අතුල වෑන් රථයෙන් බැහැලා ඇවිත් ගෙට ගොඩවුනා.ප්‍රියංකා ඉස්සරහට ගිහින් ඔහුව පිළිගත්තේ පුරුද්දට
” පේන්ට් ෂොප් එකේ වැඩ වලින් අද ඉඳන් මම නිදහස් ප්‍රියංකා “
” ඒ කිව්වේ ? “
” අපේ ගමේ අර සපුමල් මතකද ? අපි ගියාම පොල් එහෙම කඩලා ගෙනත් දෙන්නේ ?”
” ඔව් මතකයි “
” මිනිහා අද කොළඹ ආවානේ.මම එයාට ශොප් එක බාර දුන්නා.දැන් ඉතින් මට අරහෙටයි මෙහෙටයි දුවන්න ඕන නෑ.හාඩ්වෙයාර් එකේ වැඩ කරගන්න පුළුවන් හෙමින් සැරේ “
ප්‍රියාංකා මොහොතකට නිහඬ උනා.ඇයට දැනුනේ අමුත්තක්
” සපුමල් එනවා කියලා ඔයා මට කිව්වෙවත් නැහැනේ අතුල? “
” මගෙන් දවස් කීපයක් ඇහුවා කොළඹ රස්සාවක් ගැන.පස්සෙ මම එන්න කිව්වා.මටත් මේවා තනියම කරගන්න අමාරුයි නේ.මිනිහට මම මේ කිට්ටුවෙන් බෝඩිමකුත් ඔන්න හොයලා දුන්නා “
අතුල කතා කලේ සැහැල්ලුවෙන්.ප්‍රියංකාගේ මුහුණේ අඳුරු වළාකුලු පාවෙන්න ගත්තේ එතකොට
” ඔයා නිකමට වත් ඔය වැඩ වලට මගෙන් උදවු ඉල්ලුවෙ නෑනේ අතුල? අනික ඒ ළමයා මෙහෙ එනව කියලවත් , ඔයා එයාට බෝඩිමක් හොයනවා කියලාවත් මම දන්නෙ නෑනෙ . ඔක්කොම උනාට පස්සේ මම දන්නේ “
ප්‍රියංකාගේ හඬේ තැවරිලා තිබුනේ ශෝකයක්
” ඔයාගේ ප්‍රශ්න ඇහිල්ල ඉවරද දැන් ? මට මේ තියන වැඩ අස්සේ කරන කියන සේරම ඔයාට කිය කිය ඉන්න ගියොත් යසට තියෙයි. ඔයා දැනුත් කරන්නේ මට උදව් කරනවා වෙනුවට චුරු චුරු ගාන එකනෙ .ඉතිං කරන වැඩක් වත් හරි යයිද “
විවාහය යනු එකිනෙකා සමඟ දුක සැප බෙදා යුතු නවාතැනක් කියලා අතුල ඒ මොහොතේ අමතක කරලා තිබුණා.ඊටත් වඩා අතුලගෙ ව්‍යාපාරය සම්බන්ධ තීරණයක් ගන්න කලින් ප්‍රියංකාගේ අදහස් ගැන විමසුවේවත් නැති එකට ප්‍රියංකාට දැනුනේ දුකක්
” අද දවල් කෑමට සපුමල් මෙහෙ එනවා”
අතුල කිව්වෙ රූපවාහිනිය නරඹන අතරේ. ආගන්තුක සත්කාරවලට කොහොමත් කැමති ප්‍රියංකා වැඩිපුර කෑම හැදුවේ බොහොම කැමැත්තෙන්.
” මස් මාළු කන්නෙ නෑ මම.මට බිත්තරයක් හදන්න “
කෑම මේසෙට වාඩි වුණ සපුමල් ගරු සරුවක් නැතිව එහෙම කියද්දී ප්‍රියංකාට ඉබේටම බැලුනේ අතුල දිහා.
” හදාගෙන එන්න ප්‍රියංකා “
අතුල බොහොම සන්සුන් හඬින් කියද්දී ප්‍රියංකා මුළුතැන්ගෙයට ගියා.
” සපුමල් පවුලේ එකම ළමයා.එයා ටිකක් එක විදිහක් “
රෑ වෙලා ගෙදර ආව අතුල එහෙම කිව්වේ ප්‍රියංකා ඉන්නේ නොරිස්සුමෙන් බව දැනුන හින්දාමයි.
