මං ඇහැරුණේ මාධවීගෙන් ආව හදිසි ඇමතුමට.නිදිමතේ දුරකථනය අතට අරගෙන වෙලාව බලනකොට පාන්දර තුනත් පහුවෙලා කියලා මං දැක්කා.මම ෆෝන් එකත් අරන් සාලෙට ආවේ හොඳටම නිදාගෙන ඉන්න තරිඳුටත් චූටි පුතාටත් බාධා නොකර.
මේ කාලයේ රෑට එන හදිසි ඇමතුමක් කියන්නෙ පපුව නතර වෙන වැඩක්.මම ඇමතුමට සම්බන්ධ වුණේ ගැහි ගැහී.
“අනේ සුලෝ..මම නරක හීනයක් දැක්කා.”
මාධවීගේ හඬ ඇඬෙන්න ඔන්න මෙන්න ගාණයි. පාසල් කාලයේ ඉඳන් තාමත් නොකැඩුණු අපේ යාලුකම රෙසිපියක් වැරදීම, නරක හීනයක් දැකීම, හස්බන්ඩ් එක්ක දාගන්න වලියක්, බබෙක්ගෙ ඇඟ රත් වීමක්, පාටියකට ඇඳුමක් තෝරා ගැනීම දක්වා විවිධ පරාසයන්ට දිවෙනවා.ඉතින් මේ ඇමතුම බැහැර කරන්න මට බෑ.
“මට මැරෙන්න බයක් ආවා සුලෝ..”
මාධවී කියන්නේ ඇඬුම් හඬකින්.
“හැමතැනින්ම ඇහෙන්නේ පොසිටිව් වෙන කතා.හැමතැනම මරණ.අපේ වයස්වල අයත් මැරෙන්න අරන්.අම්මලා දරුවෝ තනිකරලා මැරෙන්න අරන්.මට බයයි සුලෝ.මං මැරුණම මගෙ කෙල්ලව බලාගන්නෙ කවුද?”
මාධවී කම්පාවෙන් කියවාගෙන යනවා.ලෝකය වසංගතයක ගිලී යනකොට ඊට සාපේක්ෂව මිනිසුන්ගේ මානසිකත්වය දැඩි ලෙස අවුල් යන බව මට මතක් වුණේ ඒ කතාව එක්ක.
“මාධවී,අපි තාම ජීවත් වෙනවා.අපේ ආරක්ෂාව ගැන හොඳටම සැලකිලිමත් වෙලා අපි තාම පරිස්සම් වෙනවා.ගේ ඇතුළට ආවේ නැති කරදරේ ගැන හිතලා අඬනකම් තාම අපි පරිස්සම් කියලා සතුටු වෙන්න බැරි ඇයි?”
මම ඇහුවේ තදින්.අපි හැමවෙලාවෙම දුක ගැන වද වෙමින් සතුටු වෙන්න තියන තත්පරයක් පවා අහිමි කරගන්න මිනිස්සු.හැම තිස්සෙම දුක විකුණමින් ගොඩ යන රටක මිනිස්සු.
“නිව්ස් වල මරණ ගැන කියනවා.ෆේස්බුක් එක පුරා මිනිස්සු තමන්ගෙ දුක ලියනවා..මට හැමතැනම පේන්නේ වේදනාව.”
මාධවී ආයේම කියන්නෙ හීල්ලුම් හඬකින්.
“දොර ඇරගෙන පොඩ්ඩක් එළියට යන්නකො.අහසේ තරු තියනවා.ඒ තරු දිහා බලාගෙන ඉන්න.බලාපොරොත්තු තාම නැති වෙලා නෑ කියලා මතක් කරගන්න..”
මම මාධවීට කිව්වේ මේ වෙලාවෙ මතක් වුණු හොඳම කතාව ඒක නිසා.පුංචි කාලයේදී පාසල් පුස්තකාලයෙන් අනිවාර්යයෙන් කියවන පොතක් තමයි ‘පොලියානා’.ඒත් අපිට පොලියානාගේ සතුටු වෙන සෙල්ලම අමතක වෙලා ගිහින්.ඒ වගේ කාරණා මතක් කර ගන්න ඕනෑ මේ වගේ භීම සමයකදි කියලා මං හිතුවා.
“නිව්ස් වල මරණ ගැනයි දුක ගැනයි නිතරම කියනවා.පැයකට මරණ මෙච්චරක් වෙනවා කියලා කියනවා.ඇයි අපිට බැරි ඒවා නොබලා ඉන්න.අපිට පුලුවන් මධූ අත්‍යවශ්‍ය ප්‍රවෘත්ති ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න.මරණ ගාණ ගැන අප්ඩේට් වෙන්න ඒ මාලිංගගෙ විකට් ගාණ නෙවෙයිනෙ මධූ..නේද?”
මානසික සෞඛ්‍ය පිරිහෙන තරමට අපිට අසනීප වීම වේගවත් කියන පාඩම මාධවීට උගන්වන්න මට ඕනෑ වුණා.මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම ඕනෑම කාලයකදි වැදගත්.මේ වගේ කටුක කාලයක මානසික සෞඛ්‍ය කෑමබීම තරමටම වැදගත්.
