තිළිණි ලැප්ටොප් එක වහලා දැම්මේ විඩාබර දෑස් පිරිමදින ගමන්.උපාධිය අවසන් කරන්න තියෙන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් නිසා තිළිණි මේ දිනවල ඕනෑවටත් වඩා මහන්සි වෙන බව ගෙදර කාටත් දැක ගන්න ලැබුණා
” තමුසේ ලයිට් දාගෙන විකාර නටන කොට මට නින්ද යන්නෙත් නැහැ “
තිළිණිගේ අක්කාවුන මේනකා සුපුරුදු නෝක්කාඩුව පටන් ගන්නකොට පාන්දර දෙකක් පහුවෙලා තිබුණා.පුංචි කාලේ ඉඳන්ම දෙන්නම නිදාගත්තේ එකම කාමරේ.ටික ටික ලොකු වෙනකොට මේනකා ඒ දේට අකමැති උනත් ඒ තරම් ලොකු නොවුන නිවසක වාසය කරපු නිසා දෙන්නටම ඉන්න සිද්ධ වුණේ එකම කාමරේ
” මොකද ලොකූ අද වැඩට යන්න අදහසක් නැද්ද ? “
රැකියාවට යන්න ලෑස්ති නොවී මේනකා සාලයේ සෝපාවේ දිගා වෙලා ඉන්නකොට කුසුමා ඇහුවේ මේනකා වෙනදාට මේ වෙලාවට යන්න ලෑස්ති වෙලා ඉන්න නිසයි
” මේක හැමදාම කරන්න බැහැනේ අම්මේ. අරයා මහා පාන්දර වෙනකන් වැඩ කරනවා ලයිට් දාගෙන.මට නිදාගන්නත් නැහැ. ඊට පස්සේ ඔෆිස් ගිහින් නිදහසේ වැඩක් කරගන්න බැහැ නිදිමතට “
” නංගිගෙ degree එක ඉවර වෙන්න තව ටික කාලයයි නේ තියෙන්නේ .මේ ටික ඉවසුවා වගේ ඔය ටිකත් ඉවසන්න පුතේ “
කුසුමා එහෙම කියනකොට මේනකා ගස්සගෙන කාමරයට ගියා.පෞද්ගලික ආයතනයක බොහොම සාමාන්‍ය රැකියාවක් කරපු මේනකාට , තිළිණිට වගේ විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණේ නැහැ.
” ඕයි. නැගිටිනවාකෝ “
තිලිනිගේ පෙරවනය බිමට ඇදල දාපු මේනකා තරමක් උස් හඬින් කතා කළා.
” මගේ නින්ද කඩල තමුසෙ මෙතන සැපට නිදි නේද ? නැගිටිනවා “
අක්කාගේ නපුරුකම් ඒ තරම් අළුත් දෙයක් නොවුනත් තිලිනිගේ හිත මේනකා නිසා හැමදාමත් රිදුනා.
” මම මීට පස්සේ සාලෙට ගිහින් මගේ වැඩ කරගන්නම්.අක්කා කාමරේට වෙලා නිදාගන්න “
මේනකාගේ නෝක්කාඩු ඉවසන්නම බැරි දවසක එහෙම කියපු තිළිණි ඇගේ පොත් පත් සහ ලැප්ටොප් එක අරගෙන සාලෙට වෙලා පාඩම් කරන්න පටන් ගත්තා. පුංචි කාලේ තමන් වාර විභාග වලට වැඩිම ලකුණු අරගෙන ඇවිත් තාත්තාට පෙන්වනකොට අක්කගෙ ඇස් වලින් ගිලිහුණ ගිනි පුපුරු තිළිණිට අද වගේ මතකයි. පාසලේ තමන් කැපී පෙනෙන ශිෂ්‍යාවක් වෙනකොට පන්තියේ මුළු ගැන්විලා හිටපු ශිෂ්‍යාවන් අතරට මේනකා එකතු වුණා.