” පිට ගෙදරකට ආවම හැසිරෙන්න ඕන විදිය වත් එයාට දෙමව්පියො කියලා දීලා නැහැ වගේ “
” මිනිස්සු එක එක විදිහයි නේ.ඕවා ගණන් ගන්න එපා.එය ආවෙ අපිට උදව්වට නේ “
” උදව්වට ආවට පඩියක් දෙනවනෙ අතුල අපි එයාට . ඕනාවට වඩා කරට අරගෙන පස්සේ පසුතැවෙන්න නම් හදන්න එපා “
ප්‍රියංකා එහෙම කිව්වේ අවවාදාත්මක හඬින්.සපුමල් ගේ හැසිරීම වගේම කතාබහත් ප්‍රියංකාට ඒතරම් රිස්සුවේ නැහැ
” අපේ වෑන් එකේ අලුත් ටේබල් ෆෑන් එකක් තියෙන්නෙ කාටද අතුල. මම කෑම එක වාහනේට දානකොට දැක්කේ “
හාඩ්වෙයාර් එකට යන්න කඩිමුඩියේ ලෑස්ති වෙන අතුල ළඟට ඇවිත් ප්‍රියංකා එහෙම ඇහුවා
” ආ, ඒක මේ සපුමල්ට. එයාගෙ බෝඩිමේ ෆෑන් එකක් නැහැල්ලු “
” ඉතිං ඒක අරන් දෙන්න ඕනෙත් ඔයාද ? “
” මම අරන් දුන්නා ඉතින් “
ප්‍රියංකා නිහඬ වුණේ පවුලේ මත ගැටුම් වලට පිටස්තර පුද්ගලයෙකු හේතුවක් නොවෙන්න ඕන නිසයි.
දවසක් හවස් වරුවක නිවසට ඕන කරන බඩු ගන්න ගිය ප්‍රියංකා ඒ ගමන්ම තීන්ත අලෙවිසැලටත් ගොඩවැදුණා.කැරැකෙන පුටුවේ වාඩිවෙලා මේසෙට කකුල් දෙක තියාගෙන දුරකථනයට මූන ඔබාගෙන ඉන්න සපුමල් දැක්ක ගමන් ප්‍රියංකාට දැනුනේ කේන්තියක්.
” ආ.. අක්කා ආවද ?”
ඒ තරම් ගානක් නැතිව සපුමල් ඇහුවේ දුරකථනයෙන් මූන අහකට නොගෙනමයි
” මම මේ ටවුන් එකට ආව ගමන්. අතුල අද ආවද මේ පැත්තේ ?”
” අයියා ඉදහිට ඇවිල්ල බලල යනවා.නැත්තං ඉතිං දවස් දෙකකට සැරයක් විතර ඇවිත් සල්ලි අරගෙන යනවා “
” මම මේ නිකමට ආවෙ මේ පැත්තෙන් යන හින්දා. මම යනවා සපුමල් “
ප්‍රියංකා එහෙම කියද්දි සපුමල්ගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි
” එයා හැසිරෙන්නේ නිකං ෂොප් එකේ අයිතිකාරයා වගේ. අඩුම ගානේ මට වාඩිවෙන්න කිව්වේ වත් නැහැ අතුල “
” ඉතින් ඔයා මගේ වයිෆ් නේ.ඔයා එතනට ගිහින් වාඩිවෙන්න එයාගෙන් අවසර ගන්න ඕනෙද ? “
” ඒක එහෙමයි කියමුකෝ.තමන් වැඩ කරන තැනට ගරු කරන්න වත් එයා දන්නේ නැද්ද ? මම කවදාවත් දැකලා නෑ ඔයා ඒ මේසෙට කකුල් තියාගෙන ඉන්නවා. අනික ෂොප් එකට එන මිනිස්සු මොනව හිතයිද එයා ඒ විදිහට ඉන්නකොට ? “
” අනේ ප්‍රියංකා මේ ? ඔයා මගේ වැඩවලට උදවු කරන්නෙත් නැහැ , උදව් කරන මනුස්සයාගේ අඩුපාඩුත් හොයනවා තව “
” උදව් කරන්න තිබුනා ඔයා මට එතන වෙන දේවල් කිව්වා නම්.නිකමටවත් මට කියන්න නැතිව සපුමල් ව ගෙන්නගෙන හැමදේම එයාට බාර දුන්නේ ඔයා නේ. “
” හරි කොහොමහරි එයා දැන් ඒක කරගෙන යනවනේ.ඔයා ඕවට අත නොදා ඉන්න.එයා එතන ඉන්න එක මට ලොකු පහසුවක් “
” පහසුවක්ද අපහසුවක් ද කියලා ඔයාට පස්සේ තේරෙයි . මිනිහට තියෙන්නෙම මහා කපටි පෙනුමක් “
” අනේ මේ කට වහගෙන ඉන්න ප්‍රියංකා. ගෑනුන්ට තේරෙන්නේ මොනවද ඉතින් ? ඔයාව ඕකේ තියන්න පුළුවන් කමක් තිබුණ නම් මට සපුමල් ව ගන්න වෙන්නේ නැහැනේ “
අතුල සමච්චලයට වගේ එහෙම කියනකොට ප්‍රියංකා කාමරයෙන් එලියට ආවේ අතුල ගැන උපන්න කලකිරීමෙන්.
