fbpx

රණ්ඩුදබර.

සුදාරිලැයි වත්තේ වැවිච්ච රඹුටන් ගහේ අතුවලින් බාගෙයක්ම තියෙන්නේ අපේ වත්තේ. රඹුටන් කාලෙට මායි සුදාරියි එව්වා බෙදාගන්නේ බාගෙ බාගේ. එයා හරි හීනියි. පොඩියි. බඩත් ඒ සයිස්ම ඇතිවෑ. ඒ වුණාට කෑම නම් ඉතිම් එයාට වඩා සෑහෙන උස මහත මට වඩා වැඩියි. වැඩියි කිව්වේ රඹුටන් කන්න. මගේ බාගෙනුත් ඉල්ලන් කන්න සුදාරි හපනි. 

ඉස්කෝලේ ඇරිලා අපි දෙන්නා දුවගෙන එන්නේ පයින්ම තමයි. වෑන් වලින් යන්න තරම් දුරක නෙමෙයි ඉස්කෝලේ. උදේට නම් තාත්තලා දෙන්නායෙන් කෙනෙක් අපිව බස්සගෙන යනවා. එද්දි මෙහෙම එන්න අපි ආසයි. ටිකක් පරක්කු වුණාට අම්මලා බලන් ඉන්නෙත් නැහැ වැඩියෙම. 

මොකද ඉතින් වැට දෙපැත්තට වෙලා රටේම තියෙන දෙහි ටික කපාගන්න අම්මලටත් වෙලාව දෙන්න එපැයි. අපි දෙන්නා පරක්කු වුනාම බැන්නට මොකද අම්මලත් හිත යටින් ආසයි අපේ යුද්දේ පටන්ගන්න කලින් ටිකක් කතාබහ කරලා, රටේතොටේ විස්තර දැනගන්න. 

“යස රටතොට! අනේ මගේ කට!” 

තාත්තා නිවුස් බලද්දි, අම්මා ඇවිත් ඒක ගැන කලිම්ම දන්නවා කියනකොට තාත්තා හිනාවෙනවා. එතකොට අම්මා කියනවා නේ “මේ ගෙදර ගෙම්බා වගේ හිටියට රටේතොටේ විස්තර මමත් දන්නවා” කියලා. එතකොට තමයි තාත්තා එහෙම කියන්නේ. 

“යස රටතොට! අනේ මගේ කට!” 

එතකොට අම්මාට ටිකක් තරහා යනවා. 

අපේ අම්මට වැඩියෙම තරහ යන්නෙත් නැහැ. මට වුනත් සැරවැර අඩුයි. ඒත් අම්මට වැඩියම තරහා ගියේ සුදාරිලෑ අම්මා එක්ක දවසක් නොහිතපු විදිහට. 

එදා අපි ටිකක් කලින් ආවද මන්දා. එනකොට අම්මලා දෙන්නා මග බලන් හිටියා හැබැයි දෙපැත්තකට වෙලා. මූණත් මොකක්ද කරගෙන. 

“ඇයි අම්මේ?” 

මම ඇහුවාම අම්මා අහක බලනවා. සුදාරිත් එයාගේ අම්මගෙන් මේකම අහනවා. නිරූපා නැන්දත් නෑ උත්තර. 

“සුදාරී…හවස…ට..” 

ඒක කියන්න කලින්ම අම්මා ඇද්දනේ මගේ අත. අරගෙන දැම්මා ගෙට. 

“ආව්වා! ඇයි අනේ මේ!?” 

“ඕන්නෑ ඕකුන් එක්ක සෙල්ලම් ආයි!” 

ආයි කිව්වේ, ආයි කවදාහරිම යාලුවෙයි නේ බලාගෙන දැන් අපි දෙන්නා දෙපැත්තක. ඉස්කෝලේ දී හම්බෙලා කරන කතාවයි, ගේ වැට පේනකොට කසාය බීපු ගොලුවො  ගානට දෙපැත්තකට වෙලා ගෙට වදින එකයි එක්ක කාලේ ගෙවෙනවා ඔහේ. 

අහන්නේ හේතු ද? අපිට කියන්නෑනි ඔව්වා. 

හැබැයි මෙහෙම එකක් තිබුනා. 

