අමායා පොත් සාප්පුවෙන් එලියට එනකොට වැස්ස පටන් අරගෙන තිබුණා.කියවන්න ආසම පොත් කිහිපයක් අතේ තියෙන වෙලාවේ ගෙදර ගිහින් කෝපි කෝප්පයක රස විදින ගමන් කියවන්න තිබුණා නම් මොන තරම් හොඳද කියල ඇයට හිතුනා.වාහනය නතර කරලා ආවෙ පොත් සාප්පුවට ටිකක් දුරින් නිසා වැස්ස පායන කල් පොත් සාප්පුවට අල්ලපු ගොඩනැගිල්ලේ තියෙන කෝපි හලට යන්න අමායා හිතුවා
” කෝපි එකක් “
ළඟට ආපු සේවකයාට ඇණවුම භාර දීපු අමායා කාලයක් තිස්සේම කියවන්න බලාගෙන ඉඳලා මිලදී ගත්ත නවකතා පොත අතට ගත්තා
” මතක අහුරු “
ජීවිතයට අමතක නොවන මතක කොයිතරම් නම් තියෙනවද ? කෝපි එක එනකන් අමායා කෝපි හලේ දොරටුව දිහා බලාගෙන හිටියා.මහවැස්සේ මිනිස්සු එහාට මෙහාට යන හැටිත් , ඉඳහිට එක්කෙනෙක් දෙන්නෙක් කෝපි හලට ගොඩ වෙන හැටිත් අමායා බලාගෙන හිටියෙ හිස් බැල්මකින්
” මිස් කොෆි එක “
දුම් දමන කෝපි කෝප්පයේ උඩින් හදවතක හැඩය ඇඳලා තිබුණා.
” දැන් ඉතින් මේක බොන්න මේක හාට් එක කඩන්න එපැයි “
අමායා තමන්ටම කියා ගත්තා.කැඩුණු බිඳුණු හදවත් මේ ලෝකෙ කොච්චර තියෙනවද ? අමායාට ආයෙමත් දොර දිහා බැලුනේ ඉබේටමයි.විවෘත වුන දොරෙන් ඇතුළු වුණ අඳුරන මූනත් නාඳුනන මූණත් අමායාගේ හිත තිගැස්සීමට පත්කළා.
” රන්දික “
කෝපි කෝප්පය බොන ආසාව අතඇරපු අමායා ඉක්මන් ගමනින් මේසෙ උඩ තිබුන පොත් ටිකත් අරගෙන නැගිට්ටා.අත්වැල් පටල ගත්ත පෙම්වතුන් දෙන්නා අමාය හිටපු මේසෙට එහා පැත්තේ මේසෙන් වාඩි වෙද්දි අමායා ඔවුන්ව පහු කරගෙන මහ වැස්සෙම එලියට බැස්සා.
වාහනයට ගොඩ වුනු අමායා වේගයෙන් හුස්ම ගත්තා.ඇයට ඕන උනේ කෑගහලා අඬන්න.දෑස් තද කරගත්ත අමායා මොහොතක් එහෙමම ඉදලා වාහනය පණ ගන්වලා වේගයෙන් ඇගේ නිවස දිහාවට ආවා
” මොකද අමායා මේ ? “
අමායට අයිති කොළඹ නිවසේ නවාතැන් ගෙන ඉන්න මිතුරිය සුරේනි ,අමායා දිහා බැලූවේ පුදුමෙන් වගේ
” මොකුත් නෑ සුරේනි “
අමායා කාමරේට ඇවිත් දොර වහගෙන ඇඳට වැටුනා.අවුරුදු දෙකක් වගේ කාලයක් ජීවිතය මොනතරම් දේවල් වෙනස් කරල ද ? අමායා ගේ කල්පනාව බිඳවැටුනේ බොහෝ වේලාවකට පස්සේ දුරකතනය නාද වෙන හඬින්
” හෙලෝ. අමායා “
නාඳුනන අංකයකින් ආව ඇමතුමෙන් ගලාගෙන එන හඬ අමායාට හොඳටම පුරුදුයි
” මම ඔයාව දැක්කා “
අමායා වචනයක්වත් කියන්න කලින් රන්දික කතා කලා.
