්සලය ඇතුලේ පරිස්සමට ඇසුරුම් කරලා තිබුණා
” අපේ අම්මා එවල තියෙන්නෙ හසිනි “
” අනේ.. අම්මා මට කිව්වේ වත් නැහැ .පවු. ගොඩක් මහන්සි වෙලා . අපේ අම්මා ගෙනාව කෑමත් ගොඩක් ඉතුරුයි අන්න “
” ෆ්‍රිජ් එකේ දාලා තියමු නේද ? වැඩි වෙන්නේ නැහැනේ “
දින ගණනාවක් තිස්සේම උණ ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක්ම පෙන්නුම් කරමින් , එන්න එන්නම අසීරු තත්ත්වයකට පත් වුන හසිනි අසනීප වෙලා හයවෙනි දිනයේ දී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වුණා.හුස්ම ගැනීමේ අපහසුව තදින්ම තිබුණ නිසා හසිනිව වෛද්‍ය ප්‍රතිකාර යටතේ තියෙන එක හොඳයි කියලා අවිශ්ක තීරණය කළා
” මං කොහොමද ඔයාව දාල යන්නේ ? “
හසිනි ව පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරන්න අවිශ්ක කටයුතු සූදානම් කරන වෙලාවෙ හසිනිගෙ පලවෙනි ප්‍රශ්නය වුණේ ඒක . ගතේ වේදනාවටත් වැඩිය හිතේ වේදනාව ඉස්සර වෙද්දී අකමැත්තෙන් උනත් ප්‍රතිකාර ගන්න යන්න හසිනිට සිද්ධ වුණා
” ඔයාට ඕක හැදෙන්න ඇති අවිශ්ක ගෙන් වෙන්න ඇති .එයානේ නිතරම එළියට යන්නේ “
හසිනි කොවිඩ් ආසාදිතයෙක් බව දැනගත්ත ගමන් අවිශ්කගේ අම්මා ගොඩක් කම්පා වුණා
” මේක කොහෙන් කොහොම හැදෙනවද දන්නෙ නැහැ නේ අම්මේ “
” ඒ උනාට පුතේ ඔයා එළියට යන්නේ නැහැනේ වැඩිය . බලන්නකෝ අපේ අවිශ්ක ට පරිස්සම් වෙන්න බැරි වුණ හැටි “
තමන්ගේ පුතාවුන අවිශ්ක ගැන හිතනවට වඩා අවිශ්කගේ අම්මා දුක් උනේ හසිනි ගැන.
” ඔයාට කන්න පිරියක් තියෙන කෑම මොනවද දූ ? “
” දැන් නම් මොනවා කෑවත් රසක් දැනෙන්නේ නැහැ අම්මේ “
” ඔයා ආපහු ගෙදර ආවහම මං ඔයා ආසම කෑම හදලා දෙන්නං . ඔයා ආස මොනවටද කියලා මට කියන්නකො”
තමන්ගේ කුසින් නොවැදු දියණියක්ව හදවතේ දරාගෙන ඉන්න අම්මා කෙනෙකුගේ ආදරය හසිනිට තදින්ම දැනුනා . ඒත් එක්කම නැන්දම්මා ලේලි අරගල ගැන ෆේස්බුක් සමූහවල පලවන නාමික සහ නිර්නාමික ගැටලු ගැනත් හසිනිට මතක් උනා
කල්පනා කර කර ඉන්න ගමන් හසිනි තමන්ගේ අම්මට ඇමතුමක් ගත්තා
” ඔයා කෝල් කරනකම් මම හිටියේ පුතේ. නිදි ඇති කියලා හිතලා මම කෝල් කරේ නැහැ “
” අවිශ්කගේ අම්මා කෝල් කරනකොට ඇහැරුනේ අම්මේ “
තමන්ගේ දියණියට සාම්ප්‍රදායික සිතුවිලි ඇති නපුරු නැන්දම්මා කෙනෙකු නොලැබීම ගැන හසිනිගේ අම්මට දැනුනේ අප්‍රමාණ වූ සැනසීමක්
දින දෙකක් පමණ ගත වෙනකොට නිවසේ නිරෝධායනය වෙමින් හිටපු අවිශ්කත් රෝග ලක්ෂණ කීපයක් පෙන්වන්න පටන් ගත්තා
” අනේ බලන්නකෝ අම්මේ මේ වගේ වෙලාවක වත් මට අවිශ්ක ළඟ ඉන්න නැති හැටි “
හසිනි ගේ හැඬුම අවිශ්කගේ අම්මට ගෙන ආවේ ලොකු දුකක්
” ගෙදර ගියාම බලන්න පුළුවන්නේ පුතේ . මම කෑම බීම හැමදේම යවනවා .අවිෂ්කට ලොකු අමාරුවක් නැහැ . ඔයා සනීප වෙලා ඉන්නකෝ “
නැන්දම්මගෙ වචන හසිනි ගේ හිත හැදුවේ එහෙම
” අපේ අම්මා මගේ ලෙඩ බලන්න කෝල් කරත් අහන්නේ ඔයා ගැනමයි. අම්මට දැන් ලේලි ලොකු වෙලා”
අවිශ්ක නෝක්කාඩු කියනකොට හසිනි ගේ මුහුණේ හීන් හිනාවක් ඇඳුනා
” අම්මලා දෙන්නම ආදරේ මට “
හසිනි කිව්වේ ආඩම්බරෙන්. දින 10ක නිරෝධායන කාලය අවසන් වෙලා හසිනි ගෙදර ආවා .ඒ වෙනකොටත් සම්පූර්ණ සුවය නොලබලා හිටපු නිසා තවදුරටත් විවේක ගන්න කියලා වෛද්‍යවරයා හසිනිට තදින් අවවාද කළා.