අපේ තාත්තාගේ මල්ලි ඉන්නේ, මගේ බාප්පා. එයා බැන්ඳානේ. බැඳලා අවුරුද්දකින් විතර කසාදේ කටුගෑවා ලු. කටුගෑවා කියන්නේ කටු ගහනවා වගේ එකක් ද? මොකක් හරි කටු ගහන එකක් නම් තමයි ඉන් පස්සේ බාප්පා ගෙදර ආවම හිටියේ කටු තොගයක් ගිලලා ගානට. තාත්තයි, ආච්චියි , නැන්දයි දෙස් තියන තියන ගානේ. 

ළඟදි තිබුනා අපේ ගෙදර දානයක්. එහෙම තියෙනවා නේ ගෙවල් වල. මටත් මතක නැහැ මොකටද කියලා. මම දානේ ගෙදරට ආස කට්ටිය එන නිසයි, වෙනදාට වඩා රහ කෑම නිසයි. අනිත් එක සෙල්ලම් කරන්න පුළුවන් රෑ එළිවෙනකනුත්. එදා රෑ හැංගිමුත්තම් කරන්න ගියාම තමයි මට මතක, සුදාරිලෑ අම්මාගේ නංගි, ඒ කියන්නේ සුදාරිගේ පුංචි, තාම එයා කැම්පස් එනකන් ඉන්නවා ද කොහේද. අපේ බාප්පා ඒ පුංචි එක්ක කතාකර කර හිටියා. 

ඉතින් කතාකරන එක වරදක් යෑ! එකම දේ එයාලා හිටියේ සෙනඟ නැතිම තැනක. පුංචියි බාප්පයි හිනාවෙවී හිටියේ. අපි එතනට කඩා වැටුනාම ඒ දෙන්නා ටිකක් කලබල වෙලා බාප්පා එතනින් ගියා. පුංචි නම් අපි එක්ක සෙල්ලමට ආවා. 

එදායින් පස්සෙන්දා තමයි මෙහෙම අම්මලා තරහාවුනේ. 

“දික්කසාද වුණාද ඌ අපේ එකා. අනික ඔය දීගේ කැඩුනෙත් අපේ එකාගේ වරදකින් නොවුනකොට, මොකටද දොස්! මල්ලිට බැරියෑ හොඳ තැනකින් කසාදයක් කරගන්න ආයි.” අම්මා බැන බැන එහෙට ගියා.

“ඒ අස්සේ…” ටිකක් සද්දෙත් වැඩි කරලාම, ” මහ රෑ කලුවරේ දීග ඇරපු මෝරච්ච පිරිමි එක්ක මුකුළු කරන්නෑ අපේ හත්මුතු පරම්පරාවෙ කෙල්ලෙක් නම්!” 

අම්මා ආයෙි බැන බැන මෙහෙට ආවා. එහෙමම සේරම අතෑරියේ නැතැයි තාත්තාගේ කනට මොන මොනාද. තාත්තාටත් හොඳටම තරහා ගිය එකයි ඒකෙන් වුනේ. දැන් මායි සුදාරියි ඇරෙන්න ගෙවල් දෙකේ අනිත් කට්ටිය කතා නෑ. ආ සුදාරිගේ සුදු පූසයි, මගේ සම්බෝල පූසයි දෙන්නත් කතාකරනවා. 

ඔන්නොහොම අපි මාස ගාණක්ම අල්ලපු ගෙදර එක්ක තරහා වුනා. ඉතිම් අපි දෙන්නාට වුනේ හරිම ඇබැද්දියක් තමයි. වෙනදා වගේ සෙල්ලම් නැහැ. වත්තේ පළතුරු බෙදාගන්නේ නැහැ. රඹුටමුත් නැහැ. අම්මලා කතා නෑ. තාත්තලා මූණ බලන්නෑ. මම අහන්නේ මේ ලොකු අයගේ ප්‍රශ්න පත්තර පොඩි අපිට තේරුමක් නෑ. බාප්පයි පුංචියි අතරේ කතාවකට පවුල් දෙකක්, අනේ මේ දවස ගානේ කන කෑමත් බෙදන් ඉන්න පවුල් දෙකක් තරහවෙන්නම ඕනි ද?