” දැන් තීන්ත ගණන් ගිහින් නේද අතුල ?”
දවසක් හවසක අතුල ව මුණ ගැහෙන්න ආව ඔහුගේ පරණ මිත්‍රයෙක් වුණ සුබෝධ ඇහුවා
” මාස හතරකට විතර කලින් නං වැඩි වුණා .ඊට පස්සෙ නම් වැඩිවුණේ නැහැ සුබෝධ. තීන්ත ගන්නවානම් අපේ ෂොප් එකෙන් ගන්න එපැයි. මම අඩු කරල දෙනවනෙ “
අතුල එහෙම කියද්දි ප්‍රියංකා ඇවිත් සුබෝධ ට තේ පිළිගැන්නුවා
” ඒකෙන් තමයි ගත්තේ. එකකින් රුපියල් හාරසිය ගාණක් වගේ වැඩි වෙලා තිබ්බේ.බිල දාලා ඉවර නිසා මම ඉතින් අහන්න ගියේ නැහැ .එදා වැඩ කරන ළමයෙක් හිටියේ “
සුබෝධ එහෙම කියද්දී අතුලගේ මුහුණ අඳුරු වෙන හැටි ප්‍රියංකා බලාගෙන හිටියා.
” මොකක් හරි වැරදීමක් ද දන්නේ නැහැ.ඒ ළමයා ඇවිල්ල මාස එක හමාරක් දෙකක් විතර තාම . මම බලන්නම්කෝ සුබෝධ “
” ඒ ඉලන්දාරියා කොහේ කෙනෙක්ද ? හරි අමාරුකාරයෙක් වගේ.ඉස්සර අතුල ෂොප් එකේ ඉන්නකොට නං හිනා වෙලා කතා බහ කරනවානේ අඳුරන්නෙ නැති කෙනෙක් ආවත්. මේ කොල්ලා නං එහෙම නැහැ “
” අපේ ගමේ ළමයෙක්.දන්නෙ නැද්ද ඉතින් “
සුබෝධ පිටත් වෙලා ගියාට පස්සෙ අතුල කල්පනා කර කර සාලෙ එහාටයි මෙහාටයි ඇවිදින හැටි ප්‍රියංකා දැක්කත් ඇය නිහඬව හිටියා.ඊට පස්සේ වාහනයට නැගපු අතුල යන්න ගියා.ඔහු ආපහු ආවේ ගොඩක් රෑ වෙලා
” මම සපුමල්ට ගමේ යන්න කිව්වා “
ප්‍රියංකාගේ දෑස් මග හරින ගමන් අතුල කිව්වේ ඇහෙන නෑහෙන ගානට
” ඒ මොකද එක එකපාරටම ? “
” මිනිහා තීන්ත විකුණලා තියෙන්නේ එයාටත් ගානක් තියාගෙන.දවස් දෙකකට සැරයක් විතර ගිහින් ලාභ අරං එනවා ඇරෙන්න මං වැඩිය හොයන්න ගියේ නැහැ ගමේ කෙනෙක් නිසා.ඒත් වෙනදා වගේ බිස්නස් තිබුණෙ නැහැ. ඇයි ඉතින් ගිනි ගනන් වලට තීන්ත විකුණන කොට මිනිස්සු එයිද බඩු ගන්න “
” මම ඔයාට කිව්වා නේද කලින්ම ඔය ළමයව ඔතනට හරියන්නේ නැහැ කියලා ? ගමේ කෙනෙක් වුණ පලියට එහෙම රස්සාවල් දෙනවාද අතුල මිනිස්සුන්ට “
සපුමල්ට ව්‍යාපාරය බාර දෙන්න කලින් බිරිඳගෙනුත් අහන්න තිබුනා නේද කියලා අතුලට හිතුනෙ පහුගිය මාස දෙක පුරාවටම සිද්ධ වෙලා තියෙන පාඩුව ගැන හිතනකොටයි.ප්‍රියංකාව අවතක්සේරු කරපු එකට අතුල තමන්ට ම දොස් පවර ගත්තා
” මිනිහා කරලා තියෙන දේවල් වල හැටියට, එයාව නොගෙන ඔයාව ෂොප් එකේ තිබ්බනං මීට වැඩිය හොඳයි කියලා මට ගෙදර එද්දී හිතුනා ප්‍රියංකා “
අතුල කිව්වේ සුසුමක් පිට කරන ගමන්