” ඒත් මට නොදැක්කා වගේ ඉන්න වුණා”
දුරකථනයේ අනෙක් පස හිටපු රන්දිකට අහන්න ලැබුණෙ අමායාගෙ සුසුම් හඬ විතරයි
” අවුරුදු දෙකක් ගිහිල්ලත් ඔයා තාම වෙනස් වෙලා නැහැ අමායා “
” මම නෙමෙයි වෙනස් උනේ ඔයා රන්දික “
අමායා එකපාරටම ඇගේ හඬ අවදි කළා
” ඔයා හොඳින්ද බලන්න මං කතා කළේ.මේ අවුරුදු දෙකටම අපි දෙන්න අතරේ එකම එක වචනයක් වත් කතා කෙරුණේ නැති නිසා “
” මට කියන්නෙවත් නැතුව ගිහින් දැන් මම හොඳින් ද කියලා අහනවද ? “
” මම පිළිගන්නවා මම වැරදියි අමායා.ඒත් මට එහෙම නොකර බැරි වුණා “
හිත රිද්ද ගන්න අකමැති උන අමායා දුරකථන ඇමතුම විසන්ධි කරල දුරකථනයත් අක්‍රිය කළා.
සෑහෙන කාලයකට කලින් සහභාගි වුණ හොඳම මිතුරියකගේ මංගල උත්සවයේ හිටපු සංගීත කණ්ඩායමේ කඩවසම්ම දඟකාර තරුණයාව අමායාට මතක් උනා.
” උන්ට හැමතැනම කෙල්ලො ඇති “
අමායාගේ මිතුරියන් කිව්වේ එහෙම.දෙමව්පියන් එක්ක විදේශගත වෙලා හිටපු අමායා තනිවම ආපහු ආවේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි.ඇඳුම් විලාසිතාගාරයක් ආරම්භ කරපු අමායා එදා මිතුරන් වෙනුවෙන් පවත්වපු සාදයට සංගීතය සපයන්න රන්දිකගේ සංගීත කණ්ඩායම සම්බන්ධ කරගත්තේ ලගදි විවාහවුන මිතුරියගේ මාර්ගයෙන්. ඒ විදිහට ඇතිවුන හිතවත්කම ආදරයක් දක්වා දුර දිග ගියේ අමායා හිතපු නැති විදිහට
මුදල් වලින් කිසිම අඩුවක් නොතිබුනු අමායා , රන්දිකගේ දියුණුව වෙනුවෙන් බොහෝ දේවල් කළා
” මම සල්ලි එකතු කරගෙන studio එකක් ඕපන් කරන්න හිටියනං මේ කපේට මට ඒක කරගන්න වෙන්නේ නැහැ අමායා.ඔයා නම් මාරම පාට්නර් කෙනෙක් තමයි “
නව ශබ්ධාගාරය විවෘත කරපු දවසේ රන්දික කිව්වේ එහෙම
” මේවට ඉතින් ඔයාට ජීවිත කාලෙම ණය ගෙවන්න වෙයි හරිද ? “
අමායා කතාකලේ සැහැල්ලුවෙන් හිනාවෙමින්.රන්දික මුණගැහිලා ගෙවුනු ටික කාලෙදි ඉතින් මොන තරම් සුන්දරද කියලා අමායාට වැටහුණා.තමන්ගේ හැරගිය පෙම්වතිය ගැන හිතමින් ජීවිතයේ දියුණුවක් ගැන නොහිතපු රන්දික අමායා නිසා දිනෙන් දින දියුණු වුනා.වැඩි දෙනෙක් දැනගෙන නොහිටපු රන්දිකගේ සංගීත කණ්ඩායම ගැන බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන්නත් පටන් ගත්තා.තමන්ගේ ව්‍යාපාරය නිසා සමහර වෙලාවට රන්දික ගැන හොයලා බලන්න අමායාට වෙලාවක් නොතිබුණත් පුළුවන් හැම වෙලාවෙම රන්දික ගැන හොයා බලන්න අමායා අමතක කළේ නැහැ.
