අයිතියක් නැති තැන්.

අවන්ත අවදි වුණේ දුරකථනය නාද වෙන හඬින්.නොසන්සුන් වෙලා තිබුන හිත සන්සුන් කරගන්න පාර අයිනක වාහනය නවත්තපු අවන්තට කල්පනා කර කර ඉන්න ගමන් ම නින්ද ගිහින් තිබුණා.

” කොහෙද අවන්ත උඹ ඉන්නේ ? “

” marine drive එකේ රුක්ශාන්. ඇයි ? “

” හරි හරි .අපේ බෝඩිමට වරෙන්කො එහෙනම් “

රුක්ශාන්ගේ ඇමතුම විසන්ධි වෙලා ගියා.අවන්තට දැනුණේ දැඩි වෙහෙසකාරී බවක්.ආයෙමත් වතාවක් දුරකථනය පරික්ෂා කලේ මලීශාගෙන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ඇවිල්ලද කියලා බලන්නයි.

” අයියෝ බං අවන්ත.උඹ නිකන් බූට් එකක් කාලා වගේ වගේනෙ බං හැසිරෙන්නේ “

රුක්ෂාන්ගේ බෝඩිමට ආව අවන්ත ව දැක්ක ගමන් රුක්ෂාන්ට එහෙම කියවුනේ අවන්තගේ අපිළිවෙළ කොණ්ඩයත් , අපිළිවෙල ඇඳුමක් දැක්කමයි.ඉතා පිළිවෙළට ඇඳ පැළදපු තරුණයෙක් වුන අවන්ත දින කිහිපයක් ඇතුළත හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුණා.

” මම හිතුවේ නැහැ බං මලීශා මෙහෙම කරයි කියලා “

අවන්ත එහෙම කිව්වේ රුක්ෂාන්ගේ ඇන්ද මතින් වාඩිවෙන ගමන්

” මම උඹට කලින්ම කිව්වේ නැද්ද උඹේ ඔය කුකුල් කේන්තිය අඩු කරගන්න කියලා “

ඇත්තටම තමන්ට ඉවසන්න මොන තරම් අවස්ථා තිබුනද කියලා අවන්තට හිතුනා.තමන්ගේ වැරදි වලදී පවා ඉවසපු මලීෂා තමන්ට අහිමි වෙයි කියන බය අවන්ත ට ඉතා දැඩිව දැනෙමින් තිබුණා

” ඔයා කොහෙද ඉන්නේ අවන්ත ? “

එක දවසක් හවසක අවන්ත එනකන් මහපාරේ මග බලාගෙන හිටපු මලීෂාගෙන් අවන්තට ඇමතුමක් ආවෙ, අවන්ත එනවා කියලා පොරොන්දු වුණ වුන වෙලාවටත් පැයකට විතර පස්සෙ

” අයියෝ මලීෂා. මට ඔයාට කියන්න බැරි උනානේ .මම අම්මගේ වැඩකට එලියට ආවා “

” ඉතිං ඇයි මට කිව්වේ නැත්තේ ? “

” හදිසියෙනේ අම්මා කෝල් කරේ.ඉතිං මම ආවා. ඔයාට තිබුනනෙ මට කෝල් එකක් දෙන්න ඔෆිස් එකෙන් එලියට එන්න කලින්.අනෙක පැයක් විතර ගියාට පස්සේ ද මම එනවද අහන්න කෝල් කරන්නෙ? “

අවන්ත ගේ හඬ තරමක් සැර වුණා

” ඔයා පොරොන්දු වෙච්ච නිසා ඒ වෙලාවට එයි කියලා මම හිතුවේ ඉතින්. ට්‍රැෆික් නිසා පරක්කු වෙනවා ඇති කියලා හිතල මං මේ කෝල් කරේ අවන්ත “

” ඔයා ඉතින් පේන බල බල ඉන්න “

” මම එහෙනම් ගෙදර යන්න ද අවන්ත ?”

