අම්මලගෙ හීන

“ටීච…”

ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි කෙල්ලෙකුට ඇඬුම්බර මුහුණක් එන්න විවිධ හේතු තියෙන්න පුලුවන් නිසා මං සනායාට කිට්ටු වුණේ ප්‍රවේසමෙන්.

“ඇයි දූ..ප්‍රශ්නයක්ද?”

සනායා මං ළඟට ආවේ රොබෝ කෙනෙක් වගේ.ඊටත් පස්සේ එයාගේ කම්මුල් දිගේ කඳුලක් වැටෙන හැටි මම බලාගෙන හිටියා.

“අද පේපර් එකක් දුන්නා කියලා අම්මට කියන්න එපා.”

මට ඉපදුණේ හිනාවක්.මේකද මේ ප්‍රශ්නෙ? මම හිතුවේ සනායාගේ ගෙදර අය එනකම් සනායාව සුදු රෙද්දකින් වහලා ප්‍රවේසම් කරන්න වෙයි කියලා.

“අද සනායාට ලකුණු අඩුයිද? නෑනේ.අසූවක්ම තිබ්බනෙ..”

මගේ ටියුෂන් පන්තියේ ළමයි මහ ගොඩක් නෑ.මුදල් උපයන බලාපොරොත්තුවක් නැතුව ටියුෂන් කරනවා කියලා කියන්න උවමනා නැතත් මගේ පන්තිය මම කරන්නේ සති අන්තයේ කම්මැලිකම හින්දා.අම්මාත් මමත් ජීවත් වෙන ලෝකේ අලුත් වෙන්නේ සති අන්තයේ අපේ ගෙදර ටියුෂන් එන පුංචි අය නිසා.සතියේ දවස් පහම ඉස්කෝලේ උගන්වන්න යන මට ජීවිතේ ඒකාකාරි නැති වුණත් ගුරු සේවයෙන් විශ්‍රාම ගිය අම්මාට දැන් තියෙන්නේ පාළු ලෝකයක්.අවුරුද්දකට කලින් අප්පච්චිට හදවත් රෝගයක් ඇවිත් හැමදෙයක්ම ඉක්මනින් අවසන් වුණු නිසා කොහොමත් අපේ ලෝකය හරිම පුංචියි.

“ඒ වුණාට අම්මා ගහයි..”

පන්තිය අවසන් වුණත් තවම සමහර දරුවෝ එක්ක යන්න දෙමාපියන් ඇවිත් නෑ.මං සනායාගේ අතකින් අල්ලාගෙන ඉඳගත්තේ ටිකක් කතා කරන්න හිතාගෙන.

“පුතේ,අසූවක් කියන්නේ හොඳ ලකුණක්නෙ.අම්මා බනින්නෙ ඇයි?”

සනායාට ඉකි ගැහෙන හැටි මං බලාගෙන හිටියේ වේදනාවෙන්.ඉස්සර ලකුණු අඩු වුණාම අම්මා ගාවට ඇවිත් මුහුණ බෙරි කරගන්න හැටි මට මතක් වුණා.

“ලකුණු සීයම ගන්න පුලුවන් නම් ඒක විබාගයක් වෙන්නෑනෙ දෝණි..ඒ නිසා ඔයාට තව ළකුණු ගන්න ඕනනම් තව හොඳට පාඩම් කරන්න..”

අම්මා මට එතකොට කිව්වේ එහෙමයි.ඒත් සනායා හොඳම ලකුණක් අරගෙනත් ගෙදර යන්න බය වෙනවා.

“ඊයේ ඉංග්‍රීසි පන්තියේ ඩික්ටේෂන් දෙකක් වැරදි.අම්මා මට හොඳටම ගැහුවා..”

මම ඒ කතාව අහගෙන හිටියේ පුදුමාකාර වේදනාවකින්.දරුවෝ ඉගෙන ගන්නේ තමන්ට පුලුවන් තරමට.හරි මාර්ගය පෙන්වා දෙන එක සහ බලහත්කාරයෙන් ඇදගෙන යාම කියන්නේ කාරණා දෙකකට.අනිත් කාරණාව තමයි දඬුවමකින් දරුවෙක් යහපතට ගන්න එක ඇත්තටම අමාරු දෙයක්.

“ඔයා හැමතිස්සෙම පාඩම් කරනවද පුතේ?”

