දිවිල්ල

මේනකා තේ එක හදාගෙන සාලෙට එනකොට තිනුලිට මේසෙ උඩම නින්ද ගිහින්

” තිනූ.. මොකද මේ නිදි ? නැගිටිනවා “

මේනකා අවුරුදු අටක් වයසැති දියණියගේ අතින් අල්ලලා හෙල්ලුවා.තිනූලි අවදි වුනේ ගැස්සිලා

” ඔය poem එක පාඩම් කරන හැටි ද ? පාඩම් කරන්න කිවුවහම තමයි මේ ළමයට ඔක්කොම අමාරුකම් එන්නෙ. මෙන්න මේ තේක බීලා ඕක කටපාඩම් කරගන්න ඉක්මනට “

මේනකා තිනුලි ව අලුත් ඉංග්‍රීසි පන්තියකට දැම්ම ගිය සතියේ. තමන්ගේ මිතුරියන්ගේ දරුවන් බොහෝ දෙනෙක් යන ඉංග්‍රීසි පන්තියේ ඉගෙන ගන්න දරුවන් අතරින් තිනුලිව හොඳම දරුවා කරන්න මේනකා මහන්සි වුනා

” ලබන සතිය ක්ලාස් එකේ එක්සෑම් එකක් තියෙනවලු.ඔන්න ඒකෙන් ලකුණු අනූවක් වත් ගන්න ඕනේ තිනු හරිද ? “

” මම ක්ලාස් එකට ගිහින් තාම දවස් තුනයි නේ අම්මේ ? ඇයි ඒක දවසක් ඇර දවසක් තියෙන්නේ ? “

” ඒ පණ්ඩිතකම් වලින් ඔයාට වැඩක් නැහැනෙ මම කිව්ව දේ කරන්න “

ඉස්සර ඉස්කෝලෙ ඇරිල ඇවිත් සෙල්ලම් කරපු තිනුලිට දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නැති තරම්.

” මගේ දූ අද ඉස්කෝලෙ මොනවද ඉගෙන ගත්තේ ? “

හවස ගෙදර ආව කමල් තිනුලිව ඔඩොක්කුවෙන් වාඩි කරගත්තේ බොහොම ආදරෙන්.තාත්තගේ ආදරයට ලෝභ උන තිනුලි තව තවත් ඔහුට තුරුළු වුණා

” අයියෝ කමල් ඉතිං ඔයා මෙයාව ඕනවට වඩා හුරතල් කරනවානේ “

මේනකා කමල් ඉස්සරහට ආවේ එහෙම කියාගෙන

” ඉතිං මට වෙන දරුවෝ ඉන්නවද හුරතල් කරන්න ? “

” මේ ළමයට පාඩම් කරන්න තියෙන වෙලාවේ නේ ඔයා මෙතන කෝලම් නටන්නේ. කෝ කෝ තිනූ එන්න “

කමල්ගේ තුරුලේ හිටපු තිනුලිව මේනකා ඇදලා ගත්තේ බලෙන් වගේ.අමතර පන්තියේ ගෙදර වැඩ කරන්න තිබුණ නිසා ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරන්න තිනුලි ට වෙලාවක් තිබුණෙ නැහැ.ඒ නිසා ඒවා ඉවර කරන්න රෑ කෑමෙන් පස්සෙ වෙලාවකුත් වැය කරන්න තිනුලි ට සිද්ධ වුණා

” බබාව ස්කූල් වෑන් එකකට දැම්ම නම් ඉවරනේ මේනකා.ඔයා හැමදාම එනවා නේද බබාව ගන්න ? “

තිනුලිව එක්කගෙන යන්න මේනකා ඉස්කෝලේ ගාවට ආව දවසක, නිතරම මුණ ගැහෙන තිනුලි ගේ පන්තියෙම දරුවෙකුගේ අම්මා කෙනෙක් වුණ ලක්මලී ඇහුවා

” තිනුලිට හවස classes තියෙනවනේ ලක්මලී.ස්කූල් වෑන් වලින් ඒවට එක්කගෙන යන්නේ නැහැනේ “

” බබා දැන්ම ක්ලාස් යනවද ? එයා තවම පොඩි නේ ? “

ලක්මලී ඇහුවේ පුදුමයෙන්

” අවුරුදු අටක් කියන්නේ පොඩි වයසක්ද අනේ? මට ඕනේ අපේ කෙල්ලට හොදට උගන්න ගන්න.ඒකට නේ අපි මෙච්චර මහන්සි වෙන්නේ “

ලක්මලීට තිනුලි ගැන දැනුනේ දුකක්.ඇගේ මුහුණේ තියෙන වෙහෙසකාරී බව අඳුර ගන්න ලක්මලිට එතරම් අමාරු උනේ නැහැ

” පව් අම්මෙ තිනුලි .එයා ක්ලාස් යන්න කැමති නැහැ . එයා ඉස්කෝලෙදි නිදා ගන්නවත් එක්ක “

ලක්මලීගේ දියණිය කිව්වේ ඉක්මන් ගමනින් මේනකාගේ අතේ එල්ලිලා යන තිනුලි දිහා බලාගෙන

” ඒ ළමයා පව් තමයි “

ලක්මලී සුසුමක් මුදා හරිමින් කිව්වා.අම්මගේ උවමනාවට හැල්මේ දුවන පුංචි කෙල්ල ගැන ඇයට දැනුනේ දුකක්

” කෝ මම කිව්ව තරම් ලකුණු අරගෙන නැහැ නේ තිනූ ? අසු හතරක් අරගෙන මක් කරන්නද ? “

රාත්‍රියේ ගෙදර ආව මේනකා තිනුලිට චෝදනා කරන්න පටන් ගත්තා

” මම විභාගේ හොඳට ලිව්වා අම්මේ “

තිනුලි හිටියේ හොඳටම බය වෙලා

” ලිව්වනම් කෝ ළමයො ලකුණු ? “

” මොකද මේනකා මේ ගෙදර ආව වෙලේ ඉඳන් මේ ළමයව කන්න හදන්නේ ? හුස්මක් කටක් ගන්න මේ ළමයට ඉඩක් දෙන්නකෝ “

මේනකාගේ හැසිරීම ගැන කමල් හිටිය තරම කේන්තියෙන්

” ඔයාට මොකද කමල් ඉතිං ? ඔයා හිතන්නෙ මේ ගෙදරට සල්ලි දුන්නා ම ඔක්කොම හරි කියලනේ ?”

