නතාශා කණ්නාඩිය ඉස්සරහට වෙලා සුදු සාරියේ රැළි හැදුවා.වෙනදට තමන් කොච්චර නම් මේ කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙනවද ? ඒත් අද යන ගමන ගැන නතාශාට තිබුනේ හිස් හැඟීමක්
” අම්මා. අද තාත්තා එනවද ? “
අවුරුදු හතර සම්පූර්ණ කරපු නිවුන් දියණියන් දෙන්නා කාමරේ දොර ගාව හිටගෙන හිටියා
” මම යන්නේ තාත්තාව හම්බ වෙන්න තමයි පුතේ “
නාතාශාගේ උගුර හිර වෙලා කටහඬ බොඳවුනා.ගේට්ටුව ගාවින් ත්‍රීරෝද රථයක් නතර වෙනවා ඇහුනේ එතකොටමයි
” ගිහින් බලන්න. පුංචි ඇවිත් ඇති “
දියණියන් දෙන්නා තරගෙට දුවගෙන ගියා.ඔවුන්ට රසකැවිලිත් අරගෙන ගෙදරට ගොඩ උනේ නතාශාගේ නංගි අමාශා
” අක්කේ.. ඔයාට තනියම යන්න පුළුවන්ද? “
” ඉස්සරහට මට කොහොමත් යන්න වෙන්නෙ තනියමනේ නංගි.මම ඔයාට එන්න කිව්වෙ කෙල්ලො දෙන්නව දාලා යන්න විදියක් නැති නිසා “
සාලෙට වෙලා අමාශා ගෙනාපු චොකලට් වල රස බලන දියණියන් දිහා නතාශා බැලුවේ ලෝබකමින්. කිසිම දෙයක් නොදන්න පුංචි හිත් දෙකක් මාස ගණනාවක් තිස්සෙ ඔවුන්ගේ තාත්තා එනකන් මග බලාගෙන හිටියා
” අර මිනිහට නම් හොඳක් වෙන්නෑ.ඇත්තමයි “
අමාශා දත්මිටි කෑවේ නතාශාගෙ සැමියාවුන රෙහාන් ගැන කෝපයෙන්
” එයා ගියේ එයාගෙ සතුට හොයාගෙන නෙ නංගි. මට දුක මේ කෙල්ලො දෙන්නා ගැන විතරයි “
” අක්කා ඉස්සරහට මොකද්ද කරන්න හිතන් ඉන්නෙ දැන් ? “
” අතේ තියන සල්ලි වලින් බිස්නස් එකක් වත් පටන් ගන්නවා.රස්සාවකට යන්න බෑනෙ මේ දෙන්නා දාලා “
” ෆැශන් ඩිසයිනර් කෙනෙක්ට නම් බිස්නස් එකක් පටන් ගන්න එක හරි ලේසියිනේ.මම අක්කට උදවු කරන්නම්”
මාස ගණනාවක් පුරාවට ගෙදර අයගේ උදව්වෙන් නතාශා දරු දෙන්නා එක්ක ජීවත් වෙනකොට රෙහාන් ඉඳහිට ඇවිත් මුදල් ටිකකුයි ගෙදරට බඩු ටිකකුයි දීලා ගිය හැටි නතාශා සිහි කලේ සුසුමක් මුදා හරින ගමන්
” රෙහාන් දැන් අර ගෑනිගේ අපාට්මන්ට් එකේලු නේද ඉන්නෙ ? “
” හ්ම්ම් මම දන්නවා නංගි “
නතාශා තුන්වන නඩු වාරය සඳහා උසාවියට යන්න පිටත් උනා.උසාවියට මදක් නුදුරින් නතර කරලා තියන රෙහාන්ගේ වාහනය අඳුර ගන්න ඇයට අපහසු උනේ නෑ. රියදුරු අසුනට එහා අසුනෙන් රෙහාන් බහිද්දි රථය වේගයෙන් ඉගිලිලා ගියා.රථයේ හිටියේ කවුද කියලා නතාශා දැක්කෙ යන්තමින්
” තීන්දුව ලැබෙන්න තව වාර කීපයක් යයි නතාශා. වන්දියක් එක්ක නඩත්තු ඉල්ලලා තියන නිසා නඩුව ඇදෙයි. කොහොමත් වාසි ඔයාගෙ පැත්තට. රෙහාන්ට ලේසි වෙන්නෑ “
නතාශාගේ නීතිඥවරිය වුණ ශෙහාරා කිව්වේ බොහොම බැරෑරුම් මුහුණකින්.
