උදව්ව

ෂෙරීන් ඇගේ දියණිය සඳලිව වාහනයට නග්ගගෙන වාහනය මිදුලෙන් එළියට ගන්න කොටම ඇය දැක්කේ ඉස්සරහ ගෙදර ගයනි ඇගේ දියණිය ව අතින් අල්ලගෙන ගේට්ටුවෙන් එළියට එන හැටි.වාහනය නතර කරපු ෂෙරීන් ගයනිට කතා කළා

” ගයනි.යං මාත් එක්ක.මාත් බබාව ඩේ කෙයා එකට දාන්න යන්නේ “

මුලදි අදි මදි කලත් ගයනි ඇගේ දියණිය වත් ෂෙරීන්ගේ වාහනයට නංවගත්තා.වාහනය ඇතුලත සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට ගයනිට දැනුනෙ අමුතුම හැඟීමක්

” බබා රේන්බෝ මොන්ටිසෝරි එකට නේද ගයනි යන්නේ ? “

ෂෙරීන් ඇහුවෙ රිය පදවන අතරේ.

” ඔව් . නෝනාගේ බබා මොන්ටිසෝරි යන්නේ නැද්ද ?”

” නෑ එයාට තාම දෙකයි නේ. මම මේ එයාව daycare එකට දාන්න යන ගමන් “

ෂෙරීන්ගේ සැමියා විදෙස්ගත වෙලා ඉතා හොඳ රැකියාවක් කරන බව ගයනි දන්නවා.ෂෙරීනූත් මොකක් හෝ ව්‍යාපාර කටයුත්තක නියැළෙන බව දැනගෙන හිටියත් ඒ ගැන හරි විස්තරයක් නම් ගයනි දැනගෙන හිටියේ නැහැ

” අපෝ.ඒවට ළමයි දාන්න එපා කියලා මිනිස්සු ඕන තරම් කියනවනේ නෝනා.නෝනට බැරිද බබාව බලාගන්න “

” අපි කරන්න ඕනේ අපිට පහසු දේ මිසක් , මිනිස්සුන්ට ඕන දේ නෙමෙයිනේ ගයනි “

” හරි උද්දච්ච ගෑනියෙක් ” ගයනිට හිතුනෙ එහෙම. ෂෙරීන් ගයනිවත් ඇගේ දියණියවත් පෙර පාසල ලගින් බැස්සුවේ ඇයට රසකැවිලි පාර්සලයකුත් අරන් දීලායි

” එයාලට ඉතින් සල්ලි තියෙන තරමටම ලොකු කමත් ඇති ගයනි “

ෂෙරීන් ගැන කිව්වම ගයනිගේ සැමියා පියල් කිව්වේ එහෙම.පෙදරේරුවෙකු වුන ඔහු දවසේ වියදම හොයාගත්තෙත් හරිම අමාරුවෙන්

” ඒක නෙමෙයි මම බැලුවෙ , එයාට කියලා මටත් මොකක් හරි රස්සාවක් හොයාගන්න. දන්න කියන අය සෑහෙන්න ඇතිනේ “

ගයනි කිව්වේ ඇගේ නිවසට මදක් නුදුරින් පෙනෙන ෂෙරීන්ගේ විශාල නිවස දිහා බලාගෙන

” ඒක නම් හොඳ අදහස. හෙටත් එයාල යන වෙලාවට එළියට බැහැලා බලන්න.වචනයක් දාගන්න බැරි වෙන එකක් නැහැ “

පියල් උපදෙස් දුන්න විදිහටම ගයනි පහුවදා උදේ 7:30 වෙද්දි ගෙදරින් එළියට බැස්සා.ප්‍රධාන පාරට ටික දුරක් ඇවිදගෙන යන්න ඕන නිසා ගයනි ඇගේ දියණියත් එක්ක ඇවිදගෙන ගියේ ගොඩක් හෙමින්.ඒ ගමන නැවතුනේ ෂෙරීන්ගේ වාහනයෙ හෝන් හඬින්

