අයේශා කෑම මේසෙ ගාවට ඇවිත් වහල තිබුන දීසි එකින් එක ඇරලා බැලුවා.තමන් තිබ්බ විදිහටම කෑම ටික තියෙන නිසා සමීර කෑම කාලා නැහැ කියලා අයේශාට තේරුනා.වැඩ ඇරිල ගෙදර ආව සමීර ආපහු එලියට ගිහින් දැන් පැයකටත් වැඩියි.අයේශා කල්පනා කර කර ඉන්නකොට ම සමීර ගෙට ඇතුලු වුණා.
” කොහෙද ගියේ සමීර ?”
ඇය ඇහුවේ සන්සුන් හඬින්.සමීරත් එක්කම ගෙට ඇතුලු වුන කෑම සුවඳ අයේශාටත් දැනුනා.සමීරගේ අතේ තියෙන කෑම පාර්සලය ඇය දැක්කෙ ඒ වෙලාවෙයි
” මම කෑම හැදුවා.ඇයි ඔයා කෑම ගෙනාවේ ? “
අයේශා ආයිමත් ඇහුවා.ගෙනාපු කෑම පාර්සලය මේසෙ උඩම දිගහැර ගත්ත සමීර අයේෂා දිහා බැලුවෙ තරහෙන්
” ඒ කෑම තමුසෙම කනවා.මම මට කෑම ගෙනාවා “
” පොඩි පොඩි දේවල් දුරදිග ගෙනියන්න ඇයි සමීර ඔහොම ? “
” පොඩි ? හොඳ පොඩි ?”
” ඔයාගේ අම්මලා හැමතිස්සෙම මට එක එක දේවල් කියනකොට ඒව මම ඉවසගෙන ඉන්න ඕනෙද ? “
” ගෑනියෙක් උනාම ඉවසන්න ඕනේ තමයි. තමුසෙට අයිතියක් නැහැනේ මගේ අම්මට අනම් මනම් කියන්න “
දින දෙකකට කලින් සිදු වුණ සිදුවීමක් නිසා සමීර තවමත් තමන්ගෙන් පළි ගැනීම අයේශාට දරා ගන්න ඒ තරම් පහසු වුණේ නැහැ
” බැඳලා දැන් මාස කීපයක් වුණා නේද ? තාම වෙනසක් නැද්ද අයේෂා ? “
නිවාඩු දවසක හදිසියේම ඇවිත් නැන්දම්මා එහෙම අහනකොට අයේශාගෙ කෝපය පිට පැන්නා.මිතුරෙකු මුණ ගැහෙන්න ගිහින් හිටපු නිසා සමීර ඒ වෙලාවෙ ගෙදර හිටියෙ නැහැ
” බැඳලා මාස තුනේ ඉඳන් අම්මා මේ ප්‍රශ්නය අහන්නේ ඇයි ? “
” නෑ ඉතින්.අපි නම් බැඳපු ගමන් දරුවෝ හැදුවා.ඕගොල්ලො පරක්කු කරන්නෙ මොකද කියල බැලුවේ “
මල්කාන්ති අනවසරයෙන්ම නිදන කාමරයටත් ඇතුළු වුණා
” සමීරගේ අම්මා හැටියට මම ඉතිං ඒව දැනගෙන ඉන්න එපැයි.මොකද නෑදෑයො අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන මම නේ “
” නෑදෑයන්ට ඕන විදිහට අපි ළමයි හදන්න ඕනේ නැහැනේ අම්මේ ? අපි තාම බැන්දා විතරයි.තව ටික කාලයක් මෙහෙම ඉඳලා හරියට ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඕනෙ දරුවො ගැන හිතන්න “
මල්කාන්ති කීප වාරයක්ම දරුවන් ගැන අහන නිසා අයේශා ඒ ටික කිව්වේ ටිකක් තදින්
” ඉතින් ඔයාට මොකටද ඔච්චර කේන්ති යන්නේ ? හරියට නිකං දරුවො හදන්න බැරි කමක් තියෙනවා වගේ නේ “
මල්කාන්ති කතා කරේ සමච්චලයට වගේ හිනා වෙන ගමන්
” අනේ අම්මේ මේ ? දරුවො හදනවා ද නැද්ද කියල තීරණය කරන්න ඕනේ සමීරයි මමයි.එහෙම නැතුව අම්මවත් නෑදෑයන් වත් නෙමෙයි “
තරමක් උස් හඬින් එහෙම කියපු අයේශා කුස්සියට ආවා.ටික වෙලාවකට පස්සෙ මල්කාන්ති පිට වෙලා ගිහින් තිබුණේ අයේශාටත් නොකියාම.සිද්ධ උන දේ පැයක් යන්නත් කලින්ම සමීරගේ කනේ තියන්නත් මල්කාන්ති කටයුතු කරලා තිබුණා
” තමුසේ කවුද මගේ අම්මට බනින්න ? උඹ ඔහොම ජරා කටක් තියෙන ගෑනියෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැනේ “
උදේ පිටත් වෙනකොට බොහොම ආදරෙන් තමන්ගේ නළලේ හාදුවක් තියලා ගිය සමීර මේ විදිහට හැසිරෙන එක අයේශාට ගෙනාවේ පුදුමයක්
” මම කිව්වේ ඇත්ත.අපි තාම දරුවො හදන එක ගැන හිතලවත් නැති එකේ ඇයි එයා නිතරම ඒ දේ ගැනම අහන්නේ ? “
” අහන්නේ එයා මගේ අම්මා නිසා, එයාටත් අයිතියක් තියෙන නිසා “
විවාහයෙන් පසුව තමන් වෙනමම පවුලක් කියලා සමීර ඒ වෙනකොට අමතක කරලා තිබුණා.තරුණ වයසෙදි වගේම තමන්ගේ පෞද්ගලික තීරණ වලට විවාහයෙන් පස්සෙත් අම්මා මැදිහත් විය යුතුයි කියලයි සමීර හිතුවේ.
” මට ඩිවෝස් වෙන්න ඕනේ “
දින කිහිපයක්ම අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න අයේශාත් එක්ක කතාවට නොගිය සමීර අන්තිමට එහෙම කිව්වා
” ඔයා කොහොමද සමීර හරි ලේසියෙන් එහෙම කියන්නේ ? “
” එතකොට තමුසෙ කොහොමද හරි ලේසියෙන් මගේ අම්මට බනින්නෙ ? මගේ අම්මට සලකන්න දන්නේ නැති ගෑනියෙකුගෙන් මට ඇති වැඩක් නැහැ “
” අපි බැඳලා මාස කීයද ගියේ ? ඔයා කොහොමද සමීර මෙහෙම කතා කරන්නේ? ටිකක් මගේ පැත්තෙනුත් හිතන්න “
” තමුසෙගෙ පැත්තෙන් හිතන්න ගිහිල්ලා මට මගේ අම්මව නැති කරගන්න බැහැ. ඒ නිසා කරුණාකරලා ලෑස්ති වෙනවා ඩිවෝස් වෙන්න “
සමීරගේ අකාරුණික වචන එකින් එක අයේශාගෙ හදවතේ ගැඹුරුම තැන් වල ඇණුනා.නව මාසයන් සම්පූර්ණ වුන විවාහයට සමු දෙන්න හිත හදාගන්න අයේශාට පුළුවන් කමක් තිබුණෙ නැහැ.
” තමුසේ කැමති වුණත් නැතත් මට කරන්න දෙයක් නෑ .මට කොහොමහරි ඉක්මනට ඩිවෝස් එක දෙනවා.තමුසේ ඉල්ලන ගානක් මම දෙන්නම් “
දික්කසාදය ඉල්ලමින් සමීර දවස ගානේ අයේශාත් එක්ක රණ්ඩු කළා.
” ඔයා දැන්වත් මොලේ ඇති තීරණයක් ගත්ත එක හොඳයි පුතා .කවුද දන්නේ තමන්ගේ වැරැද්දක් තියෙනවා කියලා දැනගෙනම දරුවෝ හදන්න පරක්කු කරනවද කියලා “
සති අන්තයක ආයෙමත් ආව මල්කාන්ති එහෙම කිව්වේ අයේශාටත් ඇහෙන්නම
පුතාගේ පවුල් ජීවිතයට ඕනෑවටත් වඩා ඇඟිලි ගහන පුදුමාකාර ගැහැනිය ගැන අයේශාට දැනුනේ පිළිකුලක්.ඇය නිදන කාමරයට වෙලා සාලයෙ වෙන කතාබහට ඇහුම්කන් දුන්නා
” පුතාට මම රෑටත් එක්ක කෑම ගෙනාවා .දැන් ඉතින් මේ ගෙදරින් හරියට කෑමක් වත් ලැබෙන්නේ නැතිව ඇති නේ ඔයාට “
දින ගණනාවක් පුරාවට ඇදී යන මේ සංවාදය තමන්ගේ ගෙදරට කියන්නේ කොහොමද කියලා අයේශා කල්පනා කළා.මාස කිහිපයකින් දීගය ඇරුණු දියණිය නැවත ගෙදර පැමිණීම දෙමවුපියන් බාර ගන්නේ කොහොමද කියලා අයේශාට හිතාගන්න බැරි වුණා
” ඔයා නිදාගන්නෙ නැද්ද සමීර ? “
ඉස්තෝප්පුවට වෙලා තනිවම මත්පැන් වීදුරුවක් තොල ගාන සමීරගෙන් අයේශා එහෙම ඇහුවේ මධ්‍යම රාත්‍රීය කිට්ටුවෙන්න මොහොතක් තියල
” අපේ අම්මා කියන්න වගේ තමුසෙගෙ පුදුම කච කචයක් තමයි තියෙන්නේ.ගිහින් නිදා ගන්නවාකො අයේෂා. මම නිදාගන්නෙ අනිත් කාමරේ “
එදා ඉඳලා තවත් දින කිහිපයක්ම ආදරය පිරුණු මතක එක්ක නිදන කාමරයේ තනිවෙන්න අයේශාට සිද්ධ වුණා. රැකියාව නිම වෙලා සමීර ගෙදර එන වෙලාව එන්න එන්නම පරක්කු වෙන්න ගත්තේ ඊට පස්සේ
” මම ඔයාට කෑම තිබ්බා සමීර, කාලා ඉමුද? මමත් තාම කෑවෙ නෑ “
” මම අපේ ගෙදරින් රෑට කාල ආවෙ “
එහෙම කියපු සමීර නාන කාමරයට ගියේ අයේශා දිහා එක බැල්මකින්වත් නොබලාමයි. බිරිදකගේ වටිනාකම නොදන්නා සැමියෙක් එක්ක එක වහලක් යට ජීවත්වෙන එක තවදුරටත් තේරුමක් නැති දෙයක් කියලා අයේශා තේරුම් ගත්තා.
විවාහය නිසා මගහැරුණු උපාධිය සම්පූර්ණ කරන්නත් , දැනට ලබන වැටුපට වඩා වැඩි වැටුපක් සහිතව වෙනත් ආයතනයකින් ලිපියක් එවූ රැකියා අවස්ථාව ගැන සලකා බලන්නත් හිතාගත්ත අයේශා පහුවදා උදේම මහ ගෙදර යන්න ලෑස්ති උනේ සමීරව පුදුමයට පත් කරමින්.සුර පුරයක උනත් , තමන්ට වටිනාකමක් නොලැබෙන තැනක ගැහැනියක් සිටිය යුතු නැහැ කියන ඇත්ත රෑ එළි වෙනකොට අයේෂා පිළිඅරගෙන තිබුණා
” ඔයාට ඩිවෝස් වෙන්න ඕනෙම නම් , ඒක ලෑස්ති කරලා මට කියන්න “
සාලෙට වෙලා දුරකථනයට මුහුණ ඔබාගෙන ඉන්න සමීරට එහෙම කියාගෙන අයේශා ගෙදරින් එළියට බැස්සා.