වැස්ස කෙළවරක් නැතුව ඇදගෙන වැටෙනකොට වර්ෂා වැස්ස දිහා බලාගෙන හිටියේ පුදුමාකාර ආසාවකින්.වැහි සීතල මොනතරම් සුන්දර හැඟීමක්ද? නම වර්ෂා හින්දාද මන්දා වර්ෂාට වැස්ස තරම් සුන්දර කිසිම දෙයක් මේ ලෝකේ නෑ.වැස්සට පාටක් තියෙනවා කියලා වර්ෂාට හිතෙන තරමට වැස්ස ලස්සනයි.එක එක දවස්වලට වැස්සට එක එක පාට තියෙනවා.වර්ෂා එහෙම හිතන ගමන් වැස්ස දිහා බලාගෙන හිටියා.
“තේ එකක් බොමුද?”
කසුන්ගේ හඬ ඇහෙන්නේ ඒ එක්කම.වර්ෂා වැස්සෙන් මිදිලා කසුන්ට හිනාවක් පා කරගෙන මුළුතැන්ගෙයට ගියේ කසුන්ගේ අතේ හිටිය තුරුලිගේ කම්මුලක් මිරිකන ගමන්.
“අන්න වැස්ස..”
කසුන් දෝණිට වැස්ස පෙන්නන ගමන් සින්දු කියන හැටි වර්ෂාට ඇහෙන්නේ වැස්සේ හඬටත් වඩා මිහිරි හඬකින්.
“බබාට ජර්සි එකක් ඇන්දුවද කසුන්..”
අවුරුදු තුනක තුරුලිට සීතල එච්චර ගැටලුවක් නෑ කියලා කසුන්ගෙන් උත්තර එනකොට වර්ෂා තේ කෝප්පයත් අරන් පුටුවෙන් ඉඳගන්නේ අතීතෙට පාවෙන ගමන්.තුරුලි වගේම ජනෙල් කූරු අස්සට මුහුණ ඔබාගෙන වැස්ස දිහා බලාගෙන ඉන්න පොඩි කෙල්ලක් වර්ෂාට මැවෙනවා.
“මට බෝට්ටුවක් හදන්න ඕන අම්මා..”
එයා අම්මට කියනකොට අම්මා කඩදාසියක් දීලා යන හැටි වර්ෂාට ආයේ මැවෙනවා.බෝට්ටුව හදාගන්න පොඩි ගෑනු ළමයට ඊටපස්සේ ඕන ඒ බෝට්ටුව පා කරන්න.
“කොහෙද ඔය යන්නේ?”
පිට මැදට වැදෙන සැර ගුටිය වර්ෂාට තාමත් මතකයි.වහින්න ළඟ අහසක් වගේ කඳුළු ගුලි ඇස්වල පුරෝගත්තු පොඩි ගෑනු ළමයා අම්මා දිහා බලන් හිටිය බැගෑපත් ඉරියව්ව මතක් වෙනකොට වර්ෂාට ඕන ඒ පොඩි ගෑනු ළමයා බදාගෙන සනසන්න.
“පින්නට අහු වෙලා හෙම්බිරිස්සාවක් හදා ගන්නවකො.ඊටපස්සෙ ඉස්කෝලෙ යන්නත් නෑ..”
වර්ෂාගේ අම්මාගේ ශබ්ද කෝෂයේ වැඩියෙන්ම තිබුණේ බෑ සහ එපා කියන එක අවුරුදු විසි අටක තරුණ අම්මා කෙනෙක් වුණු වර්ෂාට තවම අමතක වෙන්නේ නෑ.ගුටි නොදී වර්ෂා හදන්න බෑ කියලා අම්මා හිතුවට ඇත්තටම ඉතින් තමන් වැරදි කරෙත් නෑ නේද කියලා වර්ෂා තාමත් හිතනවා.
“වැස්සේ තෙමෙන්න එපා,හයියෙන් දුවන්න එපා, වැටිලා තුවාල කරගන්න එපා, අයිස්ක්‍රීම් අරන් දෙන්න බෑ,බත් නොකා කෙසෙල් ගෙඩි කන්න බෑ,ඉස්කෝලෙ නොයා ඉන්න බෑ…” ඒ හැම නීතියක්ම පොඩි ළමයෙකුට බර වැඩි කියලා වර්ෂාට තාමත් හිතෙන්නේ.ගුටි කාපු වාර කියන්න බැරිතරම් කියලා මතක් වෙනකොට වැස්සට වඩා හයියෙන් වර්ෂාට අඬන්න හිතෙනවා.
“අපි බෝට් එකක් හැදුවා..බෝට් ගොඩාක් හැදුවා”
තුරුලි හිනා වෙවී කියනකොට තමයි වර්ෂා ආපහු පියවි ලෝකයට එන්නේ.
“දැන් අපි බෝට්ටු යවමු..”
කසුන් තුරුලිගේ වයසට වැටිලා.
“අම්මා කුඩයක් අරන් එන්නං..ඔයාලා යන්නකො..”
