බානුක ,කාර්යාලයේ ආපන ශාලාවට වෙලා තේ එකක් තොලගාමින් ඉන්න මලිත් ළඟට ආවේ සිනාමුසු මුහුණින් .දුරකථන තිරය දිහාම බලාගෙන හිටපු මලිත්, භානුක ලඟට එනකම්ම දැක්කේ නැහැ.
” ආ මලිත්, මොනවද බං උඹ අර එෆ්බී එකේ ශෙයා කරන්නේ ? “
” ඇයි බං ? “
” කෙල්ලන්ගේ බොරු ගැනයි , වටේ යනවයි අරවයි මේවායි “
” නිකන් බන් . එහෙම විශේශයක් නෑ “
” අනේ මම දන්නැද්ද බන් උඹ ගැන.මොකද උඹ වලියක් වත් දාගත්තද ශානි එක්ක ? “
භානුක එහෙම අහද්දී මලිත් ගෙ මුහුනෙ ඇඳුනේ සමච්චල් සහගත හිනාවක්
” වලි ඉතින් නැත්තෙ කවද්ද බං . හැමදාම වලි “
” කිව්වට තරහ වෙන්න එපා බං.ඇත්තටම උඹ ඔහොම දානකොට උඹයි ශානියි ගැන දන්න ඕන කෙනෙක් හිතන්නේ උඹ ඒ දේවල් දාන්නෙ ශානිට කියලා. ඒ නිසා දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කරපන් “
තමන්ගේ හොඳම මිතුරාට භානුක ඒවගේ උපදෙසක් දුන්නත් මලිත් ඒ මොහොතේත් හිටියේ ශානිගේ හිත රිද්දන්න පුළුවන් විදියේ වදනක් මුහුණු පොත පුරාම හොයමින්
” ඔයා ඕවා එච්චර ඔළුවට ගන්න එපා ශානි.මේ වෙලාවේ ඔයා ඔයාට තියෙන ප්‍රශ්න විසඳගන්න බලන්න “
මලිත් හැමෝටම පේන්න මුහුණු පොතේ මිතුරන් අතර බෙදාගන්නා ඇණුම් පද සහිත වදන් වගේම , ඒවාට මිතුරන් පල කරන අවඥා සහගත අදහසුත් ඒ වෙනකොට ශානිගේ හිත හොඳටම රිදවලා තිබුණා
” මට තේරෙන්නේ නැහැ අමාලි.මලිත් වෙලාවකට හැසිරෙන්නේ ඕලෙවල් ක්ලාස් යන පොඩි එකෙක් වගේ. දැනටම මගෙන් කීදෙනෙක් ඇහුවද එයා මේ පෝස්ට් දාන්නෙ මා එක්ක තරහෙන් ඉන්න නිසාද කියලා “
ශානි කතා කළේ තරමක කම්පාවකින්. සාදයක් අතරතුර දී අහම්බෙන් මුණ ගැසුණු කඩවසම් තරුණයා මිතුරු මිතුරියන්ගේ මාර්ගයෙන් තමන්ට ආදර යෝජනා ගෙන එනකොට වගේම ඔහු තුළ ඇති හොඳ ගතිගුණ ගැන මිතුරු මිතුරියන්ම කියනකොට ඒ යෝජනාව භාරගන්න ශානි මැලි වුණේ නැහැ. ඒත් ඇත්තටම මලිත් සතු වුණ සමහර ගතිගුණ වෙනස් කරන්න අපහසු ඒව කියල ශානි තේරුම් ගත්තේ මාස කිහිපයකුත් ගත උනාට පස්සෙ
” ඔයා ඔය හැම වෙලේම ලයිබ්‍රරි එකට දුවන්නේ මොකටද ශානි ? “
දුරකථන ඇමතුමක් අතරතුර දී පුස්තකාලයට යන්න සූදානම් වෙන්න අවශ්‍ය බව කිව්වම මලිත් ශානිගෙන් ඇහුවේ එහෙම
” ලයිබ්‍රි යන්නේ ඉතින් පොත් ගන්න ,පොත් කියවන්න. ඒක මම සෑහෙන කාලයක් තිස්සේ කරන දෙයක්නේ මලිත්. අනික එක එක ජාතියේ පොත් කියවන්න මම පොඩි කාලේ ඉඳලම පුදුම ආසයි “
” පුදුම ආසාවල් නෙ අනේ ඔයාටත් තියෙන්නේ “
කාර්යාලයට යන එන එකට අමතරව ඉතිරි වෙන ඕනම විවේක වෙලාවක දී යාළුවන් එක්ක විනෝද වෙන්න දෙපාරක් නොහිතන මලිත්, අමුතු විදිහට හිනාවෙනකොට ශානි එතරම් ගණන් ගත්තේ නැහැ.
එක දවසක් හවසක ශානි පුස්තකාලයේන් එළියට ඇවිදගෙන එනකොට පුස්තකාලයේ ගේට්ටුවට මදක් නුදුරින් නතර කරලා තියෙන මලිත්ගේ යතුරුපැදිය අඳුනගන්න ශානිට ඒ තරම් වෙලාවක් ගියේ නැහැ.ඇය වට පිට බලන කොට කාලය දෙසට එමින් හිටපු මලිත්ව දැකගන්න ශානිට පුළුවන් වුණා
” බයික් එක මෙතන දාලා ඔයා කොහෙද ගියේ මලිත් ? ඔයා එනවා කියලවත් මට කිව්වේ නැහැනේ ?”
