පුංචි වීරයා

ඇයි පුතූ..”

මලක් පිපෙනවා වගේ ලස්සනට හිනා වෙවී උදේ ඉස්කෝලේ ගිය පුංචි නෙතුක ආපහු ආවේ පරවෙලා.ඉස්කෝලේ කියන්නේ එක දවසක දෙකක මතකයක් වුණු පරම්පරාවකට අයිති වෙන්න නෙතුකට සිද්ධ වුණාට අමාලිට දැනෙන්නේ දුකක්.පුතාට තව සෑහෙන කාලයක් ඔන්ලයින් ඉස්කෝලෙම යන්න වෙයි කියලයි අමාලි නම් හිතුවේ.

“අනේ දෝණි, චූටි පුතාව ඉස්කෝලෙ යවන්න එපා.බයේ බෑ..”

අම්මා එහෙම ඇමතුමක් දුන්නේ ආයෙම පාසල් විවෘත කරන තීරණය ප්‍රවෘත්ති විකාශයෙන් ඇහුණු හැටියෙමයි.කියන්න දෙයක් හිතා ගන්න බැරුව අමාලි අම්මා දක්වන හේතු සේරම අහගෙන හිටියා.

“අපේ අම්මා දැන් කීපාරක් කෝල් කරාද? නෙතුකව ඉස්කෝලෙ යවන්න එපා බයයි කියන්න..”

චාමරත් එහෙම කිව්වේ අමාලිගේ හදගැස්ම තව වාරයක් වැඩි කරන ගමන්. ඇත්තටම මේ තරම් බය හිතෙනකොට දරුවව ඉස්කෝලේ යවන්න ඕනද කියලා ආයේ ආයේ අමාලිටත් හිතෙන්න ගත්තා.

“ඔය කාලේ අපි ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්නද හිතන්නකො.මම ගෙදර එනකොට සම්පූර්ණයෙන්ම දුඹුරු පාටයි..මේ දරුවා ලැප්ටොප් එක ඉස්සරහට වෙලා ටීච කියන දේවල් කරනකොට මගෙ පපුව ගිනි ගන්නව අමා..”

චාමර එහෙම කියද්දී අමාලි නිදාගෙන ඉන්න නෙතුකගේ හිස සිප ගත්තේ ආදරෙන්.අවුරුදු හතක් මඟ බලලා නාරිවේද වෛද්‍යවරු ගණනාවක් ළඟට ගිහින් දිනාගත්තු මල් සම්පත, යන්තම් හරි හීරිමක් වුණත් අමාලි නිදා ගන්නේ නෑ.එහෙව් එකේ මේ වගේ වසංගතයක දරුවා එළියට යැව්වැකිද?

ඒත් පහුගිය කාලේ පුරාම පුතා පොඩි දේටත් කේන්තිගන්න බව අමාලි තේරුම් ගත්තා.හැමතිස්සෙම ගේ ඇතුළෙම ඉන්න එයාට මුහුදු වෙරළ,ලස්සන තැන් මඟ ඇරෙන එක ගැන අමාලිටත් තියෙන්නේ පුදුම දුකක්.

“අනේ ඉතින් පෝයට පන්සලකටවත් යන්න නැති දරුවෝ.අපි ඒ කාලේ පන්සල් ගියේ බුදුන් වඳින්නයැ.සෙනඟ ගොඩේ එහෙ මෙහෙ දුව දුව මොන සතුටකින්ද හිටියේ..”

වර්ක් ෆ්‍රොම් හෝම් දවස් අතරේ කිසිම වෙනසක් නොදැනෙන නිවාඩු එනකොට චාමර කියන්නෙත් හීල්ලුමකින්.බයිසිකලයක් පදින්නවත් දරුවා එළියට යනවට අමාලිත් බයයි.සරුංගල් යවන්න, බයිසිකල් පදින්න ඉන්න එකම සගයා තාත්තා වීම ගැන පුතාටත් සමහර වෙලාවට කේන්ති ඇති.ඇයි ඉතින් තාත්තා ආසාවකටවත් දිනන්නේ නෑනේ.හැම සෙල්ලමකම දිනුම පුතාට.

“මට ඉස්කෝලේ යන්න බෑ අම්මි..”