කුඩයත්,තුරුලිගේ තොප්පියත් කෝකටත් කියලා ජර්සියකුත් අරගෙන ආපහු ආලින්දයට ආපු වර්ෂාට තව පොඩ්ඩෙන් සිහිය නැති වෙනවා.මෙන්න මේ තාත්තා දුවත් එක්ක වැස්සට පැනලා.
“කසුන්…”
වර්ෂා කෑගැහුවට කසුන් ඒ හඬට මෙල්ල වුණේ නෑ.මඩ නානවද,වැස්සට තෙමෙනවද එහෙමත් නැත්නම් බෝට්ටු යවනවද කියලා තුරුලිටත් හිතා ගන්න බැරි ගාණයි.
“බබා ලෙඩ වෙයි..”
වර්ෂා මොනතරම් කෑගැහුවත් කසුන් තුරුලි අරගෙන ගෙට ආවේ එයාට හිතුණාම.ඊටත් පස්සේ උණු වතුරින් හොඳට නාපු තාත්තාටත් දුවටත් බොන්න වර්ෂා කොත්තමල්ලි හැදුවා.උණු කොත්තමල්ලි බීලා තාත්තාගේ තුරුලට වෙලා තුරුලි හොඳටම නිදි.
“ඔයාටත් තිබුණනෙ තෙමෙන්න.ඒක කොච්චර ෂෝක් සෙල්ලමක්ද?”
කසුන් එහෙම කියනකොට වර්ෂා කසුන් දිහා බැලුවේ පුදුමයෙන් වගේ.වැස්සට තෙමෙන එක වර්ෂාට අනුව වැරදි වැඩක්.වැස්ස ලස්සන වුණත් බලෙන් ලෙඩ වෙන්න වැස්සට පනින්නේ මොකටද?කසුන් දූ එක්ක මේ වගේ වැඩ කරනවට වර්ෂාගේ මනාපයක් නැති තරම්.ඒත් කසුන් තුරුලිගේ නිදහස පුදුම විදියට අගය කරන තාත්තා කෙනෙක්.
“වර්ෂා,ඔයා තාම ඉන්නේ අම්මා හිර කරපු කූඩුවක.එළියට එන්න බලන්න..”
කසුන් එහෙම කියනකොට හැමවෙලාවකම ගුටි කන්න බයෙන් හිටිය පුංචි ගෑනු ළමයා වර්ෂාගේ ඇස් ඉස්සරහ මැවිමැවී පේන්න ගත්තා.අම්මාගේ නීති එකක්වත් තුරුලිට නොදා ඉන්නත්,කවදාවත්ම තුරුලිට පාරක් නොගහන්නත් වර්ෂා පරිස්සම්.ඒත් අම්මා තහනම් කරපු නරක වැඩ තුරුලි කරන හැටි දකිනකොට තමන් කලබල වෙන බව වර්ෂා නොදන්නවා නෙවෙයි.
“ළමයින්ට නීති දාන්න හොඳ නෑ කසුන්.ඒකෙන් වෙන්නේ මොනතරම් උස්මහත් වුණත් නිදහස් වෙන්න බය හිතෙන එක විතරයි.”
වර්ෂා එහෙම කිව්වේ වැස්සටත් වඩා හිත ඉකි ගහ ගහ අඬනකොට.
ඔව්..ඒකනෙ මං අපේ දෝණිට ඕනෑ දෙයක් කරලා බලන්න ඉඩ දෙන්නෙ.මං කැමති ඔයත් ඒ වෙලාවට අපිට හවුල් වෙනවට වර්ෂා..”
කසුන් එහෙම කිව්වේ වර්ෂාව තුරුළට ගන්න ගමන්.වර්ෂා කසුන්ට තුරුළු වෙලා ආයෙමත් මතක් කළේ අර ගුටි කනවට බය ගෑනු ළමයව.
“දෙමව්පියෝ වැඩි ආදරේට කියලා නීති දාලා හිර කරලා ළමයින්ගෙ හිත් තුවාල කරනව වර්ෂා.ඒක ඔයාගෙ අම්මා විතරක් නෙවෙයි අපේ රටේ අම්මලා සීයට අනූවක්ම කරන වැඩක්.ගහන්නෙ නැතුව ළමයි හදන්න බෑ කියල හිතන එකයි ළමයි කොයන්නේ වීදුරු බඩු වගේ කැඩෙන බිඳෙන ජාතියක් කියල හිතන එකයි එයාලගෙ සිරිතක් වෙලා..”
කසුන් කියන්නේ ඇත්තම ඇත්ත කියලා වර්ෂා දන්නවා.තමන් එහෙම නොවුණත් කසුන් තරමටම තුරුලිට නිදහසේ පියාඹන්න ඉඩ අරින්න වර්ෂා බයයි.
“අපිට පුලුවන් ඒ චාරිත්‍රෙ වෙනස් කරන්න වර්ෂා.ඔය සිරිත් විරිත් කියන්නෙ පැවතගෙන එන දේවල්.දරුවන්ට නීති දාන එකයි දඬුවම් කරන එකයි සිරිතක් වෙන තරමට ඇවිත් තමයි.අපේ පරම්පරාවට පුලුවන් ඒක වෙනස් කරන්න..”
වර්ෂා ඒ කතාවට එකඟ වුණේ පුදුම තරමේ සන්තෝසයකින්.