සන්ධ්‍යා අල්මාරිය ඇරලා කාර්යාලයට ඇඳගෙන යන්න ඇඳුමක් තේරුවා.ඉස්සර වගේ ලස්සනට අඳින්න පලඳින්න හිත දුන්නේ නැතත් සන්ධ්‍යා තමන් ආසම ඇඳුම අතට ගත්තා
” සන්ධ්‍යා රුපියල් දාහක් තියෙනවද ? “
වසන්ත කාමරයට එබුණේ එහෙම අහගෙන
” රු.500 යි තියෙන්නේ, ඒකත් බස් එකේ යන්න විතරක් ඇති මට “
” අද පඩි නේද ? “
” අද නෙමෙයි හෙට, ඒකෙන් ගෙවන්නත් මට ණය තියෙනවා. ඔයාට නාස්ති කරන්න ඔය හැටි සල්ලි මම මවනව කියලා හිතුවද වසන්ත ? “
” අනෙ අනෙ මේ.තමුසෙගෙ බණ නම් මට කියාගෙන එන්න එපා “
වසන්ත කෝපයෙන් සාලෙ පැත්තට ගියා.වසර ගණනාවක් රියදුරෙක් විදියට සේවය කරපු වසන්තට රැකියාව අහිමි උනේ බීමතින් රිය පැදවීම නිසා.ඒ ගැන වගක්වත් නොවුණු වසන්ත තව රැකියාවක් හොයාගන්න වෙහෙසුණේ නැහැ .සන්ධ්‍යා හම්බ කරන මුදල් රණ්ඩු කරලා හරි ඉල්ලගෙන බීමට වියදම් කරන එකයි වසන්ත කලේ
” ආව වෙලාවෙ ඉදන් කල්පනා කරන්නේ ඇයි සන්ධ්‍යා ? “
කාර්යාලයට ගියත් වැඩක් කරගන්න සන්ධ්‍යාගේ හිත එකලාසයක් වුණේ නැහැ
” රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා කියලා උදේ බැංකුවෙන් ලියුමක් ආවා පාරමි.එතන මගේ මගුල් මුද්දත් තියෙනවා “
” ඉතිං හෙට පඩි හම්බ වෙනවා නේ ? “
” පඩි හම්බුනාට මොකද කඩේට ණය ගෙවන්න තියෙනවා රුපියල් අට දාහක් විතර. මේ මාසෙට කන්න බොන්න බඩු ටිකක් ගන්නත් එපැයි “
” වසන්ත දැම්ම රස්සාවක් හොයාගන්න පාටක් නැද්ද සන්ධ්‍යා ? “
” ඔහේ නෑ පාරමී. කොල්ලො දෙන්නගෙ ඉස්කෝලේ වියදම් ඉවරයක් නෑ එහෙන්. “
හෙට දවස උදා වෙනකන් සන්ධ්‍යා හිටියේ නොයිවසිල්ලෙන්.ගෙවන්න තියන ණය මතක් වෙද්දි සන්ධ්‍යා බොහො දවස් ගත කලේ නිදි වර්ජිතව
” මට හවසට රුපියල් පන්දාහක් ඕනේ සන්ධ්‍යා “
වසන්ත හවසක ඇවිත් සන්ධ්‍යාගෙන් ඇහුවෙ ඇය කුස්සියේ රෑ කෑම පිළියෙල කරමින් ඉන්නකොට
” ඒ මොකටද ? “
” මම ගිය සතියේ සුරංග ගෙන් සල්ලි වගයක් ඉල්ල ගත්තා. ඒ ටික දෙන්න එපැයි ආපහු “
වසන්ත කතා කළේ බොහොම ආත්මාර්ථකාමී විදියට.ඒ වෙලාවෙ සන්ධ්‍යාට කේන්තියට වඩා දැනුනේ දුකක්
” අනේ ඇත්තට ඔයාට ලැජ්ජාවක් නැද්ද මේ විදිහට මගෙන් සල්ලි ඉල්ල ගන්න ? ඔයාව රස්සාවෙන් අස් කළේ ඔයාගේ ඔය බීම හින්දා.දැන් වත් මනුස්සයෙක් වෙලා තව රස්සාවක් හොයාගන්න බලන්න.මට බැහැනේ මේ ගෙදර හැම වියදමක්ම දරන්න “
කඳුළක් මුසු වුණ සන්ධ්‍යාගේ ඒ කතාව කෙලවර උනේ වසන්තගෙන් එල්ලවුණ වේගවත් කම්මුල් පහරකින්.අධික ලෙස මත්පැනට ඇබ්බැහි උන වසන්තට සන්ධ්‍යා දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් වල වටිනා කමක් තිබුණෙ නැහැ
” අදත් පොල් සම්බෝලයි බිත්තරයිද අම්මේ ?”
