“ආශා,අර ජනිත් නේද?”
ඔෆිස් ඇරිලා බස් එකක් එනකම් බස් නැවතුමේ ඉන්නකොට ආශා කැළඹුණේ ඇගේ මිතුරිය වුණු පාරමීගේ හඬට.අද රෑ වෙනතුරු ඔෆිස් එකෙන් හෙල්ලෙන්න බෑ කියපු ජනිත් ට්‍රැෆික් එකේ කාර් එක නවත්තගෙන ඉන්නේ හිනා වෙමින්.ඒ හිනාවට අනිත් අසුනේ ඉන්න ලස්සන ගෑනු ළමයත් එකතු වෙලා.
“මීටින් එකකට අනිත් බ්‍රාන්ච් එකට යනව ඇති පාරමී..”
ආශා අමාරුවෙන් වචන හොයා ගත්තේ වෙන කරන්න දෙයක් නැතිකමට.ඒත් සැකය හිත පුරා ගිනි තියද්දී.
“ඔයාව අද මම අපේ ඔෆිස් එක ගාවදිම දැක්කා.හෙල්ලෙන්නවත් ඉඩක් නෑ කියපු ඔයා කොහෙද අර ගියෙ..”
මහ රෑ වෙලා ගෙදර ආපු ජනිත්ගෙන් ආශා ඇහුවේ නොරිස්සුමට.ජනිත් ආශා දිහා බැලුවේ ඊට වඩා නොරිස්සුමකින්.
“ඩොකියුමන්ට්ස් අරන් එහෙට මෙහෙට දුවන්න වුණා මදිවට රහස් පරීක්ෂකයන්ට උත්තරත් දෙන්න වෙලා..”
ඒ තරහට ජනිත් එදා රෑට කෑවෙත් නැහෑ.ආශාටත් තිබුණේ පුදුමාකර කේන්තියක්.
“මං ඔයාට පෙන්නුවෙ දැක්ක දෙයක්නෙ.ඒක ඇතුළේ කතාව නොදැන රණ්ඩු කරන්න එපා ආශා.පොඩි රණ්ඩුවකටත් පුලුවන් පවුලක් විනාශ කරන්න..”
පහුවදා පාරමී කළෙත් ආශාට බනින එක.බොරු සැකයකට පවුලක් අවුල්.කරගන්න එක මොනතරම් මෝඩ් වැඩක්ද හිතපු ආශා ඒ සිදුවීම එහෙමම අමතක කළා.
ඒත්, ඇත්ත දෑසටම පෙනී තිබුණු බවත් ඒ මායාවක්වත් බොරු සැකයක්වත් නොවන බවත් ආශාට තේරෙන්න ගත්තේ ඉක්මනින්ම.ජනිත්ව අරහෙදි දැක්කා මෙහෙදි දැක්කා කියලා ආරංචි ගලාගෙන එනකොට ඒවා ලුහුබැඳලා ආශාට හති වැටෙන්න ගත්තා.
“දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද ජනිත් ඔයා? මොනවද මේ විකාර වැඩ?”
ආශා ජනිත්ගෙන් ඇහුවේ ඔහුගේ අනියම් සම්බන්ධය හිසරදයක් කියලා ඔහුට ඒත්තු ගන්නනන්න හිතාගෙන.ඒත් ඒ හැම වතාවකදිම ජනිත් කිව්වේ ආශාට ලොකු වැරදීමක් වෙලා.කවුරුහරි ඇයට ලොකු බොරුවක් කියලා වගේ කතා විතරමයි.
“ජනිත්,මම බබෙක් නෙවෙයි.ඔයාට ඔෆිස් එකේ රුක්ෂානි එක්ක සම්බන්ධයක් තියනව කියලා හොඳටම පැහැදිලි.ඒක මට අනුව සමාව දෙන්න පුලුවන් වරදක් නෙවෙයි.අපි දික්කසාද වෙමු.ඒත් මට කියන්න ඔයාට වෙන සම්බන්ධෙකට යන්න මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?”