“අනේ මන්දා සචිනි. මට නම් දැන් එපාවෙලා.” ඉන්ටවල් එකේ අපේ කතාබතා කරන ලොකු සියඹලා ගහ යටට වෙලා සුදාරි කියනවා. “දැන් මාසයක් නේ අම්මලා තරහිම්. දැන් ඇති අප්පා!”

මටත් ඉතින් ඒකම තමා කියන්න තිබුනේ. ඒත් අපි දෙන්නා තාම බයේ තමා ඉස්කෝලෙත් කතාකරන්නේ. මොකද මම මොනාහරි සුදාරිට කියයි කියලා අපේ අම්මා මාව මෙහෙන් බය කරනවා. නිරූපා නැන්දා සුදාරිව එහෙන් බයකරනවා. තාත්තලා නම් එදායින් පස්සේ මොකුත් කිව්වේ නෑ. ඒත් දවසක් මට ඇහුණා අම්මට කියනවා, සුදාරිලෑ ගෙවල් පැත්තේ මාය යවනවා එහෙම නෙමේ කියලා. අනේ මන්දා මේ තාත්තත්!

එහෙම ඉන්නකොට මට අදහසක් ආවා!

“සුදාරි!” 

“ඇහ්?”

“මේ, අපි මෙයාලාව යාලු කරවමුකෝ.”

ඔන්න සුදාරිගේ මූණත් හඳ වගේ එළිය වුනා. “අපොයි, මේකට මාසයක්ම ගියා ද අපිට!” එයා කියනවා.

“කොහොමද කරන්නේ?”

“එන්නකෝ මම කියන්න”, එහෙම කියපු මම මගේ ඔලුවට ඉබේ වැටිච්චි අදහස කිව්වා. ඒක නම් නියම අදහස තමයි! මං කියන්නේ ඔව්වා එන්නෑනේ ගණන් වලදි එහෙම. ශ්‍රීමා මිස්ගෙන් ටොකු කාලාම ද කොහෙද දැන් මගේ මොළේ ටිකක් හොඳයි වගේ දැන්.

ඉතින් අපි එදා හවස ගෙදර ගියා. 

අම්මලා දෙන්නා ඉන්නවා වැට ගාව දෙපැත්තේ. ඔන්න අපි ගෙවල් ළඟට ආවා. ගෙවල් දිහාට හැරුනා.

“මම නම් ආයේ ඔයාව මගේ හොඳම යාලුවා තියා මොනම යාලුවෙක් කියලාවත් කියන්නෑ සචිනි!”

“අනේ මේ සුදාරි, ඔයා කියන කියන එක කරන්න මම බැඳිලා නැහැ නේ. මම කරන්නේ මට ඕන දේ.”

තරහින්ම නැවතුන සුදාරි මට ඇඟිල්ල දික්කලා. අම්මලා දෙන්නා අපි දිහා බලාගෙන පුදුමෙන්!

“කවුරුවත් කාටවත් ඕනේ දේ කරන්න ඕන නෑ. ඒත් ඔයා කරපු වැඩේ වැරදියි!”

“හහ්! ඔයාට විතරයි හොඳ වැඩ කරන්න පුළුවන්. අපි කලාම වැරදියි. අනේ මේ සුදාරි…”

එහෙම කියාගෙන පැනපු මම සුදාරිට දෙන්න ගත්තා හොඳවැයින් පාරක්. මට පොඩියි නේ එයා. ඉතින් තල්ලුත් කලා.

“හා හා ඔය මොකද සචිනි, නවත්තන්න දුව!”

“අනේ මොකද මේ ළමයි! අල්ලගන්න සුමේධා දුවව!”

අම්මලාට අපිව දෙපැත්තට කරන්න හොඳ මහන්සියක් ගන්න වුනා. සුදු ගවුම් වල දුඹුරු දූවිලි නාගෙන, කොණ්ඩ පටි ලෙහාගෙන අවුල් කරගෙන, දාඩිය පෙරාගෙන අපි දෙන්නා හති දැම්මා.

“මොකාද දුව වැහුනේ!?”

අම්මා මට බනින්න ගත්තා. 