“මිනිස්සු හැමවෙලේම එවන වට්සැප් වල,මැසේන්ජර් වල හුස්ම අදින ,මැරෙන වීඩියෝ දැක්කම ඔලුව ගිනි ගන්නව සුලෝ..”
ඒ අනිත් කාරණාව.වෙන රටක හෝ වීඩියෝ එකක් හොයාගෙන අතිශය දුක්බර ගීතයක් පසුබිමට යොදලා ටික්ටොක් වීඩියෝ හැදීමෙන් මිනිස්සු කවදා වැලකෙයිද මන්දා.
“ඒ හැමෝවම බ්ලොක් කරන්න මදූ.මාරක පණිවිඩ යවන එකෙන් කාටවත්ම සහනයක් වෙන්නේ නෑනෙ..”
මං කිව්වේ කරන්න තියන පහසුම දේ.
“බබාලා වුණත් ඉන්නෙ ස්ට්‍රෙස් එකේ.එයාලා බීච් එකට පාක් එකට දැන් කී කාලෙකින් ගිහින් නැද්ද..අපි මානසිකව වැටුණම ඒක එයාලටත් නරක විදියට බලපානවා මධූ..”
හිතේ සැනසීම තියා ගන්න කරන්න පුලුවන් දේවල් මධූට මතක් කරන ගමන් මම කිව්වා.මධූ හෙමින් සැරේ හුස්ම ගන්න හඬ ඇහුණේ ඊටපස්සේ.ගොඩක් දේවල් කතා කරලා අද දවල් චූටි පුතා කරපු දඟ වැඩක් කරලා හිනා වෙලා මම ඇමතුම අවසන් කළේ මාධවී පුලුවන් තරමට සන්සුන් කරලා.
“තේ ටිකක් බොමුද?”
තරිඳු ඇවිත් කියනකොට වෙලාව උදේ හතරටත් කිට්ටු බව මම දැක්කා.තේ හදන අතරේ තරිඳු එක්ක මාධවීගේ භීතිය ගැන කියන්න මට හිතුණා.
“ඔයා පරිස්සම් වෙන්න පුලුවන් උපරිමෙන් මහන්සි වෙන හැටි මං මේ අමාරු කාලය තිස්සෙම බලාගෙන හිටියා.ඒ වුණාට සුලෝ ඔයා කවදාවත්ම බය වෙන්නේ නෑ.හිත වට්ටා ගන්නේ නෑ.මට ඒ ගැනනම් දැනෙන්නේ පුදුම සතුටක්..”
තරිඳු මාව වැලඳ ගත්තේ එහෙම කියන ගමන්.
“මුල ඉඳලා අඬ අඬ ඉන්න ගිහින් ඇත්තටම අඬන්න වෙලාවක් ආවොත්..අපි කොච්චර කාලයක් බයෙන් වේදනාවෙන් ඉඳලද තරිඳු.”
මං කිව්වේ හිතට ආව ඇත්තම හැඟීම.
“පුලුවන් තරම් පරිස්සම් වෙමු.අපිට බේරෙන්න බැරිකමක් නෑ..”තරිඳු එහෙම කියන්නේ ආදරයෙන්.
“බඩගින්නට ඇහැරුණාට මං තව ටිකක් නිදා ගන්නව හොඳේ..”
තරිඳු එහෙම කියාගෙන යන්න නැගිට්ටා.
“මං නම් චිත්‍රයක් අඳින්න හිතුවේ.පාන්දර කොච්චර සන්සුන්ද? මට අලුත් අයිඩියා එකකුත් ආවා..”
මම කිව්වේ අලුත් හුස්මක් ගන්න ගමන්.ගෙදරටම කොටුවෙලා ඉන්න මේ කාලයේ අනාගත හීන අමතක කරන්න හොඳ නැහැ.අනාගත සැලසුම් අහකට විසි කරන්න සුදුසුම නෑ.
“මාස්ක් අහකට විසි කරලා ආයෙම මිනිස්සුන්ට එකතු වෙලා සතුටින් ඉන්න කාලයක් ඉක්මනින් එයි තරිඳු.අන්න එදාට මගේ එක්සිබිෂන් එක කරන්න මම ලෑස්ති වෙන්න එපැයි.”
තරිඳු මුළුතැන්ගෙයින් එළියට ගියේ මට හාද්දක් දීගෙන.
“ඔයා හරි ස්මාර්ට් කෙල්ලක් සුලෝ..”
මට ඒ වචන හරියට වටිනවා.වැටෙමින් බියට පත් වෙමින් දුක ගැනම නොහිතා මේ වගේ කරදරකාරී කාලයකත් හිනා වෙන්න උත්සාහ ගන්න.කාලය නරක බව අපි ඔක්කොම දන්නවා.ඒ නිසා ඒ වේදනාවම ආයේ ආයේ මතක් නොකර හිනා වෙන හේතුවක් හොයා ගන්න.
කටුක කාලයක් පවා පතොක් මලක් වගේ පිපෙන්න හේතුවක් කියලා අමතක නොකරන තාක් අපි හැමෝම ස්මාර්ට් ගැහැනු තමයි!