මනහර ලෝකාන්තයට සංචාරයක්

යාල, විල්පත්තු, උඩවලව වස්ගමුව ජාතික උද්‍යානවල ආකර්ෂණය අලි, කොටි, වලසුන්, මුවන්, කිඹුලන් ආදී සතුන්ය. හෝටන්තැන්න උද්‍යානයේ පවතිනුයේ ඊට හාත්පසින් වෙනස්වූ ශීතල දේශගුණයකින් යුත් දර්ශණීය වන ආවරණයක් සහිත භූමියකි. මෙම නිසල පරිසරයට පිවිසෙන සංචාරකයින්ගේ සිත්සතන් වලට ලබාදෙන සතුට හා විවේකී භාවය වචනයෙන් විස්තර කළ නොහැක.

කුඩා ලෝකාන්තය සහ මහලෝකාන්තය (World’s End) වූ කලී හෝටන් තැන්නේ දකුණු සීමාවේ පිහිටා ඇති දැඩි අගාධ සහිත මුදුන් ස්ථාන දෙකකි. කුඩා ලෝකාන්තය මුදුනේ සිට පහත ප‍්‍රපාතය මීටර් 274 වන අතර මහ ලෝකාන්තය මුදුනේ සිට ප‍්‍රපාතය මීටර් 884කි. හෝටන්තැන්නට යන බොහෝ සංචාරකයෝ ලෝකාන්ත දෙක නැරඹීමට අමතක නොකරති. අහස පැහැදිලි දිනවලදී මහලෝකාන්තයේ සිට ලංකාවේ දකුණු දිග වෙරළ තීරය දෙසට නෙත් යොමු කිරීමේදී ඈත මුහුදුකරය, උඩවලව ජලාශය චන්‍ද්‍රිකා වැව, සමනළ වැව ව්‍යාපාරය දර්ශනය වෙයි.

බෙලිහුල් ඔය තැන්නේ දකුණු දෙසින් පිහිටා ඇති විශාල ගල්පර්වතයක් මතින් ගලායමින් මීටර් 20ක් පමණ පහළට ඇදහැලෙමින් නිර්මාණය වී ඇති බේකර්ස් ඇල්ල තවතවත් ඉදිරියට ලංකාවේ දකුණු වෙරළ තීරය දෙසට ගලායයි. ඒ වලවේ ගඟයි.

හෝටන්තැන්න නැරඹීමට පැමිණෙන සංචාරකයන් තම වාහන උද්‍යාන කාර්යාලයට නුදුරින් ඇති රථගාලේ නතර කළ යුතු අතර ඉන් ඔබ්බට යායුත්තේ පාගමනිනි. පා ගමන ආරම්භ කිරීමට වඩා සුදුසු උදේ පාන්දරය. එබැවින් උදය ආහාරය, බීමට උණු තේ පැන් සහ ජලය රැගෙන යාම නුවණට හුරුය. උද්‍යාන කාර්යාලයේ සිට ප‍්‍රධාන ස්ථානයන්ට දුර: කුඩා ලෝකාන්තයට කි. මීටර් (2 1/2) දෙකහමාරක එතැන් සිට මහා ලෝකාන්තයට කි.මීටර් (4 1/2) හතරහමාරකි.

මහලෝකාන්තය සිට බේකර්ස්ඇල්ලට කි.මීටර් (01) එකක් වන අතර, බේකර්ස් ඇල්ල සිට උද්‍යාන කාර්යාලයට කි.මී. (02) දෙකකි. සම්පූර්ණ දුර කි.මී. (10) පමණ වන අතර වැඩි කලබලයකින් තොරව යන්නේ නම් ගතවනුයේ සම්පූර්ණ ගමනට පැය තුනක් හෝ 3 1/2 පමණ කාලයකි.

ගමන ආරම්භයේදීම දක්නට ලැබෙන රතුපාලම යටින් ගලායනුයේ බෙලිහුල් ඔයයි. ඒ වලවේ ගඟ ආරම්භයයි. මෝසම් වැසි කාලයේදී එම පාලම උඩින්ද ජල කඳ ගලායයි. මුල් යුගයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් පවත්වාගෙන යන ලද සිලොන් ෆිෂිං ක්ලබ් විසින් ආනයන කොට හෝටන්තැන්නේ සහ නුවරඑළිය දිය පහර වලට මුදාහරින ට‍්‍රවුඞ් මාළු විශේෂ 02න් දේදුනු ට‍්‍රවුට් මාළු විශේෂය (salmo gairdneri) බෙලිහුල්ඔය වාසභූමි කරගෙන සිටිති. මාළු බිලී බෑම සහ දඩයම විනෝදාංශය කරගෙන සිටි බි‍්‍රතාන්‍ය සුදු ජාතිකයන් ඉහත කී මාළු විශේෂයට අමතරව දුඹුරු ට‍්‍රව්ට් මාළු විශේෂය හෝටන්තැන්න සහ නුවරඑළිය ආශ‍්‍රිත ජල පහර  (Streams)  වලට මුදාහැර බෝකරන ලදි. එම වකවානුවේදී ට‍්‍රව්ට් මාළු බිලීබෑම සඳහා ෆිෂිං ක්ලබ් විසින් බලපත‍්‍ර දෙන ලදි.  ‘බෙලිහුල්’ ඔයේ (හෝටන් තැන්නේ) මාළු බෑමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවද බලපත‍්‍ර නිකුත් කළ නමුත් අතිරික්ත පරිහරණය නිසා දැනට අත්හිටුවා තිබේ.

ගමන් මගේ ඉදිරියට යනවිටදී මග ඉදිරියෙන් කිරිගල්පොත්ත තොටුපොළ කන්ද සහ අග‍්‍රාබෝපත් කඳුමුදුන් දිස්වෙයි. කිරිගල්පොත්තට යන අඩිපාර අග‍්‍රා බෝපත් කඳු යායපාමුලින් වැටී ඇත.  ගොස් ගල් පොත්තක් මත වාඩිවී අවට සිරිනරඹන ඔබට වන ආවරණයේ විවිධ ගස් විශේෂ සහ ස්ථර (Canopy of the forest)  දැකිය හැකිය. උසැතිම ගස්වන කීන හඳුනාගැනීමට අපහසු නැත. වියළි උස්බිමෙහි එක් ස්ථරයක්ද, දියපහර ඇළමාර්ග දෙපසද තවත් ස්ථරයක් නිරීක්‍ෂණය කළ හැකිය. හීන්බෝවිටියා, රෝසපාට මල් කූඩලූ, මහරත්මල්, කුරු උණ ගස් (Dwarf Bamboo), ගිනිහොට සහ විශාල මීමන ශාඛ ආදිය නැරඹීමටත් අමතක නොකරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles