“මං යනව අම්මේ එහෙනම්..”
හිරුණි වඳිනකොට ඉකි ගැහෙන්න ගත්තු නිසා නීතා ඒ ඉකිය වළක්වා ගත්තේ අමාරුවෙන්.
“මං ආයේ ලංකාවට ආවම අම්මලා බලන්න එන්නම්..දවල්ට කෝල් කරන්නත් පුලුවන් ඉතින්, කලන නැති වෙලාවට..”
හිරුණි කියන්නේ නීතාගේ උරහිසක් ආදරයෙන් පිරිමදින අතරේ.නීතා කඳුලක් උරහිසේ පිසදා ගන්න ගමන් තමන්ගේ සැමියා,පාලිත දිහා බැලුවා.
“පුතා, හිරුණි දුවව හොඳින් බලා ගන්න.එයා මැණිකක් වගේ දරුවෙක්.”
පාලිත එහෙම කිව්වේ මොකුත්ම නොකියා බලාගෙන ඉන්න මතීෂ දිහා බලලා.මතීෂ හිනාවකින් නීතාත් පාලිතත් දිහා බැලුවේ ඒ වචන පිළි ගත්ත ගාණට.
හිරුණිත් මතීෂත් යන්න ගියාට පස්සේ නීතා සාලයේ පුටුවක වාඩි වුණේ කඳුළු පිහින ගමන්.ඉස්සරලම හිරුණිව දැකපු දවස එයාගෙ මතකයට ආවා.
“මේ හිරුණි..ගම මාතලේ.කේතලෙන් මල්ලක්.”
කලන කියන්නේ නීතාගේ එකම පුතා.පුතා තමන්ගේ පෙම්වතිය ගෙදර එක්කාගෙන ආව ඒ දවස නීතාට අද වගේ මතකයි.දුවෙක් ලබා ගන්න අවුරුදු ගාණක් උත්සාහ කළත් ඒ සිහිනය සැබෑ නොවුණු නිසා දවසක ලේලි දුවෙක් කර ගන්න නීතා හිතාගත්තේ කලනට අවුරුදු හතක් අටක් කාලෙමයි.
“කේතලේ මල්ල හරි ලස්සනයිනෙ..”
නීතාගේ ආදරයෙන් හිරුණි වැලඳ ගත්තා.ඒ වගේම හිරුණිට ආදරේ කරන්න පටන් ගත්තා.
“ඉක්මනින් වෙඩින් එක ගන්නකො පුතේ..”
ඊටපස්සෙ විවාහයට වැඩියෙන් උනන්දු වුණේ නීතා.ලස්සන උඩරට මනමාලියක් වෙලා හිරුණි පෝරුවේ ඉන්නකොට හිරුණිගෙ අම්මාටත් වඩා ඇඬුණේ නීතාට.
නීතා හිරුණිට තවත් වැඩියෙන් ආදරේ කරන්න ගත්තෙ ඊටපස්සෙ.ගෙදර අලුත් වෙලා අලුත් ඉරක් පායපු හැඟීමක් දැනෙන්න ගත්තේ හිරුණි නිසා.ආදරය සැනසීම එක්ක කාලය ගෙවෙන්න ගත්තේ හරිම වේගයෙන්.
“පුතා එක්ක නෙවෙයිද ආවේ දූ..”
හිරුණි එළවළු මල්ලකුත් අරන් ගෙට ගොඩ වෙනකොට දවසක් නීතා ඇහුවේ පුදුමයෙන්.
“ඔෆිස් එකේ මීටින් එකක්ලු අම්මෙ..”
හිරුණි එහෙම කියාගෙන ගෙට ගියා.
“මොනවද මේ උයන කෑම.ලුණුත් නෑ රහකුත් නෑ..”
අවුරුදු දෙකකට පස්සෙ කලනට හිරුණිගේ කෑම රහ නැති වෙන්න ගත්තෙ ඔය අතර.කලන කෑම පිඟාන අහකට වීසි කරලා නැගිටිනකොට නීතා එතනට ආවේ කඩාගෙන බිඳගෙන.
“ඉව්වෙ මම.ඔයාට රහ නැතුව ගියේ අම්මගෙ කෑම..”
කලන එතකොට කළේ උයන්න කම්මැලිකමට අයිස් ගහනව කියලා හිරුණිට බනින්න පටන් ගත්තු එක.හැරුණත් තමන්ව වැරදිකාරියක් කරන කලන දිහා හිරුණි බලාගෙන හිටියේ වේදනාවෙන්.
“කාටද තමන් එච්චර වෙලා කතා කරේ?”
මිදුලේ ඇවිද ඇවිද දුරකථන ඇමතුමක ඉන්න කලනගෙන් දවසක් නීතා ඇහුවේ කේන්තියෙන්.කලන අම්මා දිහා බැලුවේ ඊට වඩා කේන්තියකින්.
“අම්මට අනුන්ගෙ මඟුල් වැඩක් නෑනෙ.”
ඒ කතාවට නීතාගෙ කෝපය ඇවිස්සුණා.
“අනුන්ගෙ මඟුල් නෙවෙයි.උඹේ මඟුලක් අහන්නෙ.එකපාරම ගෑනියෙක් වැරදි වෙන්නේ නෑ මිනිහෙකුට.ඒවට හේතු තියනවානෙ..”
කලන අම්මා ගණන් නොගෙන ඉන්න උත්සාහ කළා.යමක් වෙමින් පවතින බව නීතාට නොදැනුණා නෙවෙයි.ගෙදර එන්න පරක්කු වෙන කලන;උදේට කුස්සියට එනකොට හිරුණිගේ ඉදිමුණු ඇස්;ඉස්සර වගේ ලස්සනට අඳින්න උනන්දු නැති හිරුණි;වෙනදට වඩා හැඩවැඩ වෙන කලන අනතුරක ලකුණු නීතාට අඟවන්න පටන් අරන් තිබුණා.
“අම්මේ, කලනට වෙන සම්බන්ධයක් තියෙනවා..”
අන්තිමට කුණාටුව හමන්න පටන් ගත්තා.නීතාටත් පාලිතටත් ඒ ආරංචිය දුන්නු හිරුණි ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා.අම්මා කෙනෙක් හැටියට ඒ ආරංචිය නීතාටත් පහසු වුණේ නෑ.ඇය ලේලිය වැළඳ ගත්තේ අඬන ගමන්.
“මම ඩිවෝස් වෙනවා අම්මේ..”
හිරුණි ඉකිය අතරින් කිව්වා.
“ඔව්,දුවගෙ නඩුවට මං වියදම් කරනව.අපේ එකාගෙ වල්කම් වලට දුවගෙ අතේ තියන සල්ලි ඉවර කරගන්නෙ මොකටද?”
පාලිත කිව්වේ කෝපයෙන්.
“දූ, නඩුව ඉවර වෙනකන් මෙහෙ ඉන්න..”
නීතා ඇඬුම අතරින් කිව්වත් හිරුණි ඒ සතියෙම යන්න ගියා.බැඳීම තරමට වෙන් වීම අපහසු බව තේරුම් ගියත් හිරුණිව රඳවා ගන්න බැරි බව නීතා තේරුම් ගත්තා.
“වෙන ඕනම වැරැද්දක් දරා ගන්න තිබ්බා අම්මෙ.වෙන ගෑනියෙක් ලොකුකරගෙන මට ගහන බනින එක දරා ගන්න තරම් මං පරිණත නෑ..”
නඩු තීන්දුව ලැබුණු දවසේ හිරුණි එහෙම කිව්වේ නීතාගෙන් සමාව ඉල්ලන හඬකින්.ඇත්තටම එච්චර ලොකු හේතුවක් ගෑනියෙක් දරා ගත යුතු නැහැ කියලා නීතාත් දන්නවා.
“දැන් අර කෙල්ල ගෙදරින් එලෝ ගන්න හේතු වුණු එකී එන්නෙ නැද්ද මෙහෙට..”
තනිකම දරන්නම බැරි දවසක නීතා කලනගෙන් ඇහුවා.ඒත් ඔහුගේ පෙම්වතියටත් තවම ලෙහුණේ නැති පවුලක් ඇති බව නීතා දැන ගත්තේ හිරුණිගෙන්.
“අම්මා,මං ආයේ මැරි කරනව..”
හිරුණි ඒ ආරංචිය කියන්න ඇමතුමක් දුන්නු වෙලාවේ නීතාට දැනුණේ තමන්ගේ වස්තුවක් අනුන් උදුරා ගත්තා වගේ හැඟීමක්.විවාහයෙන් පස්සේ වෙනත් රටකට යන බව කියන්න තමයි හිරුණි අද ආවේ.
ආදරය ගැන හීන ගොඩක් පුරවාගෙන ඇවිත් කටු ඔටුන්නක් ඉතුරු කරගෙන ඒ ගෙදරින් එළියට බැස්සත් තාමත් මල් සුවඳක් වගේ නීතාගේ ආදරය තමන් ළඟ දැවටීම ගැන හිරුණිට දැනුණේ සතුටක්.
“සාම්ප්‍රදායික නැන්දම්මලා ඉන්න ලෝකෙක කලනගෙ අම්මලා වගේ අම්මලත් ඉන්නව නේද හිරූ..වෙන අම්මෙක් නම් පුතා පිට ගියෙ උඹේ වරදින් කියල ලේලිව කන්න යනවනෙ.ඒ විතරක් නෙවෙයි දික්කසාද වෙන්න වුණේ මං හින්දා කියල අලුත් කතාවකුත් හදලා පතුරයි..”
මතීෂ රිය ධාවනය කරන්නේ එහෙම කියමින්.
කලන වගේ රැව්ටිලිකාර මනුස්සයෙක් වෙනුවෙන් නාස්ති වුණු අවුරුදු පහ ගැන කේන්ති එනකොට හිරුණි නීතාගේ ආදරය ගැන ආයෙම මතක් කළා.
“අදුරු වළාවේ රිදී රේඛා කියන්නේ ඒ අම්මා වගේ අයට”
ඇය හිතුවේ ඇස් පියන් අගට ආව කඳුලක් පිහින අතර.