ශානි ඇහුවේ පුදුමයෙන්
” ඇයි මම ආපු එකේ මොකක් හරි අවුලක් තියෙනවා ද ? ඔයා එක්ක තව කවුරු හරි ආවා ද ? “
” ඉඳලා හිටලා අපේ ඔෆිස් එකේ අමාලි නම් එනවා මාත් එක්ක. අද මම තනියම ආවේ “
ශානිගේ පිළිතුරෙන් මලිත් සෑහීමකට පත්වන බවක් පේන්න තිබුණෙ නැහැ
” එහෙනම් මම කියන්නෙ නැතුව ආව එකට ඔයා මොකද නිකම් බය උනේ ? “
” කවුද අනේ බය උනේ. ඔයා බයික් එක මෙතන දාලා, අන්න අර පැත්තේ ඉඳන් ඇවිදගෙන ආවේ මොකද කියලා මම බැලුවේ “
සැක කිරීමක ආරම්භයක් දැනුනත් , මලිත් ගැන අහිතක් හිතන්න ශානි ඉක්මන් උනේ නැහැ. කොහොම වුණත් ඕනෑම පෙම්වතුන් යුවලක් අතර සිදුවෙනවා වගේ පුංචි පුංචි මතභේදාත්මක ගැටුම් ඇතිවන හැම වෙලාවකම ඒ හා සමාන දෙයක් ගැන මුහුණුපොතේ මොකක් හරි සටහනක් යොදන්න මලිත් දෙපාරක් හිතුවේ නැහැ.ඒ කිසිම දෙයක් නොදැක්කා වගේ හිටියත් බොහෝ අවස්ථාවලදී ශානි නිහඬවම ඒ දේවල් ඉවසා ගත්තා.
” අපි දැන් පොඩි ළමයි නෙමෙයි මලිත්. හැම දේකදිම ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපිට තියෙන පෞද්ගලික ප්‍රශ්න රටේ ලෝකෙ මිනිස්සු ඉස්සරහා දිග ඇරියා කියලා ඒ ප්‍රශ්න වලට අපිට විසඳුම් ලැබෙන්නේ නැහැ “
ශානි උත්සාහ කළේ මලිත් හිතාමතාම හෝ නොහිතා කරන සමහර දේවල් ගැන ඔහුට ආදරෙන් පහදල දෙන්න.සැබෑ ජීවිතයේ දී ඇතිවන ගැටලු සමාජ මාධ්‍යවල පළ කිරීම අරුත්සුන් දෙයක් කියලා ශානි විශ්වාස කළා
” මගේ ෆේස්බුක් එකේ මට ඕන දෙයක් මම දානවා.ඒක ඔයා නෙමේ අපේ අම්මා තාත්තා එපා කිව්වත් මම කරනවා “
හැම වෙලාවකදිම මලිත් ගේ පිළිතුර වුණේ ඒක
” හදන්න බැරි මිනිස්සුන්ව හදන්න නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා ශානි “
ශානි කණගාටුවෙන් ඉන්න වෙලාවට අමාලි උත්සාහ කළේ ඇගේ හිත හදන්නයි.තමන් ගැන මලිත්ගේ හිතේ මුල් කාලයේදි තිබුන ගෞරවය ටිකෙන් ටික ගිලිහිලා යන හැටි ශානි බලාගෙන හිටියේ හිස් හැගීමකින්.
” උඹ ඔය කරන වැඩෙන් වෙන්නේ ශානිට උඹව ටික ටික එපා වෙන එක බන් “
මලිත් කියන්නේ කිසිම කෙනෙක් දෙන උපදෙසක් ඒතරම් කණකට ගන්න කෙනෙක් නොවෙන බව දැන දැනත් ඔහුගේ මිතුරා වෙච්ච භානුක උත්සාහ කලෙත් මලිත්ට ඇත්ත තත්වය පහදලා දෙන්නයි
” මට කෙල්ලෙක් හොයාගන්න බැරිකමක් නැහැ බං. මටත් දැන් එපාවෙලා තියෙන්නේ “
” උඹට එපා වෙන්න ඒකි උඹට මොකක්ද කළේ කියපන්කො ? “
” ශානිගේ තාත්තා ඔය කොහෙද දුර පළාතක ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්. අම්මයි මෙයයි විතරනෙ ඉන්නෙ ගෙදර. ගොඩක් වෙලාවට මම කෝල් එකක් ගත්තොත් අම්මා ඉන්නවා කියනවා. වැඩිම උනොත් විනාඩි පහක් හරි දහයක් හරි කතා කරයි. එපා වෙනවා නේ බං “
” හරි ඉතින් එහෙම කතා කරන්න බැරි උනාට පුලුවන් හැම වෙලාවකම උඹලා දෙන්නම් මීට් වෙනවා නේ. අනික උඹත් ඔය හවසට හවසට ඔෆිස් එකෙන් පැනලා යන්නේ ඒකිව ගන්න ? “
” ඒ උනාට බං මට ඕන වෙලාවට ඒකට කතා කරන්න බැරි නම් වැඩක් තියෙනවද ? “
” ඒක එහෙමයි කියමුකෝ. ඒ කොහොම උනත් ඔය හැම ඇරියස් එකක්ම කවර් කරන්න නෙමෙයි බන් සෝෂල් මීඩියා තියෙන්නේ . පොඩ්ඩක් matured වෙයන්කෝ “
භානුක එහෙම කිව්වට පස්සෙත් මලිත් ගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි. ටික වෙලාවකට කලින් කාර්යාලයේ හදිසි රැස්වීමකට සහභාගී වන බව ශානි කෙටි පණිවිඩයකින් දැනුම් දුන්නට පස්සෙත් තමන් දිගින් දිගටම ඇයට ