වෙනස

” කුමාර,අපේ නංගිලා අලුතෙන් වාහනයක් අරගෙන “

නිල්මිණි කිව්වේ පොල් ගාන ගමන්. කුමාර පත්තරයක් බලන ගමන් තේ එකක් බොමින් හිටියා

” මරුනේ. දුමින්ද ඉතිං දියුණු වෙන්න උනන්දුව තියෙන කොල්ලා නේ “

” අනේ අපිත් වාහනයක් ගමුකො කුමාර.හැමදාම මේ බයික් එකේ යන්න එන්න බැහැනේ “

” ඔක්කොටම කලින් මේ ගේ හදන්න ගත්ත ලෝන් එක ඉවර කරගෙන ඉන්න එපැයි නිල්මිණි. මම මේ බලන්න කොහොම හරි තව ලෝන් එකක් දාගෙන ගේ ඉතුරු වැඩ ටික ඉවර කරගන්න.මගේ පඩියෙන් මේ හැමදේම කරන්න අමාරුයි “

” එහෙනම් ඉතින් මේ කපේට අපිට වාහනයක යන්න වෙන්නේ නැහැ “

” බයික් එක කියන්නෙත් ඉතින් වාහනයක් තමයි “

කුමාර පත්තරයත් අරගෙන කුස්සියෙන් එලියට ආවේ නිල්මිණීගේ නෝක්කාඩු අහගෙන ඉන්න බැරිම තැන.ඉස්සරහ ගෙදර පදිංචියට ආව තරුණ යුවළ ඇතුළු පිරිසක් ගෙදරට බඩු අදිනවා කුමාර දැක්කා

” දැක්කද අර ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්න කෙල්ල ? “

නිල්මිණී කුමාරගෙන් ඇහුවේ රෑ නින්දට යන්න සූදානම් වෙද්දි

” හරියට දැක්කෙ නෑ මං “

” කොටට කොටේ කලිසමක් ඇදගෙන අර හිටියේ පිරිමි කීප දෙනෙක් ඉස්සරහ .හැබැයි ඉතින් ලස්සන කෙල්ල “

නිල්මිණි කවදද අනෙක් මිනිසුන්ගේ අඩුපාඩුවක් නොදැක්කේ , කුමාරට හිතුණේ එහෙම

” ගෙදර කවුද ? “

උදේ කුමාර වැඩට ගියාට පස්සෙ ගේට්ටුවෙ සීනුව නාද කරමින් ගේට්ටුව ගාව කවුදො ඉන්නවා නිල්මිණී දැක්කා. ගේට්ටුව ඇරපු නිල්මිණිට දකින්න ලැබුණේ ගේට්ටුව ඉදිරිපිට හිටගෙන ඉන්න ඉස්සරහ ගෙදර තරුණිය

” අක්කේ මම ඉස්සරහ ගෙදරින්.රෝශිනී “

ප්‍රියමනාප පෙනුමැති තරුණිය කිව්වේ සුන්දර හිනාවක් එක්ක

” ආ.. එන්න නංගි ඇතුලට “

” මම කිරිබත් හැදුවා .අක්කලාටත් ගෙනාවා “

රෝෂිණී උණුම උණු කිරි බත් පිඟාන නිල්මිණි අතට දුන්නා.

” මට ගේ ටිකක් අස් කරන්න තියෙනවා අක්කේ.නිදහසේ කතා කරන්න මම වෙන වෙලාවක එන්නද? ඔන්න අක්කත් ඒ පැත්තෙ එන්න ඕන හරිද? “

රෝශිනි ආයෙමත් කිව්වා.ඇය ගියාට පස්සේ ඉක්මන් ගමනින් ගේ ඇතුලට ආව නිල්මිණි පිඟාන ඇරලා බැලුවා.කිරිබත් පිඟානක් කිව්වට කේක් සහ කැවුම් ඇතුළු රස රසකැවිලි කිහිපයකුත් පිඟානේ තිබුණා. හවස් වරුවේ රෝෂිණීලගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න නිල්මිණිට හිතුණේ එතකොට

