“දැන් වෙලාව කීයද? මං කෑවද කියලවත් හොයල බලන්න ඕන නැද්ද?”
ඒ ඇමතුමට අමා තිගැස්සුණා.ඇය නිපුන එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තවම මාසයක්වත් ගෙවිලා ගිහින් නැහැ.නමුත් ඔහු මේ කියන දේ ගැන ඇයට ආවේ පුදුමයක්.
“මං ඔෆිස් එකේ වැඩ ගොඩකනෙ හිටියේ නිපුන.ඔයා කන්න ඇති කියලා හිතුවේ..”
නිපුන තව මොනවද කියලා බනිද්දී අමා දුරකථනය විසන්ධි කළේ ඔහු මොනවට හරි කේන්ති අරන් ඒ කේන්තිය තමන් පිටින් යවනවා ඇති කියලා හිතමින්.
“අද චතුරගෙ දිහා පාටි එකක්..”
නිපුන තවත් දවසක අමාට කිව්වේ හවස් වරුවක.චතුර කියන්නේ නිපුනගේ පාසල් කාලයේ ඉඳන් මිතුරෙක් කියලා අමා දන්නවා.ඔහු නව නිවසක් හැදීමේ සතුට සමරන්න මිතුරු පිරිස එකතු වෙන බව නිපුන කියද්දී අමා ඒ ගැන අහගෙන හිටියේ තව කෙනෙක් ජීවිතේ අරමුණක් ජය ගැනීම ගැන සතුටින්.
“මම චතුරට සුබ පැතුවා කියන්න.හොඳ තෑග්ගක් අරන් යන්න හොඳේ..”
අමා එහෙම කියද්දී “මං ගියාට කමක් නැද්ද?” කියලා නිපුන පුදුමයෙන් අහනවා ඇයට ඇහුණා.නිපුන පාටියට ගිය නිසා අමා පහුවදා ඔහුට ඇමතුමක් දුන්නේ ටිකක් දවල් වෙලා.
“මොන ජාතියේ කෙල්ලක්ද තමුන්?”
ඒ මොන කතාවක්ද කියලා අමා උඩ බිම බැලුවා.රෑ පාටියට යන තමන්ට් විරුද්ධ නොවීම වගේම ගියාට පස්සේ නිතර නිතර ඇමතුම් නොදීම ගැනත්, මත් වෙන්න එපා කියලා මතක් නොකිරීම ගැනත්,ආපහු ගෙදර යන්න කියලා මතක් නොකිරීම ගැනත් නිපුන අමාට සෑහෙන තරම් බැන වැදුණා.
“මම ගෙදර ආවේ රෑ එකත් පහු වෙලා.ආවද බලන්නෙත් නැතුව නිදි..”
නිපුන එහෙම කියනකොට ඔහු අපේක්ෂා කරන්නේ මොන වගේ ආදරයක්ද කියලා අමාට හිතාගන්න බැරුව ගියා.ඔහු වැඩිහිටියෙක්.තරම දැනගෙන මත් වීම, මිතුරන් ආශ්‍රය වගේ දේවල් වළක්වන්න අමා උත්සාහ කරනතුරු ඔහු බලා සිටීම ගැන ඇයට දැනුණේ පුදුමයක්.
“අර කෙල්ල මාර ලස්සනයි නේද?”
දවසක් අවන්හලක ඉඳන් කතාබහ කරද්දී නිපුන කිව්වේ අවන්හල තුළට එන ගැහැනු ළමයෙක් දිහා බලාගෙන.
“අනේ ඔව් නේද? එයාට කහපාට මාරම මැචින්.කොණ්ඩෙ බලන්නකෝ.”
ඒ ගෑනු ළමයගෙ ලස්සන වර්ණනා කරන්න තමන්ට එකතු වුණු අමා දිහා නිපුන බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ.
“මම වෙන කෙල්ලෙක් ලස්සනයි කියනකොට ඇයි ඔයාට කේන්ති නොයන්නෙ? මහ පුදුම කෙල්ලක්නෙ.ඒවට රණ්ඩු කරන්නෙ නැත්තෙ ඇයි?”