” එතකොට ඔයා හිතන්නෙ රටේ තියෙන තරමක් ටියුශන් පන්ති වලට ළමයව ඇදගෙන ගිහාම හරි කියලද මේ පොඩි වයසට ? “

” මම හදන්නෙ ඉතින් හොඳක් කරන්න නේ”

” හොඳක් කරනවා කියලා හිතාගෙන ඔයා ඔය ළමයට කරන්නේ සම්පූර්ණම නරකක් “

කමල් දැඩි හඬකින් එහෙම කියලා තිනුලිව කාමරයට එක්කගෙන ගියා.කමල්ට තුරුළු වෙලා දෑස් පියාගෙන සෑහෙන වෙලාවක් හිටිය තිනුලිට එහෙමම නින්ද ගියා.කමල්ට තිනුලි ගැන දැනුනේ අනුකම්පාවක්

” ඒ ළමයා ඉස්කෝලේ විතරක් ගියහම ඇති මේනකා.තව පන්ති ඕනෙ නැහැ එයාට දැන්මම “

නින්ද ගිය තිනුලි ව ඇඳෙන් තිබ්බ කමල් සාලෙට ඇවිත් මේනකාට කිව්වා

” එහෙම කොහොමද ? මගේ අනිත් හැම යාලුවගෙ ම ළමයි ටියුෂන් යනවා .මගේ ළමයව ගෙදර තියාගන්න කියලද ඔයා කියන්නේ ? “

” ඔව් ගෙදර තියාගන්න කියලා තමයි මම කියන්නේ .ආයේ මට කියන්න තියන්න එපා “

” මගේ යාලුවෝ ඉස්සරහ මට ලැජ්ජ කරන්නද ඔයාට ඕනේ කමල් ? “

” ඔයාගේ යාලුවන්ට පේන්න නටවන්න මේ ළමයා රූකඩයක් කියලද ඔයා හිතාගෙන ඉන්නේ ? පොඩි දරුවෙකුට වුණත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා .මුලින්ම ඔයා ඒ සීමාව අඳුරගෙන ඉන්න “

කමල්ගේ කතාවට මේනකා නිහඬ වුණා.ඇයට ඕන උනේ තිනුලිට හොඳට උගන්වන්නයි.පළාතේ තියෙන හොඳම පන්ති වලට තිනුලිව යවන්නයි මේනකාගේ සැලසුම වුනේ

” දරුවෙකුට උගන්වනවා නම් ඒක කරන විදිහක් තියෙනවා. මේ විදිහට ඒ ළමයට දරාගන්න බැරි තරමේ වැඩ දුන්නම ඒ ළමයට එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා මේනකා “

පහුවදා ඉඳලා තිනුලි ට අමතර පන්ති යාම තහනම් වුණා.ඒ ගැන තිනුලි ගොඩක් සතුටු උනත් මේනකා නම් ඒ ගැන හිටියේ තරහෙන්

” කාටූන් බල බල හිටියම හරිද ? ඉස්කෝලේ පොතක් පතක් බලා ගන්න එපා “

රූපවාහිනිය දිහා බලාගෙන තනියම හිනාවෙන තිනුලි දිහා බලලා මේනකා කිව්වේ තරහෙන්

” තාත්තා තමයි මට කිව්වේ හතරෙ ඉඳන් පහ වෙනකම් කාටුන් බලන්න කියල. ඊට පස්සේ පාඩම් කරන්න කිව්වා.තාත්තා ආවහම පොත් බලනවලු “

තිනුලි කිව්වේ මේනකා දිහා නොබලාමයි.

” තාත්තගෙයි දුවගෙයි විකාර වැඩ “

මේනකා තරහෙන් ගස්සගෙන කාමරයට ගියා.කමල් හවස ගෙදර ඇවිත් තිනුලිත් එක්ක හිනා වෙවී සතුටින් ගෙදර වැඩ කරන හැටිත් , තිනුලි වෙනදා වගේ නිදි කිරා වැටෙන්නේ නැතුව සතුටින් පාඩම් වැඩ කරන හැටිත් මේනකා බලාගෙන හිටියා.

” දැන්වත් ඔයාට තේරෙනවද මේනකා දරුවෙකුට ආදරයෙන් කරුණාවෙන් මොනතරම් දේවල් කියලා දෙන්න පුළුවන්ද කියලා ? පුංචි දරුවෙක් එක්ක හැල්මේ දුවනවාට වඩා ලඟින් වාඩි කරගෙන මොන තරම් දේවල් කියලා දෙන්න පුලුවන්ද කියලා දැන්වත් තේරුම් ගන්න “

රෑ නිදා ගන්න යනකොට කමල් බොහොම සන්සුන් හඬින් මේනකාට එහෙම කිව්වේ ඇයට තවත් කිසිවක් ම කියන්න ඉඩ නොතියාමයි

More Stories

Don't Miss


Latest Articles