” නඩුව ඇදෙනවට වඩා ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්නයි මැඩම් මට ඕනේ “
” දුක් කසාදෙකට වඩා දික්කසාදය හොඳයි නතාශා.සමහර ගෑනු, දරුවෝ නිසා කියලා ගුටි කාගෙන දුක් විඳගෙන ඉන්නවා.එතකොට ගෑනු විතරක් නෙමෙයි දරුවොත් දුක් විඳිනවා “
ශෙහාර ඒ වචන ටික කිව්වේ බොහොම කරුණාවෙන්.ඒ නිසා තමන් ගත්ත තීරණය හරි කියලා නතාශාට ආයෙමත් පාරක් හිතුනා.
” අම්මේ.. කෝ තාත්තා ආව ද ? “
සාලේ සෙල්ලම් කර කර හිටපු දියණියන් දෙන්නා දුවගෙන ඇවිත් සාරියේ එල්ලුනේ නතාශා ගෙට ගොඩ වෙනකොටමයි.
” තාත්තා රෑ වෙලා එයි පුතේ. හදිස්සියේම වැඩකට තාත්තාට යන්න උනා “
නාතාශා කිව්වෙ කඳුලු හංගගෙන.අක්කාගේ දුක් මුසු මුහුන දැක්කම අමාශාට රෙහාන් ගැන තියන තරහව තව වැඩිවුනා
” ඒ මිනිහට මගුල් නටන්නයි ,අක්කා මෙතන අඬන්නයි තියාගන්න එපා හරිද ? ඔයාගෙ හොඳම දවස් ඉස්සරහට එයි “
මෝස්තර නිර්මාණ ශිල්පිණියක් උන නතාශා තමන්ගේ රැකියාව අත හැරලා දැම්මේ දරුවෝ වෙනුවෙන්.දරුවෝ නිසාම ආපහු ඒ හැමදේම පටන් ගන්න නතාශා හිතුවා.
හවස තේ බොන ගමන් නතාශා කල්පනා කලේ ගෙවුනු මාස කීපය ගැන.රෙහාන් වේගයෙන් වෙනස් වීම නතාශාට දවසින් දවස ගෙනාවේ පුදුමයක්.
” ඇයි රෙහාන් රෑ වුනේ? ඔයාගෙ ෆෝන් එකත් ඕෆ් ? “
” මම යන හැමතැනම තමුසෙට කියන්න ඕනෙද නතාශා?”
” අනේ කෑගැහන්නෙපා රෙහාන්.දරුවෝ ඇහැරෙයි “
” මට මේ ගෙදර නිදහසෙ කතා කරන්නවත් බෑනෙ යකෝ දැන් “
හිතක් පපුවක් නැති විදියට රෙහාන්ගෙන් මුවින් වචන පිට වෙනකොට නතාශා ඒ හැමදේම ඉවසුවේ දරුවන් වෙනුවෙන්.මල් වගේ සියුමැලි ඔවුන්ගේ හිත් නොතලන්න නතාශා ගොඩක් පරිස්සම් උනා.