හැංගි හැංගි වැඩ කිරීම කාටවත්ම සහනයක් නොවන නිසා ආශා දවසක් ජනිත්ගෙන් ඇහුවේ ප්‍රශ්නය ඉවරයක් කරන්න හිතාගෙන.තවම අවුරුදු තිස් දෙකක් වුණු තමන්ගේ ජීවිතය මෙතැනින් නැවතිය යුතු නැහැ කියලා ඇය විශ්වාස කළා.ඒත් මේ පවුල මෙහෙම බිඳ වැටෙන්න ඇගේ වරදක් තියනවද කියලා දැන ගන්න ආශාට ඕනෑ වුණා.
“මෙතන ඔයාගෙ වරදක් නෑ..”
ජනිත් එහෙම කිව්වේ සිහින් හඬකින්.ආශාට සැනසීමක් දැනුණා.
“ජනිත්,ඇත්තටම මට හිත හදා ගන්න අමාරුයි.ඔයාට ආයේ අවස්ථාවක් දෙන්න බැරි ඒ නිසා.මං අක්කට කතා කළා.මං ස්ටඩීස් කරන්නත් එක්ක පුතාවත් අරන් අක්කා ගාවට යනව.ඔයා ඒ ගෑනු ළමයව මැරි කරලා හොඳින් ඉන්න..”
රණ්ඩු දබර සාප කිරීම් නැතුව සමුගන්න හිතාගෙන ආශා ජනිත්ට කිව්වේ කරුණාවෙන්.අවුරුදු කිහිපයක් ආදරය කරල ලස්සන විවාහ මංගල්‍යයක් අරගෙන දරුවෙක් හදලා දැන් මරාගන්නේ කොහොමද? වෙන් වීම වෙන්න ඕනෑත් සාමකාමීව.ආශා ඒ විදියට හිතුවා.ඒත් එහෙම හිතපු මෝඩකම කියලා ඇයට හිතුණේ ඊටපස්සෙ.
“අපි දික්කසාද නොවී ඉමු ආශා.මෙතන මගෙත් වරදක් නෑ.රුක්ෂානා තමයි මාව සම්බන්දෙකට පොළඹව ගත්තෙ.එයා මහ ජරා ගෑනියෙක්..”
ජනිත් එහෙම කියනකොට ආශා ඔහු දිහා බැලුවේ අප්‍රසාදයකින්.
“මොකක්ද? ඔයා බබෙක්ද? ඔයාට ආදරේ කරපු කෙනෙක්ට ඔහොම දේවල් කියන්න එපා ජනිත්..”
ඒත් ජනිත් ඔහුට අවශ්‍ය ආශා බවත් රුක්ෂානාගේ කාමුක හැසිරීම තමන්ව පෙළඹවූ බවත් දිගින් දිගටම කියද්දී ආශාගේ කේන්තිය තවත් වැඩි වුණා.ඔහු අතින් වරදක් වූ බව ඇත්තක්.මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් සම්බන්ධයෙන් එවැනි දේවල් වෙන්න පුලුවන් බව ආශාට තේරෙනවා.ඒත් ජනිත් වැඩිහිටියෙක් ලෙස කතා නොකර ඔහුට ආදරය කළ ගැහැනියට වරද පැටවීම ගැන ආශාට දැනුණේ පිළිකුලක්.
“මං විතරක් නෙවෙයි ජනිත්.ඒ ගෑනු ළමයත් ඔයාට රැවටිලා.ආදරයයි ගරුත්වයයි කියන දේ ඔයා අහලවත් නෑ.නොගැලපෙන තැනකින් වෙන් වෙන්න ඕනෑ කෙනෙක්ට අයිතියක් තියනව.ඒත් තෝරා ගත්තු තැනටවත් වටිනාකමක් දෙන්න.මම ඔයාට කීයටවත් සමාව දෙන්නෙ නෑ..”
ආශා එහෙම කියලා දුරකථනය අතට ගත්තේ ඇගේ නීතිඥවරයට කතා කරන්න හිතාගෙන.