“මෙයා මට කියනවා එයා තරහා එක්කෙනෙක් එක්ක තරහා වෙන්න ලු. එයා තරහා නිසා. ඒත් මට ඒ කෙනා වරදක් කරලා නැහැ නේ. මට ඕනේ නැහැ එයා කියන කියන එකට නටන්න.”

මම කිව්වා. අවස්ථාවේ විදිහට, පොඩි ඇඬුමක් එක්කම. 

“ඒ වුණාට මම ඒ ළමයා එක්ක තරහයි නම් සචිනිත් තරහාවෙන්න ඕනේ නේ.”

සුදාරි කිව්වා.

” අනේ ළමයෝ, එහෙම එකක් නෑ. කවුරු මොනා කිව්වත් මොනා කළත් තමතමන්ගේ යාලුකම් තියාගන්න එක තමන්ගේ වැඩක්!”

නිරූපා නැන්දාට හිනාවකුත් ආවා. අම්මත් බැලුවේ නැන්දා දිහා.

“ඒකනේ නිරූ. අනිත් දේ තමයි, ඔය පුංචි කතාබහ වලින් යාලුකම් නැතිකරගන්න එපා. ඔයාලා දෙන්නා හොඳම යාලුවෝ නේ.”

අපේ අම්මත් අතෑරියේ නෑ.

අපි දෙන්නා බොහොම කෙළින් හිටගත්තා. අම්මලා දෙන්නා දිහා වෙන වෙනම බැලුවා.

“ඉතින් අර පුංචියි බාප්පයි කතා කර කර හිටියැයි කියලා ඔයාලා තරහාවුනේ මාසයක්ම. අපිට බැයි ද?”

මම ඇහුවේ ඇත්තටම වගේ. ඇත්තටම තමයි ඉතින්. 

එතකොට සුදාරිත් ඒකට පෝර දානවා.

“වෙන අය නිසා නේ අපේ යාලුකමුත් නැති වුනේ.”

“ඒක වෙනස් නේ පුතේ…”

“අපේ ළඟම අය නිසා නේ…”

“ඒ වුනාට වෙන අයනේ. අපි අපි නෙමේ නේ.”

මම මැද්දට පැන්නා. ගෑනු ළමයි මැද්දට පනින්න හොඳ නෑ කියලා මතක්වුනේ පස්සේ. ඇත්තටම එහෙම ද? අවසර නොඉල්ලා මැද්දට පනින එක වැරදියි තමයි. එක එක කාලෙට එක එක අය එක එක කතා එක එක විදිහට ගොතනවා. අපි ඒවා පිළිපදිනවා. ඒ උනාට මට හිතෙන්නේ අපිට පුළුවන් ගොඩක් දේවල් ප්‍රශ්න කරන්න. තීරණ ගන්න. කාටහරි එකෙන් හොඳක් වෙනවා නම් අයි පරණ දේටම හැමවෙලාවෙම ඇලිල ඉන්නේ?

“අම්මලා කියන නිසා අපි සෙල්ලමට නොයා ඉන්නවා. ඒත් අපිට ඒක ලොකු දුකක්!”

සුදාරි මගේ කර වටේ අත දාගත්තා. අපි දෙන්නා, අලියයි කූඹියයි වගේ.මේ දැකපු අම්මාටත්, නිරූපා නැන්දාටත් බකස් ගාලා හිනා ගියා. හිනා කියන්නේ, අත් අල්ලන්ම හිනාවුනා. 

“අනේ පණ්ඩිත කෙල්ලෝ!” කිය කිය දෙන්නාට දෙන්නා මූණ බල බලා හිනාවුනා. පෙරළි පෙරළි හිනාවුනා.හවස ගෙදර ආවාම තාත්තලා දෙන්නත් ඒකට අඩු නැතුව සම්මාදම් වුනා නේ!

කොහොමහරි, දැන් රඹුටන් වාරේ. සුදාරිගේ හීනි බඩට වඩා මගේ මහත බඩ⁣ට කෑම ඕනේ කියලා කිව්වට මොකද තාම රඹුටන් කන එකෙන් සුදාරිව පරද්දන්න මට බැරි හැටි!

පියුමි කාවින්දි 

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x