මං ඇහුවේ සනායාගෙ මලානික මුහුණ දිහා බලාගෙන.සනායාගේ තොල් පෙරලුණේ මහා දුකකින්.ගෙදරදී පාඩම් නොකර ඉන්න බැරි බවත් අම්මාගෙන් ගුටි කන්න වෙන බවත් සනායා කියන්නේ මහා දුකකින්.

“එතකොට දූ සෙල්ලම් කරන්නෙ නැද්ද? මොකුත් විනෝදාංශයක් නැද්ද?”

මං හොයාගෙන පන්ති කාමරයට ආපු මගේ අම්මාත් කතාවට එකතු වුණා.අවුරුදු ගාණක ගුරු ජීවිතේ අත්දැකීම් තියන අම්මා මට වඩා හොඳින් මේ ප්‍රශ්න විසඳන්න දන්නවා.

“මං පොත් කියවන්න ආසයි.ඒ වුණාට කතන්දර පොත් කියවනකොට අම්මා බනිනවා..සෙල්ලම් කරන්න නම් දෙන්නෙම නෑ..”

සනායාගේ ජීවිතය මොනතරම් හිරවෙලාද? එයාගේ අම්මා එක්ක කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න හිතනකොටම තමයි සනායාගේ අම්මා ආවේ.

“පරක්කු වුණා මිස් භාග්‍යා.දැන් මෙයාට සයන්ස් ක්ලාස්.මං ලබන සතියේ කතා කරන්නම්කෝ..”

සනායාගේ අම්මා සනායාව අරගෙන ඊළඟ රේස් එකට දිව්වා.මං කල්පනා කරේ තව සතියක්ම සනායාට මේ කරදර විඳින්න වීම ගැන.ඒත් මම කතා කලත් සනායාගේ අම්මා ඒ දේවල් පිළි ගනී කියලා මට ලොකු විශ්වාසයක් නෑ.

“අපි ගිහින් එන්නම් මිස්.”

ධනුකගෙ අම්මා මට හිනා වුණේ ඒ වෙලාවේ.

“ධනුක මේ දවස්වල පොඩ්ඩක් ළකුණු අඩු කරගන්නව.මං අම්මට කියන්නමයි හිටියේ..”

මං ගුරුවරියකට සුපුරුදු චෝදනාවක් කරන්න හිතුවා.

“ඒ වුණාට ධනුක අදක්ෂ නෑ.මට දැන ගන්න ඕන මොකුත් ප්‍රශ්නයක්ද කියල විතරයි..”

මං ඊළඟට එහෙමත් කියන්න අමතක කළේ නෑ.

“මේ දවස්වල ධනුකට ක්‍රිකට් මැච්නෙ ටීච.පේන් නැද්ද කළු ගැහිලා ඉන්න තාලෙ.මෙයා දහතුනෙන් පහළ ස්කූල් ටීම් කැප්ටන් වෙලානෙ.අපි මඟ ඇරෙන පාඩම් හෙමින් අල්ලලා දෙමු නේද?”

ධනුකගේ අම්මා කියන්නේ ධනුකව තුරුලට ගන්න ගමන්.

“නියමයිනෙ ධනුක.එහෙනම් දවසක නැෂනල් ටීම් එකේ ධනුක ඉඳී නේද?”

මං ධනුකට කීවේ ආදරෙන්.ධනුකගෙ අම්මා ධනුක දිහා බලලා හිනා වුණේ ආදරෙන්.

“ඒවා කියන්න දන් නෑ මිස්.හිතුණම මියුසික් ප්‍රැක්ටිස් දුවනව.ආයේ පොත් කියෝනවා.චෙස් ප්ලේ කරන්න ගත්තම ලෝකෙම අමතකයි.ඔක්කොම පැත්තකට දාලා සර්කිට් අල්ලන් කෝලං කරනවා.ආයේ ඔය ඔක්කොම අමතක කරලා වෙලාවකට පාඩම් කරනවා..ඔහොම ගිහින් එයා එයාගෙ පාර හොයා ගනී නේද..අපි ඉතින් උදව් කරන්න බලාගෙන පස්සෙන් ඉන්නව..”

මට ධනුකගෙ අම්මා ගැන දැනුණේ පුදුමාකාර ආදරයක්.දරුවෙක් තමන්ට ඕනෑ පාරට තල්ලු නොකර තමන්ගේ පාරක් හොයා ගන්න ඉඩ දීලා බලන් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ මොනතරම් වාසනාවක් ද?

ධනුක ඒ වාසනාව ලැබුවට මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ සනායලා බව මම හිතුවේ වේදනාවෙන්.

More Stories

Don't Miss


Latest Articles