නරක ළමයි.

“ඔය ළමයි දෙන්නා මොකද ඔය ළං වෙලා කුටු කුටු ගාන්නේ”

කමනි ඇහුවේ පාඩම අතරමැද මේසෙට ඔළුව ඔබාගෙන කියවන ස්නේහාගෙනුත් මල්මිගෙනුත්.මල්මි ඉක්මනින් නැගිට්ටේ ගුරුතුමීගේ මුහුණ එච්චර හොඳ නැති නිසා.

“ස්නේහාගේ ඔළුව රිදෙනවලු මිස්.ඊයේ රෑ වෙනකම් පාඩම් කරාලු..”

මල්මි එහෙම කියනකොට පන්ති කාමරයේ කෙළවරකින් වේදනා නාශක ආලේපයක් ස්නේහලාගේ පැත්තට ආවා.මල්මි බාම් ටිකක් අතට අරගෙන මිතුරියගේ නළලේ ආලේප කළේ ස්නේහා ඉන්නේ ඇත්තටම අමාරුවෙන් හින්දා.

“ඔය මොකද කරන්නේ මල්මි?”

කමනි ටීචගේ සැර හඬට මල්මි උඩ ගිහින් බිම වැටුණා.

“ඕක ස්නේහා ගාගත්තාවේ.නාඩගං මඩුවක් නෙවෙයිනෙ මේක.යාලුකමේ සීමාවල් තියාගන්නවල.දැන් දැන් ලෝකෙ තියන අලුත් නාඩගං අපි දන් නෑ කියලද හිතේ.මානසික විකෘතිකයෝ වෙන්න එපා..”

ස්නේහාගේ ඔලුවේ කැක්කුම තවත් වැඩි වුණේ ඒ කතාවට.ඩෙස්ක් එකේ මුහුණ ඔබා ගත්තු ස්නේහාට වගේම ලැජ්ජාවෙන් අහක බලාගත්තු මල්මිටත් පාඩමේ කිසිම දෙයක් සිහියේ රැඳුණේ නැහැ.

චේතනා මිස් පන්තියට ආවේ මල් හිනා ඉහිරවාගෙන.හොඳටම ඇස් රතු කර ගත්තු මල්මිත් ස්නේහාත් දිහා චේතනා මිස් බැලුවේ කුතුහලයෙන්.

“මොකෝ..ඉඳිකට්ටයි නූලයි රණ්ඩුවක් අල්ලලද?”

ස්නේහාට ආයේ ඇඬෙනකොට මල්මි හේතුව කියාගන්න සමත් වුණා.

“කමනි මිස් මොකක් හරි කේන්තියකින් ඉන්න ඇති පුතේ.හොඳම යාළුවව අක්කා කෙනෙක් වගේ බලා ගන්න එක කොච්චර දෙයක්ද?”

රිදිලා තැලුණු හිත් දෙකකට මල් වැස්සක් ඉහිරවාගෙන චේතනා මිස් පාඩම පටන් ගත්තා.

කමනි මිස්ට හැමදාමත් තමන්ගේ සිසුවියන්ගේ ඇද පෙනුණේ ඔවුන් ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරියෝ වගේ.ඇය බොහොමයක් දේවල් දිහා බැලුවෙ සාම්ප්‍රදායික විදියට.ලෝකයේ සමහර කාරණා ගැන එහෙන් මෙහෙන් ඇහුණාම ඇය කළේ ඒවා තමන්ගේ සිසුවියන්ට ආරෝපණය කරපු එක.

“මේ කවිය ලිව්වේ කාටද?”

ඇය ඩෙස්ක් එක උඩ තිබුණු කොළයක තිබුණු කවි පන්‍තියක් කියවලා තාරකාගේ ඇඟට ගොඩ වුණා.

“මේ සාහිත්‍ය තරගයකට ලිව්වෙ මිස්..”

තාරකා බය වෙලා කියන්න පටන් ගත්තා.

“මේවා මේ වල් කවිනෙ.කොල්ලෙක්ට නේද ලිව්වෙ..

ඒ ගහක් අහසට කියන කවියක් කියලා තාරකා කිව්වත් ඒ කවිය ප්‍රින්සිපල් ළඟට අරන් යන බවට කමනි මිස් ගෝරනාඩු කරන්න ගත්තා.

“මිස් ඕක ගිහින් චේතනා මිස්ට දෙන්නකො.මං ලිව්වේ චේතනා මිස් ලියන්න කිව්ව එකක්..”

එහෙම කියන්න ධෛර්යය හොයා ගත්තු තාරකා යන්තම් ප්‍රශ්නය නිරාකරණය කර ගත්තා.ඒත් ආයේ කවදාවත්ම ලියන්නේ නැහැ කියලා ඇය අඬන එක වළක්වා ගන්න චේතනා මිස්ට ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා.

“සනුරි, ඊයේ කොහෙද අර කලිසමක් පටලන් ගියේ.අර යස්සනියක් වගේ මේකප් උලාගෙන ළඟ හිටියේ අම්මද?”

තවත් දවසක පාඩමට කලින් කමනි ටීචගේ ගෝරනාඩුව මතු වුණා.සනුරිගේ අම්මා ගැලපෙන විලාසිතා කරන ලස්සන කාන්තාවක් බව හැමෝටම මතක් වුණා.අනිත් එක ඇඟට හිර නැති කලිසමක් සහ ටී ෂර්ට් එකක් කියන්නේ සනුරිගේ ප්‍රියතම ඇඳුම කියලා හැමෝම දන්න දෙයක්.අවුල් වුණු කොණ්ඩය අතින් හදන ගමන් ගෑනු ළමයි විලාසිතා නොකරන්න ඕන ඇයි කියන කාරණාව ගැන කමනි ටීච දේශනාවක් තියනකොට හැමෝම අහගෙන හිටියේ නොකැමැත්තෙන්.ටීචගේ අපිළිවෙල සාරියේ පොට හුළඟට නටන්නේ මේ කියන දේවල් අහන්න එපා කියන්න වගේ කියලා සනුරිට හිතුණා.

“ඔය ළමයි උයන්න පුරුදු වෙන්න ඕන.අනිත් කාරණාව තමයි ගෑනු ළමයෙක් කියන්නේ ඇහෙන්න ඕන කෙනෙක්වත් පේන්න ඕන කෙනෙක්වත් නෙවෙයි..මේකප් කර කර කොණ්ඩ කෙලින් කර කර ජරා ගෑනු වෙන්න හදන්න එපා කවදාවත්.ගෙදර වැඩ හොඳට පුරුදු වෙලා තමන් බඳින මහත්තයගෙන් පොල් ගාන තරමේ වැඩක්වත් නොගන්නවනම් ඒක තමයි ගෑනියෙක්ගෙ වටිනාකම.මම නම් අපේ මහත්තයා කනකම් කන්නෙවත් නෑ..”

ගැහැනු ළමයින්ගේ සිහින කුස්සිය මුල්ලෙන් අවසන් වෙන්න උවමනා නැති බවත් ස්මාර්ට් විදියේ ගෘහනියක් වීම හෝ අභ්‍යවකාශ තරණය කරන්නියක් වීම තමන්ගේ තෝරා ගැනීමක් බවත් ඊයේ දරුවන්ට කියා දුන්නු චේතනා මිස් කොරිඩෝවේ ඉඳන් ඒ කතාව අහගෙන හිටියේ වේදනාවෙන්.

“මේ දවස් වල කමනි මිස් නෑනෙ.අසනීපෙන්ද”

වෙනදට වඩා දහය වසරේ කෙල්ලො ටික සන්තෝසෙන් බව නොකියා චේතනා මිස් ගුරු විවේකාගාරයේදී ප්‍රශ්‍නයක් ඇහුවේ ඒ සිදුවීමට දවස් කිහිපයක් පිරුණට පස්සේ.

“කමනිට පොඩි කරදරයක් වෙලා..”

සුජාතා මිස් එහෙම කියාගෙන චේතනා මිස් ළඟින් ඉඳ ගත්තා.

“මේ ගෑනු ළමයින්ට නීති දාහක් දාගෙන ගවුම පොඩ්ඩක් කොට වුණත් කැත විදියට බැන බැන කමනි කරපු විකාරයක්..අන්තිමට වෙලා තියන දේ දන්නවද?”

සුජාතා මිස් ඉතිහාස පාඩම උගන්නන ගාණට ප්‍රශ්න අහනවා.

“අර ත්‍රීවිල් පාක් එකේ කොලුවෙක් එක්ක ලොකු දූ පැනල ගිහිං..අනිත් ළමයින්ගේ විසේ තරම මැන මැන හිත් පීඩා ඇති කරාට තමන්ගෙ දරුව ගැන හෙව්වෙ නෑනෙ.මටනම් දුක ජයනි හොඳට ඉගෙන ගත්තු දරුවෙක් හින්දා..”

සුජාතා මිස් කියන්නේ හීල්ලුම් හඬින්.

“මට නම් ඉස්කෝලේ දූලා ගැනත් දුකයි සුජාතා මිස්..”

චේතනා මිස් එහෙම කියාගෙන නැගිට්ටේ උත්තර බලාපොරොත්තුවෙන් ඇය දිහා බලපු කාටත් උත්තර දෙන ගමන්.

“කමනි මිස් කොච්චරවත් දරුවන්ට බැන බැන අපහාස කර කර පිට කරේ එයාගේ හිත් පීඩා තමයි.දැන් ඉතින් ඒවා තව වැඩි වෙයි..”

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content