” නගින්න ගයනි “

ගයනි ඒ ආරාධනාව පිළිගත්තේ හිස් මුදුනින්ම

” ගයනිලා වෙනදත් මේ වෙලාවටද යන්නේ ? “

” එක එක වෙලාවට යනවා නෝනා .අටහමාරමට කලින් නේ යන්න ඕනේ . දුවව ලෑස්ති කරගත්ත ගමන් යනවා “

ගයනි මග බැලුවේ තමන්ට වුවමනා දේ කොහොම හරි ෂෙරීන්ට කියාගන්න

” ඒක නෙමෙයි නෝනා. මම පොඩි රස්සාවක් හොයනවා. මහත්තයට හම්බවෙන ගාන අපිට ටිකක් මදි “

” ගයනි මොන වගේ රස්සාවක් ද හොයන්නේ ?

” ගෙදරක වැඩක් වුණත් කමක් නැහැ නෝනා මේ යන හැටියට නම් “

” මම බලලා ගයනිට පණිවිඩයක් දෙන්නම් “

දවස් කීපයක් ගෙවිල ගියත් ගයනිට ෂෙරීන්ගේන් පණිවිඩයක් නම් ලැබුණේ නැහැ.ඇයව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ගයනි පාරට බැස්සත් ඇයව මුණගැහුණෙත් නැහැ

” රස්සාවක් හොයලා දෙන්න කිව්වා විතරයි ගෑනි අතුරුදහන් වුණා “

ගයනි කතා කලේ කේන්තියෙන්.

” ඔය සල්ලි තියෙන ලොකු ලොකු නෝනලාට මේ අපි වගේ පොඩි මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැහැ ගයනි.ඔන්න ඕක අතැරලා දාන්න.අපි වෙන විදිහක් බලමු “

පියල් කිව්වේ බුලත් විටක් හපන ගමන්

” ඔව් ඉතින්. තමන්ගෙ ළමයව බලාගන්න වෙලාවක් නැති ගෑණිට අපිට රස්සාවල් හොයල දෙන්න වෙලාවක් තියෙයිද ? “

” ඇයි එයා නෙමෙයි එයාගෙ ළමයව බලාගන්න ගයනි ? “

” හහ්. මොන පිස්සුද ? එයා හොඳට ඇඳලා කරලා මේක්අප් දාලා කොහෙද යනවා හැමදාම. ළමයව දෙනවා ළමයි බලාගන්න තැනකට “

” එයයි ළමයයි විතරයි නේද ගෙදර ඉන්නේ? “

” ඔව්. මනුස්සයත් රට ඉන්න එකේ කවුද දන්නෙ මෙයා මොනවා කරනවද කියලා “

ෂෙරීන් ගැන මහා ලොකු විස්තරයක් නොදන්න ගයනි ,ඇය තමන්ට උදව් නොකළ තරහ පිරිමහ ගත්තේ ඒ විදිහට.සමහර හවස් වරු වල මිදුල අතුගාමින් ඉන්නකොට ෂෙරීන්ගේ වාහනය ඇගේ මිදුලට ඇතුළු වන හැටිත් ,සමහර වෙලාවට පිටවෙලා යන හැටිත් ගයනි බලාගෙන හිටියේ කෝපයෙන්

” අර ගෑනි මට රස්සාවක් හොයලා දෙන්න පොරොන්දු වුණා.දැන් සද්දයක්වත් නෑ රමණි අක්කේ “

ගයනි එක දවසක් අල්ලපු ගෙදරට ගොඩ උනේ එහෙම කියාගෙන

” කොයි ගෑනිද ගයනි ? “

” ඔය ඉස්සරහා ගෙදර ඉන්නෙ “

” කවුද ෂෙරීන් ද? “

රමණි ඇහුවේ පුදුමයෙන්

” එයාගේ නම ෂෙරීන් ද ? හහ්. නමේ තියන උජාරුව බලපල්ලකෝ නේද ? “

” මොකද ගයනි ඒ මනුස්සයත් එක්ක තරහින් ඉන්නේ ? “

” මම කිව්වේ. මට රස්සාවක් හොයලා දෙනවයි කියලා දැන් සද්දයක් වත් නැහැ “

” ඒ මනුස්සයාට තියෙන වැඩත් එක්ක අමතක වෙන්න ඇති “

” මොන වැඩ ද? ළමයා වත් ළමයි බලාගන්න තැනකට දාලා ඔය කොහෙද මන්දා යන්නෙ හැමදාම . ඔහොම අම්මලා තමයි පොඩි කාලේ ළමයින්ට මව්කිරි නොදී පිටිකිරි දෙන්නේ “