” රන්දික උදේ ඉඳන් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනේ සුරේනි “
රැකියාවකට කොළඹ ආපු මිතුරියකට තමා මිලදී ගත්ත නිවසේ නවාතැන් දුන්න අමායා හැමදේම බෙදාගත්තේ ඇයත් එක්ක
” මොකක් හරි වැඩක ඇත්තේ නේද ? මේ ටිකේ wedding එහෙම වැඩියි කිව්වා නේද ? “
” හ්ම්ම්. ඒත් ෆෝන් එක නං ආන්සර් නොකර ඉන්නෙ නෑ එයා එහෙම “
අමායා කිව්වේ රන්දිකගේ දුරකථනයට තවත් වරක් ඇමතුමක් ගන්න ගමන්.රන්දිකගේ ඇමතුම් ටිකෙන් ටික අඩුවෙද්දී අමායා දවසක් ඔහුගේ ශබ්දාගාරයට ගියා.එතන රන්දික හැර අනෙක් මිතුරන් හැමදෙනාම හිටියා.දින කිහිපයක්ම රන්දික හමුවෙන්න ගියත් රන්දික විවිධ වැඩවලට කාර්යබහුල වෙලා කියලයි අමායා දැනගන්න ලැබුණේ.දින ගණනාවක්ම ඔහු දුරකථනයෙන් වත් සම්බන්ධ කරගන්න අමායාට පුළුවන් වුණේ නැහැ.අමායාට සම්බන්ධ කරගන්න පුළුවන් හැම මාර්ගයක්ම අන්තිමට රන්දික විසින්ම අවහිර කරලා තිබුනා.
” ඇයි රන්දික මට නොකියම ගියේ “
අමායා හැමදාම තමන්ගේ මේ ප්‍රශ්නය ඇහුවා.
” රන්දිකට ආපහු පරණ girlfriend ව සෙට් වෙලාලු “
නොහිතපු වෙලාවක ඒ ආරංචිය අමායාට අරගෙන ආවේ අමායාගේ හොඳම මිතුරියක්.
” රන්දික ඒ කාලේ ඒ කෙල්ලට පිස්සුවෙන් වගේ ඉඳලා තියෙන්නේ.ඒ නිසා ආයේ ආවහම රන්දික යාලු වෙන්න ඇති. දැන් ඉතිං එයාට අමුතුවෙන් හදාගන්න කියල දේවල් නැහැනේ. ඔක්කොම ඔයාම හදලා දුන්නනේ අමායා “
අමායාගේ මිතුරියන් එහෙම කියද්දි ඒ ඇත්ත පිළිගන්න අමායා මැලි වුණා.ගෙවුනු හැම මොහොතකම රන්දික තමන්ට ආපහු කතා කරයි කියලා අමායා බලාගෙන හිටියා. එත් දින සති ගත වුණත් රන්දිකව ආයෙ දකින්නවත් අමායාට පුළුවන් වුණේ නැහැ
” මම දන්නවා ඔයා මට කවදාවත් සමාව දෙන එකක් නෑ කියලා “
පැය ගණනාවකට පස්සෙ ක්‍රියාත්මක කරපු දුරකථනයට රන්දිකගේන් කෙටි පණිවිඩයක් ආවා
” ආදරේ කියන්නෙ අයිති කරගන්න එකම නෙමෙයි. එයාට සතුටින් ඉන්න දෙන එක “
අමායා එහෙම සටහන් කරලා රන්දිකට පිළිතුරක් යැව්වා.