” හසිනි ට ගෙදර කිසිම වැඩක් කරන්න දෙන්න එපා “
අවිශ්කගේ අම්මාගේ පළවෙනි නීතිය වුණේ ඒක. හසිනිට තරම්ම අමාරු නොවුන නිසා අවිෂ්ක ගෙදර වැඩපල ටික හෙමින් සීරුවෙ කළා
” සුප් එක එව්වෙ හසිනි ට “
” හසිනි ට කොත්තමල්ලි හදලා දුන්නද ? “
” බෙහෙත් ටික වෙලාවට දෙනවා නේද ?”
අවිශ්කගේ අම්මා නිතර නිතර දුරකථන ඇමතුම් දෙමින් හොයල බැලුවෙ එහෙම . සමහර වෙලාවට තමන්ගේ අම්මගේ ආදරේට වඩා අවිශ්කගෙ අම්මගේ ආදරය හසිනි ට දැනුනා.
සම්පූර්ණයෙන්ම රෝගය සුවපත් වුණාට පස්සේ දවසක හසිනි අවිශ්කගේ මහ ගෙදරට ගියා. අංශුමාත්‍රයක තරම්වත් වෙනසක් නොකර තමන්ට ආදරය කරන නැන්දම්මාව දැක බලා ගන්නයි හසිනි ට ඕන කළේ
” අම්මලා දෙන්නගෙම ආදරේ මට මේ දවස් වල හොඳටම දැනුනා “
හසිනි එහෙම කිව්වේ අවිශ්කගේ අම්මා හදලා දීපු රසම රස තේ කෝප්පය අතට ගන්න ගමන්
” ඔයාගේ අම්මා ඔයාට කොහොමත් ආදරේනේ පුතේ “
” මට හිතෙන්නේ ඔයත් මට ඒ තරම්ම ආදරෙයි අම්මේ .ඒත් තේරෙන කාලේ ඉඳලම මම හිතාගෙන හිටියේ නැන්දම්මලා නපුරුයි කියලා “
” නෑකමට ලේලි කියලා කිව්වට කසාද බැඳලා වෙන ගෙදරකට යන්නේ තවත් අම්මා කෙනෙකුගේ කුසින් එළියට ආපු දුවෙක් නේ . තමන් ඉපදුණ දවසේ ඉඳලා හැදුණු වැඩුණු තැන දාලා තව ගෙදරකට එන දරුවාට මොකටද වෙනස්කම් කරන්නේ ? “
දෑස් තෙත් වෙන වේගය වැඩි වෙනවා කියලා හසිනි ට දැනුනා . හැම නැන්දම්මා කෙනෙක්ම මෙහෙම හිතනවා නම් ?
” අවිශ්කගෙ අක්කා ව දීග දෙනකොට මම හිතුවෙත් කවදාවත් එයාට නැන්දම්මා කෙනෙක් නොලැබී මං වගේම සලකන අම්මා කෙනෙක් ලැබෙන්න කියලා .වාසනාවකට ඒක එහෙමම වුණා. ඉතිං පුතේ ඔයාගේ අම්මත් හිතන්න ඇත්තේ එහෙම නේද ? කවදහරි ඔයා අම්මා කෙනෙක් වෙලා දරුවො දීග දුන්නමත් එහෙම හිතයි කියලා මම හිතනවා “
ජීවිතේ ගැන මේ තරම් අපූරුවට පාඩම් කියාදෙන අවිශ්කගේ අම්මා ගැන හසිනි ට දැනුනේ අසීමිත ආදරයක්. නැන්දම්මා කියන නෑකම නැතිව අම්මා කියන නෑකම විතරක් මේ ලෝකේ ඉතිරි වෙනවා නම් කොයි තරම් හොඳද කියල හසිනි ට හිතුනා
නැන්දම්මාගෙන් බැට කන, නැන්දම්මාගේ වෙනස්කම් වලට ලක්වෙන සහ නැන්දම්මා වරුන් ඕනෑවටත් වඩා පවුල් ජීවිතේට ඇඟිලි ගහන මිතුරියන්ගේ දුක්ගැනවිලි හසිනි ඕනෑ තරම් අහල තියෙනවා. ඒ අතරින් තමන්ට තමන්ගේ දරුවෙක් විදිහටම සලකන අම්මා කෙනෙක් ලැබුණ එක මොන තරම් වාසනාවක්ද ? හසිනි ගෙදර එන ගමන් හිතුවේ එහෙම