අමාලි අතීතෙන් මෙපිටට ආවේ පුතාගේ හීන් හඬට.ගෙදර ආපු ගමන්ම පුතාව උස්සගෙන ගියේ බාත්රූම් එකට.ඉස්සර පාසල් ඇරිලා ඇවිල්ලා සුදු ඇඳුමෙන් තැන තැන වැටෙන අම්මාගෙන් බැනුම් අහනකම් නාන්න නොයා කුස්සියේ වළං පෙරළන පොඩි කෙල්ලක් අමාලිට මතක් වෙන්නේ ඒ අතරේ.

“මාස්ක් දාගෙන ඉන්න බෑ අම්මි..”

අමාලි පුතාව සිප ගත්තේ පපුව කඩා වැටෙනකොට.ලෝකෙට වෙච්ච දෙයක්! දරුවන්ට නෙවේ මේ මුඛ ආවරණ යුද්ධෙ අමාලිටත් එපා වෙනවා.

“ඔයා මාකට් එනවද? චාමර එහෙම අහනකොට අමාලි බෑ කියන්නේ කම්මැලිකමට නෙවෙයි මාස්ක් පටලගෙන සැනිටයිසර් නාමින් යන ගමන පුදුමාකාර වෙහෙසක් අරන් එන හින්දා.

“මං ගෙදර ඉන්නං අම්මි..”

අමාලි නෙතුකගේ අතින් අල්ලන් කෑම කාමරයට ආවේ නෙතුකට බඩගිනි බව තේරුණු හින්දා.අම්මා අනලා කවන බත් කටේ පුරවා ගන්න ගමන් නෙතුක ආයේ කෙඳිරි ගානවා.

“සෙල්ලම් කරන්නත් බෑ අම්මි.යාළුවෝ ළඟ වාඩි වෙන්නත් බෑ.අනේ මං ගෙදර ඉන්නම් අම්මි..”

අමාලි බත් කුරුල්ලෙක් නෙතුකට කවලා හිස් මුදුන සිප ගත්තා.

“අම්මි කියා දෙන කතාවල ඉන්න හීරෝස්ලා ඉන්නේ පුතු..”

නෙතුක ඔලුව වනනවා.

“තව හුඟාක් කල් ගියාම ඒ කාලේ ඉන්න චූටි බබාලා අහන කතාවල හීරෝස්ලා වෙන්නේ පුතාලා..”

නෙතුක තව බත් කටක් කන්නේ ඇස් පුදුමයෙන් ලොකු කරගන්න ගමන්.

“පුතාලා මේ වගේ නරක කාලෙකත් හොඳට ඉගෙන ගන්න ඉස්කෝලෙ යනවා.දග වැඩ කරල ලෙඩ බෝ කර ගන්නේ නැතුව ඉන්න මහන්සි වෙනවා.ඒ නිසා පුතා ගැන අම්මි චුට්ටක්වත් බය නෑ.මේ වගේ කාලෙක එළියට යන පුතා අම්මිට හීරෝ කෙනෙක්..”

එක වසරේ පුංචි බබෙක් වීරයෙක් වෙච්ච එක ගැන උද්දාමයට පත් වුණු නෙතුකගේ ඇස් දිලිසෙනවා.අමාරු කාලයක අමාරු සටනක් ගෙනියන දරු පිරිසක් අතර හිඳීම ගැන ඇත්තටම එයා සතුටු වෙන දවසක් එයි කියලා අමාලි හිතුවා.

මේ වසංගත කාලයේ පිපෙන්නට තීරණය කළ මලකට අම්මා වීම,මුහුදු රල නොපෑගෙන,ගහ කොළ නොදැක උස්මහත් වෙන දරුවෙකුට අම්මා වීම,වෙසක්,දීපවාලි,නත්තල,අවුරුද්ද කියන්නේ මොනවගේද කියලා දරුවන්ට කතාවකින් උගන්වන්න වුණු අම්මා කෙනෙක් වීම ඔබටත් අභියෝගයක් තමයි.
ඒත් දරාගෙන හිනා වීම තෝරා ගන්න.

වසංගතයක සටන් කිරීම ඇත්තටම වීරකමක් තමයි.

More Stories

Don't Miss


Latest Articles