” යන්න ඉතින්.දැන් මට එන්න වෙලාවක් නැහැ කොහොමත් “

මලීෂාට කිසිවක් කියන්න ඉඩ නොතියාම අවන්ත දුරකථන ඇමතුම විසන්ධි කළා.සතියකට විතර පස්සේ අවන්තව මුණගැහෙන්න බලාගෙන නොයිවසිල්ලෙන් හිටපු මලීෂාගේ බලාපොරොත්තු දෙපා මුලට කඩාගෙන වැටුනා.දුන්න පොරොන්දු ඒ විදිහටම රකින පෙම්වතෙක් තමන්ටත් ලැබුණා නම් මොන තරම් හොඳද කියල මලීෂා ට දහස්වර හිතුනා.

” අද බස් ස්ට්‍රයික් එකක් අවන්ත. මට පුලුවන්ද මාව එක්කගෙන යන්න එන්න ? “

මලීෂා තවත් දවසක අවන්ත ඇමතුමක් දුන්නේ පොදු ප්‍රවාහන සේවා වර්ජනයක් පැවැත්වුන වෙලාවක.

” බස් නැති වුණාට ත්‍රීවිල් තියෙනවනේ මලීෂා ? “

” ඔව් ඉතින්. ඔයා ආවොත් අපිට කතා කර කර යන්න පුළුවන්නේ අවන්ත.එන්නකො අනේ “

” අයියෝ මට අද හවස මීටින් එකක් මලිෂා. ඔයා ත්‍රීවිල් එකක් දාගෙන යන්න. හෙට සෙනසුරාදානෙ.අපි මීට් වෙමු හෙට “

පුරුදු පරිදිම බලාපොරොත්තු සුන් කර ගත්ත මලීෂා ගෙදර ගියේ තමා වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නැති පෙම්වතකු ගැන තැවෙමින්.කෙසේ හෝ එදිනම රාත්‍රියේ දී ඔහුගේ මිතුරෙකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වෙත ” friday night ” නමින් නම්කර යොමු කර තිබූ ලයිව් වීඩියෝව දුටු සැනින් මලීෂාගේ හිසට අකුණු පහරක් වැදුණා සේ දැනුනා. අවන්ත ඔහුගේ මිතුරන් සමග සිනහසෙමින් මත්පැන් පානය කරන අයුරුද එම වීඩියෝවේ සටහන් වී තිබුණා

” ඕක පරන එකක්. ඒ පාටි එක ගැන මම ඔයාට කියලනෙ ගියෙ “

පසුගිය රාත්‍රිය ගැන මලීෂා අවන්තගෙන් අහනකොට ඔහු පිළිතුරු දුන්නේ ඒක ගානකටවත් නොගෙනයි.අවන්ත මුහුදු වෙරළ අයිනේ නතර කරලා තිබුණු වාහනයෙන් එළිය බලාගෙන හිටියේ මලීෂාගේ දෑස් මග හරිමින්

” ඒක ලයිව් වීඩියෝ එකක් අවන්ත.මම මෝඩයෙක් කියලද ඔයා හිතාගෙන ඉන්නේ ? “

” හරි හරි ඉතිං.මට පොඩ්ඩක් බොන්න ඕන්නම් තමුසෙගෙන් අවසර ගන්න ඕනේ නැහැනේ “

” මට ප්‍රශ්න ඔයා ගිහින් බීපු එක නෙමෙයි අවන්ත. මම එන්න කියද්දි ඔයා මට බොරු කියලා ගිය එක “

” මට ඕන දේ මම කරනවා .ඇයි තමුසෙ මට මොනවා කරන්නද ? “

අවන්ත කෝපයෙන් ඇවිලෙන දෑස්වලින් මලීෂා දිහා බැලුවා

” මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මං ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම බෙදාගන්න පුළුවන් කෙනෙක් කියලා. මං හිතන්නේ මං වැරදියි අවන්ත “

මලීෂාගේ දෑස් වලට කඳුළු පිරෙමින් තිබුණා.