” කිරිබත් නං ගෙදර හදන්න ඇති.ඒත් ඉතිං ඔය කැවිලි හදන්න අද කාලේ තරුණ කෙල්ලන්ට තේරුමක් තියෙනවායැ “

නිල්මිණී කිව්වේ හවස කුමාර ගෙදර ඇවිත් කේක් කෑල්ලක රස බලන වෙලාවේ

” අර බිස්කට් පැකට් එකක් වත් අරගෙන එහේ ගිහින් එන්න නිල්මිණි. හිස් අතින් යන එක හොඳ නැහැ නේ”

නෑදෑයෙක් ගෙදර ආපු වෙලාවක දීපු බිස්කට් පැකට් එකක් කඩදාසි කවරයක දාගත්ත නිල්මිණි එළියට බැස්සා.ගේට්ටුව ඇරලා තිබුණ රෝෂිණීලගේ ගෙදර මිදුලට ඇතුළු වෙනකොටම නිල්මිණී ද දැනුණේ පුදුමාකාර නිස්කලංක හැඟීමක්

” අනේ ඔයා ආවා ද අක්කේ? “

රෝෂිණී නිල්මිණී ව පිළිගත්තේ කට පුරා හිනාවෙලා.ඒ හිනාවට මුලු හිතම පිරෙනවා කියලා නිල්මිණිට හිතුනා.ගෙට ඇතුලු වුන නිල්මිණිට දැනුනේ පුදුමයක්.ඒ තරම් ගෘහභාණ්ඩ නොපිරුණු ගෙදර තැන් තැන් වල පුංචි විසිතුරු පැළ වර්ග, බිත්ති සැරසිලි සහ ඡායාරූපවලින් සැරසිලා තිබුණා.

” හරියට පිටරට ගෙයක් වගේ “

නිල්මිණිට කියවුනා

” මේ මම ආස විදිහ අක්කේ. මට කොහොමත් ඉන්න තැන පිළිවෙළට තියෙන්න ඕනේ. එන්නකො තේ එකක් බොන්න “

රෝෂිණී නිල්මිණි ගේ අතින් අල්ලගෙන මුලුතැන්ගෙයට කැටුව ආවා.විවිධ වූ නවීන උපකරණ වලින් සම්පූර්ණ වෙලා තිබුන මුළුතැන්ගෙය නිවසේ අනෙක් තැන් මෙන්ම නිස්කලංකයි කියලා නිල්මිණිට හිතුනා

” උදේ දුන්න කේක් රසද ? “

රෝෂිණී ඇහුවෙ තේ හදන ගමන්

” ඔව්. කොහෙන්ද ? ඒවා හරියට පුලුන් වගේ රෝෂිණී.මම කාලෙකින් එච්චර රසට කේක් කෑවේ “

” කොහෙන්වත් නෙමෙයි අනේ මම හැදුවේ “

කේක් එකකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියල කියලා වත් හරියට නොදන්න තමන් ගැන නිල්මිණිට දැනුණේ තරමක ලැජ්ජාවක්

” ඒ කැවිලි ඔක්කොම මම හැදුවේ අක්කේ. තව තියෙනවා ගොඩක්. ඔයාට ඕනේ නම් මම ගෙදර අරගෙන යන්න දෙන්නං .පිඟානට තියන්න පුළුවන් වුණේ පොඩ්ඩයි නේ “

නිල්මිණි එතකොටත් හිටියේ මුළුතැන්ගෙයි ලස්සන රසවිඳින ගමන්.දවසට එක පාරක් විතර අස් කරන තමන්ගේ මුළුතැන්ගෙයි ලගින්වත් තියන්න බැරි තරුණ ගැහැණියගේ මුළුතැන්ගෙය ගැන නිල්මිණීට දැනුනේ ලෝබකමක්.රෝෂිණී එක්ක ආගිය තොරතුරු කතා බහ කරමින් ඉඳලා රසකැවිලි පාර්සලයකුත් අරගෙනයි නිල්මිණි ආපහු ගෙදර ආවේ

” ගෙදර ආව වෙලාවෙ ඉඳන් මොනවද නිල්මිණී කල්පනා කරන්නේ ? “

නිල්මිණිගේ වෙනස තේරුම් ගත්ත කුමාර ඇහුවා

” මොකුත් නෑ කුමාර “

එහෙම කියපු නිල්මිණී මුළුතැන් ගෙට ඇවිත් දොර ගාව ඉඳන් මුළුතැන්ගෙයි පුරාම ඇස් යැව්වා.දුර්වර්ණ වුණ වතුර කරාමයත් , අපිලිවෙල මේසයත් , අපිරිසිදු වුන ටයිල් ඇල්ලු බිත්තිත් නිල්මිණීගේ හිතට ගෙනාවෙ නොසන්සුන් බවක්.