අමා නිපුන දිහා බැලුවේ හිනාවකින්.ඒ ගැහැනු ළමයා ලස්සන බව කියන එක තරහ ගන්න හේතුවක් නොවන බවත්, ඇය බොහොම ලස්සන කෙල්ලක් බවත් අමා පැහැදිලි කරේ හරිම සන්සුන්ව.
නිපුන ආදරය කියන්නේ තමන් ආදරේ කියලා හිතන දේට නොවන බව අමාට වැටහෙන්න පටන් අරන් තිබුණේ දැඩි කලකිරීමක් එක්ක.ඔහු නිතරම ආදරය හොයමින් රණ්ඩු කරන අමා කෙනෙක්ව බලාපොරොත්තු වුණා.නමුත් තමන්ට සමීපම කෙනෙක්ට නිතරම රිදවීම සහ නීති දැමීම අමාට පෙනුණේ මහ විකාරයක් වගේ.අසනීපයක් හැදුණාම බෙහෙත් අරන් ඇවිත් අමා බෙහෙත් බොන්න කියලා මතක් කරනතුරු නොබී ඉන්නවා වගේ වැඩ නිපුන කරන්නේ ඇයි කියලා පවා ඇයට තේරුම් ගියේ නැහැ.ඔහු කියන්නේ ආදරේ ඒ වගේ කියලයි.නමුත් ආදරේ කියන්නේ ඒකට නොවන බව අමාට ටික ටික තේරුම් ගිහින් තිබුණා.
අමා අලුත්ම විදියට හිසකෙස් සකසලා වර්ණ ගන්වන්න තීරණය කළේ ඔය අතර.ඇය අලුතින් සකසපු කොණ්ඩයත් එක්ක නිපුනව මුණ ගැහෙන්න ගියේ සිනා වෙමින්.
“මොකක්ද හලෝ ඔය කොණ්ඩේ හැටි?”
හැමෝම ලස්සනයි කියපු කොණ්ඩෙට නිපුන කළේ එහෙම අපහාසයක්.මේ වර්ණයේ සහ විලාසිතාවේ වැරැද්දක් තියෙනවද කියලා අමා ඇහුවේ හරිම සන්සුන්ව.
“මගෙන් අහල කරන්න තිබ්බනෙ..”
නිපුන එහෙම කියද්දී මේ හිසකෙස් වර්ණය ගැන දවසක් ඔහු එක්ක කතා කරපු හැටි අමා ඔහුට මතක් කළා.ඊටත් පස්සේ නිපුන කිව්වේ මහ පුදුම කතාවක්.
“එහෙම එකපාරටම හා කියන්නෙත් නෑනෙ අනික.මම එපා එපා කියනකොට ඔයාට මාත් එක්ක රණ්ඩු කරන්න තිබ්බා.ඊටපස්සෙයි මම හා කියන්න හිටියේ.
එකපාර හා කිව්වම ආදරේකට වටිනාකමක් තියනවද?”
අමා මේ අපබ්‍රංසය තේරුම් ගන්න බැරුව ටික වෙලාවක් බලාගෙන හිටියා.තව කාලයක් නිපුනට ආදරය කරලා ඔහුගේ බිරිඳ වුණොත් තමන් උමතු වෙන්න ඉඩකඩ වැඩි බව ඇයට හිතුණේ ඒ වෙලාවෙදී.ඇය නිපුනගෙන් සමුගත්තේ තීරණයක් අරගෙන.
එදා රාත්‍රියේ ඇය වෙලාව අරගෙන නිපුනට ඊමේල් ලිපියක් ලිව්වා.ආදරය කියලා ඔහු හිතන තැන ආදරය නැති බව ඇය ලිව්වෙ බොහොම පරිස්සමින්.
“මම කැමති හොඳ ආදරවන්තියක් වෙන්න මිසක් හොඳ හිසරදයක් වෙන්න නෙවෙයි නිපුන..”
ඇය අන්තිමට එහෙම ලියා තැබුවේ නිපුනට ජීවිතය ගැන ගැඹුරු පාඩමක් කියා දෙමින්.