සන්ධ්‍යාගේ බාල පුතා ඇහුව රෑ කන ගමන්.දවල් කන්න තිබුන විදියට රෑටත් කන්න තියෙනකොට දරුවෝ දෙන්නගෙම මූණු ඇකිලිල ගිහින් තිබුණා
” මම හෙට ඔය දෙන්නට කඩෙන් රයිස් ගෙනත් දෙන්නම් පුතේ.අදට ඔහොම කන්නකෝ “
කිව්වා වගේම දරුවෝ දෙන්නට උන පොරොන්දුව ඉෂ්ට කරන්න සන්ධ්‍යා අමතක කළේ නැහැ.
” මුන්ට රයිස් ගේන්න නම් සල්ලි තියෙනවා තමුසෙට , මම ඉල්ලුවාම තමයි චුරු චුරු ගාන්නෙ “
කොහෙදෝ ගිහින් ආව වසන්ත එයාගේ ගෝරනාඩුව පටන් ගන්නකොට සන්ධ්‍යා ඔහු දිහා බැලුවේ තරහින්
” තමුසෙට බොන්න සල්ලි දෙනවට වඩා මේ දරුවො දෙන්නට කෑම එකක් ගෙනැත් දෙන එක නෙමෙයිද වටින්නේ ?”
සන්ධ්‍යාගේ කීම නෑහුණා වගේ වසන්ත කාමරයට ගියා.තමන්ගේ මුදල් පසුම්බියෙන් ටිකෙන් ටික මුදල් අතුරුදහන් වෙනවා කියලා සන්ධ්‍යාට දැනුනේ දින කිහිපයකට පස්සේ.
” මගේ හෑන්ඩ් බෑග් එකේ තිබුණ රුපියල් දාහ ගත්තද වසන්ත ? “
දින කිහිපයක් තිස්සේම ඉවසාගෙන හිටපු සන්ධ්‍යා අන්තිමේදී වසන්ත ගෙන් ඇහුවා
” මම ගත්තා .ඇයි ?”
” ලොකු පුතාගේ ඉස්කෝලේ ට්‍රිප් එක යන්න දෙන්න තිබ්බ සල්ලි ඒ.කරුණාකරලා ඒ සල්ලි දෙන්න වසන්ත “
” හහ්. මුන්ට ට්‍රිප් යන්න සල්ලි දෙන්නේ පිස්සුද ? “
වසන්ත ඒ වෙද්දිත් ඉන්නේ බීමතින් කියන සන්ධ්‍යාට දැනුනා
” ඔව් ඉතින් ඒ ළමයි එහෙම වත් යන ට්‍රිප් එකක් තමයි.මොකද තමුසේ කොහෙවත් එක්කගෙන යන එකක්ද ? “
ගුටි ඇනුමකින් කෙළවර වුණ ඒ කතාබහ නිසා සන්ධ්‍යාට පහුවෙනිදා කාර්යාලයට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මුහුණේ තියෙන තැලුම් පාරේ වේදනාවට වඩා හිතේ වේදනාව සන්ධ්‍යාට දැනුනා
” ඔය සෙල්ලම හැමදාම කරන්න බැහැනේ සන්ධ්‍යා.දරුවො දෙන්නට ඉගෙන ගන්න වත් පුලුවන්ද හරියට ඔහොම මනුස්සයෙක් ගෙදර ඉන්නකොට ? “
සන්ධ්‍යා කාර්යාලයට ආවේ නැත්තේ ඇයි කියලා අහන්න පාරමි කතා කරපු වෙලාවේ , සන්ධ්‍යා ඇගේ හිතේ තිබුණ හැමදේම පාරමී එක්ක කිව්වා
” මේ මනුස්සයා බොන්න වියදම් කරන සල්ලි ඉතුරු කරගත්තනං මට මෙහෙම ණය වෙන්න වෙන්නේ නැහැ පාරමි “
” දරුවො දෙන්නට තාත්තා නැති වෙයි කියලා ඔයා ඉවසගෙන හිටියොත් වෙන්නේ ඔය දරුවො දෙන්නට අම්මාව නැති වෙන එකයි “
පාරමී කියන දේ ඇත්ත කියල වැටහෙන්න සන්ධ්‍යාට ඒ තරම් වෙලාවක් ගියේ නැහැ.තවමත් කුඩා වයසේ පසුවන දරුවන් දෙන්නට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදලා දෙන්නයි සන්ධ්‍යට ඕන කළේ.එකට කරන්න ඕනේ මොකක්ද කියලා සන්ධ්‍යා හැම මොහොතෙම කල්පනා කළා