” ඒත් මං හිතන්නේ මට ඔයා ගැන කිසිම අයිතියක් නැහැ “

” අයියෝ නවත්තගන්නවා ඕයි තමුසෙගේ බණ.මේ පොඩ්ඩක් පාටි එකකට ගියා කියලා ඔච්චර නහින්න ඕනෙද ? “

” මම මීට වඩා තැන්වල ඉවසුව කියලා ඔයාට මතක ඇති නේද අවන්ත? “

” හරි දැන් තමුසෙ මට මොකද්ද කරන්න කියන්නේ ? “

” අදින් පස්සෙ කවදාවත්ම ඔයා මට කතා කරන්න එපා “

අවන්ත ට හිතාගන්නවත් බැරි විදිහට දැඩි හඬකින් එහෙම කියපු මලීෂා වාහනයෙන් බැස්සා.එවලෙම අත දාපු ත්‍රීරෝද රථයකට නැග්ග මලීශා යන්න ගියා.වෙනදා වගේම ටික වෙලාවකින් මලීශා කතා කරයි කියලා අවන්ත බලාපොරොත්තුවෙන් හිටියත් එදා ඒක එහෙම වුණේ නැහැ

රාත්‍රිය පුරාවටම අවන්ත මලීෂාගේ දුරකථනයට ඇමතුම් ගත්තත් මලීෂාව සම්බන්ධ කරගන්න අවන්තට පුළුවන් වුණේ නැහැ.දවස් දෙකක් ගෙවුණට පස්සෙ එක වෙලාවක මලීෂාගේ දුරකථනය ක්‍රියාත්මක වුණා.ඒ විතරක් නෙමෙයි අවන්ත ගත්ත දුරකතන ඇමතුමට මලීෂා පිළිතුරුත් දුන්නා

” කියන්න අවන්ත “

මලීශා කතා කළේ බොහොම සන්සුන්ව

” ඇයි මලීෂා ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැත්තේ ? මම කොච්චර කෝල් කලා ද? මම කොච්චර ඔයාව හෙව්වද ? “

” මම එදා ඔයාට පැහැදිලිව කිව්වනේ අවන්ත ආපහු මට කතා කරන්න එපා කියලා. ඉතින් ඔයා මාව ආපහු හොයලා තේරුමක් වෙන්නේ නැහැ “

” ඒ කියන්නේ අපේ එෆෙයාර් එක මෙතනින් ඉවරයි ද මලීෂා ? “

” ඔව් ඉවරයි “

අවන්තට කිසිවක් කියන්න ඉඩ නොතියාම මලීෂා දුරකථන ඇමතුම විසන්ධි කරා.ඊට පස්සේ අවන්ත ගත්ත එක දුරකතන ඇමතුමකට වත් මලීෂා පිළිතුරු දුන්නේ නැහැ.ඒ වගේම මලීෂාව සම්බන්ධ කරගන්න පුළුවන් හැම මාර්ගයක්ම ඇය අවහිර කරලා තිබුණා

” මලීෂා තරං වෙන කවුරුත් මට ආදරේ කරේ නැහැ රුක්ෂාන් “

අවන්ත දෙවෙනි මත්පැන් වීදුරුවත් හිස් කරමින් කිව්වා

” උඹ මොන දේ කරත් ඒකි ඉවසනකොට ,උඹ හිතුව නේද කවදාවත් ඒකි මෙහෙම තීරණයක් ගන්න එකක් නැහැ කියලා ?”

රුක්ෂාන් ඇහුවේ බැරෑරුම් විදියට

” ඇත්තටම ඔව් බං. මලීෂා මට එච්චරට ආදරේ කළා.ඒ නිසා මම හිතුවේ මම මොනවා කරත් ඒකි ඉවසගෙන ඉඳියි කියලා “

” අයිතියක් නැති තැන්වල ඉන්නේ මොකටද කියලා මලීෂා ට හිතෙන්න ඇති “

රුක්ෂාන් එහෙම කිව්වේ අවන්ත ඊළඟ මත්පැන් වීදුරුවත් එක හුස්මට හිස් කරනකොට

More Stories

Don't Miss


Latest Articles