” ඔයා රස්සාවක් කරන්නෙ නැද්ද රෝෂිණී ? “

තමන්ගෙ ගෙදර ඉන්නවට වැඩිය රෝෂිණීගේ ගෙදර ඉන්නකොට හිත සංසුන් වෙන බවක් දැනුන නිසා නිල්මිණී පහුවදා උදේත් රෝෂිණීලගේ ගෙදර ගියා

” මම තමයි අපේ හස්බන්ගෙ සෙකට්‍රි “

රෝෂිණී කිව්වේ පුරුදු හිනාවෙන්මයි

” ඒ කිව්වේ ? “

” මගේ හස්බන්ඩ් restaurant එකක් කරනවා. ඒකෙ වැඩ කරන අයට පඩි ගෙවන එකේ ඉදන්, restaurant එකට ගන්න බඩු ගැන බලන එක වගේ හැමදේම කරන්න හස්බන්ට උදව් කරන්නේ මම.මම ගෙදර ඉදන් ඒ වැඩ හැමදේම කරනවා .එයත් මට ඒකට පඩියක් ගෙවනවා “

” ඔච්චර දේවල් කරන්න ඔයාට වෙලාව තියෙනවද අනේ? “

” මොකද නැත්තෙ අක්කේ ? අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ .මට හොඳට කේක් හදන්න පුළුවන් එකේ මම ඉන්නේ කේක් බිස්නස් එකකුත් පටන් ගන්න “

පළවෙනි දවසේ රෝෂිණී ගේ ඇඳුම දැකලා ඇතිවුන නොරිස්සුම් සහගත හැඟීම ටිකෙන් ටික පහ වෙලා යනවා නිල්මිණිට දැනුනා.

” මටත් රෝෂිණී වගේ වෙන්න තිබුනානම් “

නිල්මිණිට හැම වෙලාවෙම එහෙම හිතුනා.රෝෂිණී ගේ ඇසුර ලබන නිල්මිණී දිනෙන් දින ම වෙනස් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ

” කුමාර , රෝෂිණීලගෙ restaurant එකට සිංහල කෑම දාන්න හිතන් ඉන්නවලු.ඔය ඇඹරැල්ලා මාළු, අඹ මාලු ,පොලොස් වගේ දේවල් මම හදනවා නම් මට සල්ලි දෙන්නම් කියලා රෝෂිණී කිව්වා.මං බැලුවේ ඒක කරන්න. ගෙදර බිල් ටික හරි ගෙවන්න මම සල්ලි ටිකක් හොයා ගත්තොත් ඒකත් ඔයාට උදව්වක් නේ “

කුමාර නිල්මිණී දිහා බැලුවෙ පුදුමයෙන්. නිල්මිණිගේ මේ වෙනසට හේතුව රෝෂිණී කියලා කුමාර දැනගත්තේ ටිකෙන් ටික පිළිවෙල වන මිදුලත් , කල එළි වෙන මුළුතැන්ගෙයත් දැකලා. තමන්ටවත් වෙනස් කරන්න බැරිවුන නිල්මිණීගේ සමහර ගති පැවතුම් තරුණ ගැහැණියක් විසින් වෙනස් කරලා තියෙන අපූරුව කුමාරට දැනුනා

” ඔයා කැමති නම් නිල්මිණි, මම ඔයාට තවත් තැන් හොයලා දෙන්නම් කෑම දාන්න “

කුමාර කිව්වේ කවදාවත් නොතිබුණු තරමේ හිනාවක් මූනට නගා ගෙනයි.

More Stories

Don't Miss


Latest Articles