” අක්කාට තියෙන්නෙ හීනමානයක්.ඉස්සර ඉඳලම ඔයා එයාට වඩා ඉදිරියෙන් ඉන්න එක ගැන එයා සෑහෙන්න හිතනවා තිළිණි “
සාලෙට වෙලා පාඩම් කරත් අක්කගෙ නෝක්කාඩු වල ඉවරයක් නැති තැන තිළිණි ඇගේ හොඳම මිතුරියවුණ මල්ෂා ගේ ගෙදරට ගියා
” පුංචි කාලේ ඉඳලා වැරදි කරලා ඒවට ඔයාව අහු කරලා එයා ගත්තෙත් ඒ පලියම තමයි “
මල්ෂා කතා කළේ බොහොම බැරෑරුම්ව.පුංචි කාලේ දෙමව්පියන් ගෙදර නැති වෙලාවට කැඩෙන බිඳෙන බඩු ගැන කිසිම වරදක් නොකරපු තමන්ට වගකියන්න වුණ හැටිත් , යන්තම් තරුණ වයසට එනකොට ඉදහිට ආව ආදර යෝජනා ගැන නොපමාව ගෙදරට ආරංචි උන හැටිත් තිළිණිට මතක් උනේ ඒ වෙලාවේ.
” අම්මා මේ මේසෙ උඩ තිබුණ රුපියල් දෙදාහ ගත්තද ? “
කලින් දවසක තමන් ඉගෙන ගත්ත විෂයයකින් තවත් දරුවෙකුට ටියුෂන් පන්තියක් කරලා ලැබුණු සල්ලි ,තමන් මේසෙ උඩ තිබ්බ කියල තිබුන මතකෙට තිලිනි අම්මගෙන් එහෙම ඇහුවේ සල්ලි පේන්න නොතිබුණ නිසා
” ඒක තමුසෙගෙ ද ? මම ඒක ගත්තා. මේ දවස් වල මගේ අතේ සල්ලි වැඩිය නැහැ. පඩි ගත්තම ආපහු දෙන්නම් “
තිලිනිගේ හඬට කාමරයෙන් එලියට ආවා මේනකා එහෙම කිව්වේ කිසිම ගානක් නැතිව.
” මම ඒක අම්මට දෙන්න හිටියේ අක්කේ ගෙදර වියදමට “
” හරි හරි ඉතින් නහයෙන් අඬන්නේ නැතිව ඉන්නවා.මම පඩි ගත්තම දෙන්නං කිව්වානේ “
දෙමව්පියන් තමන්ට ඉගෙන ගන්න වියදම් කරද්දී ,තමන් ඉගෙන ගත්ත දෙයින් ලැබෙන කීය හරි ගෙදරට දෙන්නයි තිළිණි පුරුදු වෙලා හිටියේ.ඒත් මේනකාට ඒ ගැන ගානක් තිබුනේ නැහැ.මාස්පතා වැටුප් ලබන ඇයගෙන් කිසිම සහයෝගයක් ගෙදරට ලැබුණේ නැහැ
” රුපියල් දෙදහක් උනත් ඕක ඔයා හම්බ කළේ මහන්සි වෙලා නේ.ඕක අක්ක ආපහු දෙන එකක් නැහැ “
වෙච්ච සිදුවීම තිළිණි කුසුමාට කිව්වට පස්සේ කුසුමා කිව්වේ එහෙම.
