දෙබිඩි

“දුලානි,අනේ මේ ලොකර් එක ඇරලා දෙනවද?”

නිශාදි මට කතා කළේ බැගෑපත් හඬකින්.එකට රාජකාරි කරනකොට ලාච්චුවක් ඇරලා දීම වගේ දේවල් ඉතාම සාමාන්‍ය උදව් නිසා මං එයා ළඟට ගියේ ඉක්මනින්.නිශාදිගේ අත ඉදිමිලා නිසා ලාච්චුව ඇරගන්න බැරිබව මම දැක්කේ අන්න ඒ මොහොතේ.

“මොකද ළමයෝ අතට වුණේ?”

මං එහෙම අහනකොට නිශාදිගේ මුහුණේ ඇඳුණේ වේදනාත්මක හිනාවක්.එයා සාරිපොට අරන් මුහුණ පිහදාගෙන මං දිහා බැලුවා.

“අනේ ඊයේ බස් එකේ බ්‍රේක් එකක් ගහනකොට අත ඇඹරිලා ගියා.මාර අමාරුයි දුලෝ..”

මම නිශාදිගේ අත අල්ලලා බැලුවේ නොදන්න බස් ඩ්‍රයිවර් එක්ක ඉපදුණු කේන්තියෙන්.අත ඉදිමිලා තියන තරමක්! ඔහොම තමයි.සෙනඟ වැඩි වෙලාවට  ඒ මිනිස්සුන්ට කිසිම මනුස්සකමක්වත් පරිස්සමක්වත් නෑ.

“අරවින්ද අයියා බාම් ගගා සත්කාර කරන්න ඇති ඉතිං.කුරුළු ජෝඩුවනෙ.අයියට තමයි වැඩියෙන් රිදෙන්න ඇත්තේ ඕක දැකල..”

මං එහෙම කියද්දි නිශාදි ආයෙමත් හිනා වුණා.ඊටත් පස්සේ අවශ්‍ය ලිපි ගොනුව අරගෙන එයාගේ මේසෙට ගියා.

මං එහෙම කිව්වේ බොරුවට නෙවෙයි.නිශාදිත් අරවින්දත් දෙවියන් විසින් මවපු ජෝඩුවක් කියලා හිතෙන තරමට හරි ආදරණීයව ජීවත් වෙන බව අපිට තේරෙනවා.අරවින්ද කියන්නේ වැඩි කලබලයක් නැති මනුස්සයෙක්.ඒ නිසා නිශාදිගේ ජීවිතෙත් සද්ද බද්ද නැතුව ගලාගෙන යන බව මම නිතරම හිතපු දෙයක්.චානකයි මමයි තර්ක කරගන්න සමහර වෙලාවටත් මට නිශාදිව මතක් වෙනවා.නිශාදිගේ ගෙදර ගිය වෙලාවට අරවින්ද එයාට උදව් කරන හැටිත් බැල්මක පවා පෙන්වන ආදරේටත් ලෝබ හිතෙන වෙලාවල් නැතුවම නෙවෙයි.

“මේ මොකද අප්ප මේ..”

තවත් දවසක ඔලුවට ප්ලාස්ටර් එකක් අලවාගෙන ආව නිශාදිගෙන් මං ඇහුවේ පුදුමයෙන් වගේ.නිශාදිගේ කේන්දරේවත් බලවාගන්න කියන්න ඕනෑ.තිස්සෙම අරහෙමෙහෙ තුවාල වෙන්න සෙනසුරු අපලද කොහෙද?

“බාත් රූම් එකේ ලිස්සලා වැටුණනෙ දුලා..”

නිශාදි එහෙම කියන්නේ නළල අත ගාන ගමන්.මට විහිළුවක් කරන්න හිතුණේ නිශාදි ඒක හරිම කලබලයෙන් කියපු හින්දා.

“හැමදාම එක එකතැන් තුවාල කරගන්න එපා මෝඩියේ.මිනිස්සු හිතයි අරවින්ද අයියා ගුටි දීලා කියලා.අනේ මන්දා ඔයානම්..කිසිම පරිස්සමක් නෑනෙ.”

මම එහෙම කිව්වේ නිශාදිව හිනස්සන්න හිතාගෙන.ඒත් කඳුළු ගුලියක් නිශාදිගේ කම්මුල දිගේ ඇවිත් බිමට වැටුණේ මාව තිගැස්මකට ලක් කරන ගමන්.

“ඇත්තටම වෙන්නේ ඒක තමයි දුලා..”

සාරි පොටින් මුහුණ වහගත්තු නිශාදි අඬනකොට මට කරකියාගන්න දෙයක් නැතුව ගියා.මේ මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි.කරුණාවන්ත මුහුණක් තියන නිශාදිට උතුරා යන ආදරයක් පෙන්වන අරවින්ද මෙහෙම ගුටි දෙනවා කියන එක පිළිගන්න පුලුවන් දෙයක්ද?

“මගේ මැරේජ් එක ඇතුළේ තියන එකම නීතිය ඔයා දන්නවද? අරවින්දගෙ කිසිම වැරැද්දක් පෙන්නන්න බෑ.එයාට තරහ යනව.එයා කවදාවත් එයාගෙ වැරැද්දක් පිළි ගන්න කැමති නෑ.එයා ඉරට හඳ කියනවනම් ඒක හඳම තමයි..එයා ගෙදර වැඩට උදව් කරාට ඔය කාරණාව හින්දා මට මේ ජීවිතේ තිත්තයි දුලා..”

Aggressive couple arguing about their problems at home.

මට මේක අදහා ගන්නත් බෑ.නිශාදිට ගෙදර වැඩට හරිහරියට උදව් කරන අරවින්දව දැකපු දවසට මං ගෙදර එන්නේ චානකට සෝලි තියාගෙන.චානක ඉතින් පරිප්පුවක්වත් හදාගන්න දන්න මනුස්සයෙක් නෙවෙයි.මං අරවින්දව වර්ණනා කරනකොට චානක බැරි අමාරුවෙන් උයන්න උදව් කරනවා.කුස්සිය අපායක් කරලා මගෙන් බැනුම් අහනවා.ඒ වුණාට චානක කවදාවත්ම මට බනින්නේ නෑ.රණ්ඩු ඇති වෙන්න දෙන්නෙත් නෑ.

“අපි දෙන්නට දෙන්නා ආදරේ නිසානෙ කසාද බැන්දේ දුලා.රණ්ඩු වෙන්න බෑ. අපි තර්ක කරමු.එක අදහසකට එනකම්ම ඒක කිරලා මැනලා බලමු.ඒත් රණ්ඩු වෙන්න බෑ.අපි දෙන්නට එක පාරක් නැත්නම් අපි වෙන් වෙමු..”

චානක ඔය කතාව කිව්වෙ හනිමුන් එක අතරමැද.තාමත් එහෙමයි.කතාබහ කරලා නොවිසඳුණු ප්‍රශ්න ඊමේල්ස් වලින් පවා අපි විසඳාගෙන තියනවා.හැබැයි අපි කවදාවත් රණ්ඩු වෙලා නෑ.හැබැයි අරවින්ද වගේ ලෝකෙට පෙන්වන මහා ලොකු ආදරේකුත් චානක ළඟ නෑ.

“ගුටි කකා ජීවත් වෙන්නේ ඇයි නිශා..අනේ දෙයියන්ගෙ නාමෙට ඩිවෝස් වෙන්න..”

මං ඉල්ලුවේ නිශාදිට තියෙන ඇත්තම ආදරෙන්.මෙහෙම ගුටි කන්න එයා අත පල්ලෙන් වැටිලා නෑනෙ.

“මට අරවින්ද මැරි කරන්න කලින් සම්බන්දයක් තිබුණා දුලා.එයා මැරි කරන්න මාස කීපෙකට කලින් අපේ අෆෙයා එක බ්‍රේකප් වුණා.ඒ හින්දා මගෙ අම්මයි තාත්තයි හුඟාක් මානසිකව වැටුණා.අරවින්ද මාව බැන්දම එයාලා හරි සතුටු වුණා.මං මේ කසාදෙත් කඩාගත්තොත් එයාලා ආයෙම ලෙඩ වෙයි.ඔන්නොහෙ උහුලාගෙන ඉන්නව..”

නිශාදි එහෙම කියන්නේ කඳුළු උතුරන කම්මුල් පිහදාගන්න ගමන්.මම එයා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.මම චානකගෙ වැරදි අඩුපාඩු අනන්ත කියලා ඇති.ඒත් නිශාදි කවදාවත්ම කිසිම වරදක් අරවින්ද ගැන කියලා නෑ.අරවින්ද එහෙම අඩුපාඩුවක් පෙන්නලත් නෑ.

ඒත් පිටතින් පේනවට වඩා ඇතුළාන්තය මොනතරම් අමිහිරිද?

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content