ගයනිගේ කෝපාන්විත කතාවට රමණි පිළිතුරු දුන්නෙ මද හිනාවකින්

ෂෙරින් තමන්ට රැකියාවක් හොයලා දෙනවා කියලා පොරොන්දු වෙලා දැන් තමන්ව මඟහරින බව ගයනි අහල පහල ගෙවල්වල කීපදෙනෙකුටම කියමින් තමන්ගේ කෝපය මුදාහැරියා.

” ඒ මනුස්සයට අමතක නැතුව ඇති ගයනි.අද ඔහොම හිටියට බොහොම පොඩි තැනක ඉඳලා තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙච්ච ගෑනු කෙනෙක් එයා “

එහෙම කිව්වේ ගයනිගෙ ගෙදර ලඟ සිල්ලර කඩේ හිමිකාර කාන්තාව.

දවසක් හවස අනපේක්ෂිත වෙලාවක ෂෙරීන් බරැති බඩු මලු කීපයකුත් උස්සගෙන දියණියත් එක්ක ගයනිගේ ගෙදරට ගොඩ උනා.ඒ වෙලාවේ ගයනිගේ හිතට දැනුණේ මද තිගැස්මක්

” ගයනි හිතුවද දන්නෙ නැහැ මම ගයනි ඉල්ලපු උදවුව අමතක කළා කියලා “

” අනේ නැහැ නෝනා.මම දන්නවනේ නෝනා එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා “

හදවතට එරෙහිව ගයනි පිළිතුරු දුන්නා

” මම පහුගිය ටිකේ ගොඩක් බිසි වුණා ගයනි. මට ඒකයි ඔයාට කතා කරන්න වත් නිදහසක් නැති උනේ. මම ශොප් එකට ගියෙත් ටිකක් පරක්කු වෙලා. එතන ළමයි විස්සක් විසිපහක් වැඩ කරන නිසා මට තියෙන්නෙ කොහොමත් වැඩ බලලා පඩි දෙන්න විතරයි “

” ඒක තමයි මම බැලුවා නෝනා පේන්නවත් නැත්තෙ මොකද කියලා “

” මම ගයනිට රස්සාවල් කීපයක්ම බැලුවා. ඒත් මේ දරුවා වත් බලාගෙන කරන්න පුළුවන් රස්සාවක් එපැයි මම ගයනිට හොයල දෙන්න.ඒ අස්සේ මගේ ශොප් එකේ ක්ලීන් කරන්නයි තේ හදන්නයි හිටපු ආන්ටි අසනීප වුණා.එයා රත්නපුරේ පැත්තේ .එයාගේ මෙහෙ කවුරුත් නැති නිසා මම තමයි කෑම බීම ටිකත් හදලා ඉස්පිරිතාලෙට ගිහින් දුන්නෙ “

ගයනි නිහඬව ෂෙරීන්ට ඇහුම්කන් දුන්නා

” ඒ මනුස්සයට වැඩ කරන්න පුළුවන්කමක් නැති නිසා ආපහු ගමේ ගියා.ගයනි කැමතිනම් එයාගේ රස්සාව මම ගයනිට දෙන්නම් “

ෂෙරීන් එහෙම කියනකොට ගයනිට තමන් ගැනම දැනුනේ ලැජ්ජාවක්. මිනිස්සුන්ව විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ කියලා තේරුම් ගන්න ගමන් ගයනි ඇස් වලට උනපු කඳුළු පිහිද ගත්තා

More Stories

Don't Miss


Latest Articles