හිතුවටත් වඩා හොඳට උපාධියේ කටයුතු අවසන් කරපු තිළිණි ට නොහිතපු විදිහට විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් හිමිවුනා
” අපෝ ඇති යන්තම්.දැන්වත් මට මේ කාමරේ නිදහසේ ඉන්න පුළුවන් වෙයි”
තිළිණිට ලැබුණු අවස්ථාව ගැන දැනගත්තම මේනකා සතුටු වුණේ ඒ විදියට.ඒත් දෙමව්පියන් වත් තමන්ගේ අක්කා වත් දාලා විදෙස් රටකට යන්න හිත හදාගන්න බැරුව තිළිණි හිටියේ දෙගිඩියාවෙන්
” ඔයා මෙහෙ ඉගෙන ගත්තට වඩා හිත නිදහස් එහේ ගිහාම ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙයි පුතේ.ඒ නිසා ගිහින් එන්න “
තිළිණිට අම්මයි තාත්තයි දෙන්නම ආශිර්වාද කලත් මේනකාගෙන් සතුටු හිනාවක් වත් ලැබුණේ නැහැ
සති කිහිපයක් ඇතුළත තිළිණි විදෙස්ගත වෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තෙ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු ඇතිව.පසුදින රාත්‍රියේ යෙදී ඇති ගුවන් ගමනට ඕන කරන දේවල් සූදානම් කරමින් ඉන්නකොට නොදන්නා අංකයකින් තිළිණිට දුරකථන ඇමතුමක් ආවා
” අපි ඉක්මනට එන්නම් “
නොහිතපු වෙලාවක ආව දුරකථන ඇමතුම තිලිනි අවසන් කළේ ඒ විදිහට.ගැහෙන හද ගැස්මටත් වඩා වේගයකින් අම්මත් එක්ක රෝහලට ගියෙ තිළිණිට දැකගන්න ලැබුණේ වෙලුම් පටි සහිතව ඇඳක වැතිරිලා ඉන්න තමන්ගේ අක්කාවුණ මේනකාව.ඇගේ අසලින් කාර්යාලයේ මිතුරියක්ද හිටියා
” මෙයා පඩිපෙලෙන් ලෙස්සලා වැටුණා .කකුල ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නේ.ටිකක් කිව්වට ඩොක්ටර් කිව්වේ බිඳිලා කියලා. කොන්දත් ටිකක් තැලිලා “
වෙනදා තියන සැර පරුෂ පෙනුම වෙනුවට මලානික ගතියකින් යුතුව ඇඳේ වැතිරිලා ඉන්න අක්කව දැක්කහම තිළිණිට දැනුනෙ දරාගන්න බැරි තරමේ දුකක්
” ඔයා යන්න .මම අක්කා ගාව ඉන්නම් “
මේනකාගේ මිතුරියට එහෙම කියපු තිළිණි ඇය වෙනුවෙන් රෝහලේ ඇයත් එක්ක නතර වුණා.
” ඔයා හෙට දවල් වෙද්දිවත් ගෙදරින් පිටත් වෙන්න ඕනේ නේ පුතේ.මම අක්කා ගාව ඉන්නම්.ඔයා ගිහින් ටිකක් රෙස්ට් කරන්න. තාත්තාට කෑමත් හදල දෙන්න “
කුසුමා ලෑස්ති වුනේ මේනකාගේ තනියට නතර වෙන්න. වෛද්‍යවරු කියපු විදිහට මේනකාට දින ගණනාවක් රෝහලේ නතර වෙලා ඉන්න සිදු වෙන නිසාත් ,ගෙදර ගියාට පස්සෙ මාසයක් දෙකක් විවේක ගන්න සිදුවෙන නිසාත් ඇගේ සහයට කවුරුන් හෝ අවශ්‍ය වුණා.
” මම හෙට ගමන යන්නේ නැහැ “
තිළිණි කිව්වේ දැඩි හඬකින්
” හැමදේම ලෑස්ති කරලා ඉවරයි නේ ළමයො “
කුසුමා ඇහුවේ පුදුමයට පත් වෙලා
” අක්කට සනීප වෙනකන් දවස් කීයක් හරි ,එහෙම නැත්තං මාස කීයක් හරි මම එයත් එක්කම ඉන්නවා. අක්කා මෙහෙම ඇඳට වැටිලා ඉන්නකොට මට එයාව දාලා රට යන්න බැහැ “
එහෙම කියපු තිළිණි ඇඳේ වැතිරිලා හිටපු මේනකා ලඟට ඇවිත් ඇගේ හිස අතගෑවා.තදින් පියා ගත්ත මේනකාගේ දෑස් කොන්වලින් එක දිගටම කඳුළු කඩාගෙන වැටුණේ එක ලේ වල බර පපුවට තදින්ම දැනෙද්දී