” මම කුලියට ගෙයක් හොයනව පාරමි , පොඩි ගානක එකක් තිබ්බොත් මට කියනවද ? “
දවස් දෙකකට පස්සේ කාර්යාලයට ගිය සන්ධ්‍යා හෙමින් සීරුවෙ පාරමීට කිව්වා
” ඔයාට පුලුවන් වෙයිද තනියම හැමදේම කරගන්න ? “
” බැරිවෙන එකක් නැහැ. වසන්තට බොන්න දෙන සල්ලි කලින් ගෙවල් කුලී ගෙවන්න පුළුවන් නේ .මට ඕනේ ටික කාලෙකට හරි එයාගෙන් ඈත් වෙලා ඉන්න “
පාරමීගේත් උදව් ඇතිව කුලී ගෙයක් හොයාගන්න සන්ධ්‍යාට පුළුවන් වුණා
” මම ටික දවසකට දරුවො දෙන්නත් එක්ක වෙන ගෙදරකට කුලියට යනවා “
රෑ නිදාගන්න යනකොට සන්ධ්‍යා වසන්තට කිව්වේ ඔහුට නොකියා යන්න බැරි හින්දමයි
” මොකක් ? කවදා ඉදලත් ඔයා ඔයා මගෙන් අහන්නෙත් නැතුව තීරණ ගන්න පටන් ගත්තෙ “
” අපි දෙන්න මෙහෙම රණ්ඩු වෙනකොට ඒක දරුවො දෙන්නට හොඳ නැහැ.එයාලා තාම ඉගෙන ගන්න ළමයි.ඒක ඔයාට නොතේරුනාට මට හොඳට තේරෙනවා.ඔයා කැමති විදිහකට ජීවත් වෙන්න. අනිත් එක ඔයාට හැමදාම බොන්නයි නාස්ති කරන්නයි දෙන්න සල්ලි මට නැහැ “
” තමුසේ යන තැනක දරුවෝ දෙන්නව තියලා යනවා “
වසන්ත එහෙම කියනකොටම කවුදෝ ගෙදර දොරට තට්ටු කරන හඬ ඇහුනා.වසන්ත ට කලින් ඉස්සර වුන සන්ධ්‍යා ගිහින් දොර ඇරියා.
” වසන්ත ඉන්නවාද ? “
දොර ඉස්සරහ පෙනී හිටියේ පොලිසියේ කිහිපදෙනෙක්.වසන්ත මුහුණ අඳුරු කරගෙන සාලෙට එනකොටම පොලිසියේ කිහිපදෙනා අනවසරයෙන්ම ගෙට ඇතුලු වුණා
” වසන්ත හවස බාර් එකේදි මනුස්සයෙකුට ගහලා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා.දවස් කීපයක්ම ඒ විදිහට බාර් එකේදි රණ්ඩු එහෙම ඇතිකරගෙන තියෙනවලු.අද ගුටිකාපු මනුස්සයා තුවාල වෙලා ඉස්පිරිතාලෙ “
පොලිස් පරීක්ෂකවරයා එහෙම කියනකොට සන්ධ්‍යාට ඉබේම වසන්ත දිහා බැලුනා.
” වසන්ත යමු අපි එක්ක.නගින්න ජීප් එකට. අර මනුස්සයාට මොකක් හරි උනොත් එහෙම තමුසෙට අවුරුදු ගානක්ම හිරේ තමයි ඉන්න වෙන්නේ “
පොලිස් නිලධාරීන් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඇවිත් හිටපු නිසා වසන්තට කර කියා ගන්න දෙයක් නැති වුණා.
” මං යනවා.දරුවො දෙන්න එක්ක පරිස්සමට ඉන්න “
කවදාවත් නැතුව වසන්ත හීන් හඩින් එහෙම කිව්වේ පොලිස් නිලධාරියෙක් වසන්තගේ අත්දෙකට මාංචු දානකොට.පොලිස් ජීප් රථය ගේට්ටුවෙන් නොපෙනී යනකොට සන්ධ්‍යාට දුකකට වඩා දැනුනේ සැනසීමක්.
” දැන් වත් ඔයා හැදෙනවා නම් ඇති “
සන්ධ්‍යා හිත යටින් එහෙම කියාගෙන ගෙට ඇවිත් දොර වහගත්තේ දෑස් කොන් වල එකතුවුන කදුළු පිහදාන ගමන්