දිගින් දිගටම රෙහාන් කාර්‍යබහුල වීම , සති අන්ත වල ගෙදර නෑවිත් සිටීම ආදී දේවල් වලට හේතුව රෙහාන්ම ඇවිත් නතාශාට කිව්ව වෙලාවෙයි පවුල් ජීවිතය ගැන ඇගේ අන්තිම බලාපොරොත්තුවත් බිඳ වැටුනේ
” මට ඩිවෝස් වෙන්න ඕනේ “
රෙහාන් ඒ වචන කිව්වේ හරිම ලේසියෙන්
” මට වෙන කෙනෙක් ඉන්නවා.මං හිතන්නෙ එයා තමයි මට ගැලපෙනම කෙනා. මට මේ ජීවිතේ මාර බෝරින් වෙලා තියෙන්නේ නතාශා.කොහෙවත් නිදහසේ යන්න නෑ.ගියත් යන්නෙ ළමයි කරේ එල්ලගෙන. ඒත් ශෙරීන් කියන්නේ මට ජීවිතේ හොඳට එන්ජෝයි කරන කෙනෙක් “
දරුවන් වෙනුවෙන් කැපවුනත් නතාශා හැමදාම ලස්සනට හිටියා.ඇය විවාහකයි කියලා නොපෙනෙන තරමටම රූමත් කියලා රෙහාන්ගේම මිතුරන් පවා සමහර සාද වලදි කියල තිබුනා. රෙහාන්ට තමන්ව එපාවුනේ කොතනදි ද ? නතාශා හැමදාම නිදි වර්ජිතවම කල්පනා කලේ ඒක.
එක දවසක් දවල් වරුවෙ ගෙදර ආව රෙහාන් එයාගේ ඇඳුම් පැළඳුම් ටිකකුත් දාගෙන යන්න ගියා. දරුවන් ඉස්සරහා හැඬුම් හිර කරගෙන හිටපු නතාශා නාන කාමරයට ගිහින් පැය ගණනාවක් පුරාවට හිතේ දුක දිය කරලා ඇරියා.
නතාශාගේ නැති වැරදිත් ලැයිස්තු ගත කරලා රෙහාන් දික්කසාද නඩුවක් ගොනු කරලා තිබුනේ හිතුවට වඩා ඉක්මනින්.
” යන මිනිහා දම්වැල් දාලා බැඳලා තිබ්බත් යනවා කියන්නෙ ඕකට තමයි “
අමාශා නිතරම රෙහාන්ට දෙස් දෙවොල් තිබ්බේ තමන්ගේ අක්කාට කරපු අසාධාරණය ගැන කම්පාවෙන් වගේම කෝපයෙන්.
” ඉක්මනින් මේ නඩුව ඉවර වෙන තරමට හොඳයි නංගි “
” ඔහොම මිනිහෙක් කොහොමත් ඕන නෑ තමයි අක්කේ.එහෙම හිතෙන හිතෙන වෙලාවට කසාද ඇරලා යන්න හිත හදාගන්න පුළුවන් කියන්නේ ඌ නම් මනුස්සයෙක් වෙන්න බෑ “
අවසාන නඩු වාරය පැවත්වෙන දිනය එළඹෙනකොට නතාශා පුංචියට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා තිබුනා.දන්න අඳුනන කීප දෙනෙක් හරහාම ඇඳුම් ඇණවුම් කීපයක්ම ඇයට ලැබුනා.කවදත් නිර්මාණශීලිව සහ පිළිවෙලට වැඩ කරපු නතාශාට වැඩ වලින් අඩුවක් තිබුනේ නෑ.නතාශාට තිබුන එකම ගැටලුව තාත්තා එනකන් මග බලාගෙන ඉන්න දියණියන් දෙන්නට දෙන්න ඕනෙ පිළිතුර මොකද්ද කියලා විතරමයි.
” ඔයා රෙහාන් එක්ක කතා කරන්නවත් යන්න එපා අක්කේ “
ගෙදරින් එනකොට අමාශා එහෙම කිව්වත් වසර ගණනාවක් තමන් එක්ක ජීවිතය බෙදාගත් රෙහාන්ව දැක දැක අහක බලන්න නතාශාට හිතුනේ නෑ.
” ජීවිතේ ඉස්සරහට ඔයාට හොඳක්ම වෙන්න ඕනේ “
නතාශා රෙහාන්ට එහෙම කියනකොට රෙහාන් බලාගෙන හිටියේ පුදුම වෙලා.
” දුක් කසාදෙකට වඩා දික්කසාදය හොඳයි නතාශා “
උසාවියෙන් එළියට බහිනකොට තමන්ගේ නීතිඥවරිය උන ශෙහාරාගේ වචන , නතාශාට ආයෙමත් මතක් උනා !