Stretch Marks නැති සුන්දර සමක් ඔබටත් අවශ්‍ය ද?

කෙනෙකුගේ ලස්සන පෙනුම ආරක්ෂාකරන්න නිරෝගී සමක්  ඕනෙමයි. විශේෂයෙන්ම Smart Lady කෙනෙක්  හැටියට ලප කැළැල් නැතිව, සමේ පැහැපත්කම ආරක්ෂා කරගන්න ඔබ ඉතා වගකීමෙන් කටයුතු කරන බව නිසැකයි.

විශේෂයෙන් ම දරු ප්‍රසූතියෙන් පසුව, එසේත් නැත්නම් තරබාරු වී හිඳ පසුව සිරුර සිහින් වූ විට, ඔබේ සමෙහි සිදුවූ ඇදීම නිසා ඇතිවන ස්ට්‍රෙච් මාර්ක් ඔබේ සුන්දරත්වයට ඇත්තට ම බාධාවක්.

වෙළඳපොළට නොයෙකුත් වෙළඳ නාමවලින් බොහෝ ආලේපන වර්ග මේ සඳහා ඔබට හමුවෙලා ඇති. ඇතැම් ආලේපන වර්ග ඔබ මේ වනවිටත් අත්හදාබලලත් ඇති. සමහරවිට වැරදි තෝරාගැනීම් නිසා ඔබ මට්ටු වුණ අවස්ථාවන් පවා ඇති. ඒ කොහොමවුණත් කෘතිම ආලේපනවලට වඩා ස්වභාවික පරිසරයෙන් ඔබ හඳුනාගන්නා සමහර ඖෂධීය ගුණ සපිරි ද්‍රව්‍ය ඔබේ සමේ මතුවන ලප – කැළැල් ඉවත්කර දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් වැඩි කාලයක් ලබාදෙන්නට සමත් වේවි.

සම අවපැහැගන්වන ස්ට්‍රේච් මාර්ක්ස් නැතිකරගන්න, සමේ වියළි බව නැති කරගන්න, සම රැලි වැටීම පාලනය කරගන්න, පැහැපත්බව, පිරිසිදුබව වගේම සිනිඳුබව ආරක්ෂා කරගන්න ඔබට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි පිළියම් බොහෝ තිබෙනවා.  මේ එයින් කිහිපයක්.

දෙහි යුෂ 

දෙහි යුෂ ස්ට්‍රෙච් මාර්ක්ස්  නැතිකරන්නට යොදාගත හැකි පහසු සත්කාරයක්. එහි ඇති ස්වභාවික ඇසිඩ් ගතිය තුළ මෘදු බ්ලීචිංකාරකයක් අන්තර්ගතයි. ස්ට්‍රෙච් මාර්ක්ස් මත දෙහි ලෙලි කැබැල්ලක් අතුල්ලා මිනිත්තු 10කින් පමණ සෝදාහරින්න.

බිත්තර සුදුමදය

බිත්තරවල අඩංගු ප්‍රෝටින මඟින් සමේ ඇදෙනසුළුබව වැඩිකරවනවා. බිත්තර දෙකක සුදු මද හොඳින් ගසාගෙන එම පැල්ලම් මත තවරා වියැලුණු පසු ඇල් ජලයෙන් සෝදා හරින්න. වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්නට නම් දිනකට වරක් මේ සත්කාරය සිදුකරන්න.

ඔලිව් තෙල්

සමේ පිරිසිදුකම, පෝෂණය, තෙතමනය ආරක්ෂා කරන්නට ඔලිව් තෙල් කදිම සත්කාරයක්. සමේ කොලජන් වර්ධනයටත්, ලේ ගමනාගමනය විධිමත් කරන්නටත් ඔලිව් තෙල් ඉතා සුදුසුයි. දිනපතා මඳක් රත් කළ ඔලිව් තෙල් ස්වල්පයක්  එම පැල්ලම් මත ගල්වා සම්බාහනය කරන්න.

කලු තේ

කලු තේවල විටමින් බී 12 සහ ඛණිජලවන බහුලවම අඩංගුයි. එයට සමේ ඇතිවන අවපැහැගැන්වීම් වැළැක්වීමේ හැකියාව තියෙනවා. නටන උණු ජලයේ කලු තේ මේස හැඳි 2ක් දමා ලුණු ස්වල්පයක් ද ඊට එක්කරගන්න. මෙම දියරය ස්ට්‍රෙච් මාර්ක් මත ගල්වා මිනිත්තු 15ක් පමණ තබා සෝදා හරින්න.

අල යුෂ

අල යුෂවල නිරෝගී සමකට අවශ්‍ය විටමින් සහ ඛණිජලවණ බොහෝ අඩංගු වෙනවා. තරමක් මහත අල පෙති කැබැල්ලක් ස්ට්‍රෙච් මාර්ක්ස් මත අතුල්ලා එහි දියර ස්වභාවය වියළීමෙන් පසු මඳක් උණුසුම් ජලයෙන් සෝදාහරින්න.

කෝමාරිකා

සමේ ගැටළු බොහොමයකට සාර්ථක ප්‍රතිඵල ලබා දෙන කෝමාරිකා ස්ට්‍රෙච් මාර්ක්වලටත් කදිම විසඳුමක්. සම සිසිල් කිරීම, තෙතමනය රැකදීම හා සමේ ඇදෙනසුළුබව ඇතිකිරීමට කෝමාරිකා යුෂ යොදාගන්නට පුළුවනි. එහි ඇති ජෙලි සහිත කොටස සම මත ගල්වා හොඳින් වියැළුණු පසු සෝදාහරින්න.

කොකෝවා බටර්

කොකෝවා බටර් ඔබේ සමේ ඇතිවන රැලිසහිත බව පාලනය කරන්නට යොදාගන්නට පුළුවනි. දවසට දෙවරක් කොකෝවා බටර් ආලේප කර ස්ට්‍රෙච් මාර්ක් ඇති තැන මෘදුව සම්බාහනය කරන්න. මාස දෙකක් පමණ ගත වූ පසු ඔබට සැබෑ ප්‍රතිඵල දැගන්නට ලැබේවි.

ස්ක්‍රබ් කිරීමෙන් පමණක් ඔබට සමේ ඇති ස්ට්‍රෙච් මාර්ක් මකා ගන්නට අපහසුයි. නමුත් ස්ක්‍රබ් කිරීමෙන් අලුත් සමක් වර්ධනය වීම ඉක්මන් වෙනවා. මේ නිසා අලුත් සම වැඩෙනවිට ටිකෙන් ටික ලප කැලැල් ස්වභාවිකව ම මැකී යනවා. මේ නිසා සීනි, ආමන්ඩ් තෙල්, සහ දෙහියුෂ ස්වල්පයක් එකට මිශ්‍ර කර ඒවා සමේ ස්ට්‍රෙච් මාර්ක් මත ගල්වා හොඳින් සම්බාහනය කිරීම මගින් මැරුණු සම ඉවත්කිරීම වේගවත් කරගන්නටත් ඔබට පුළුවනි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles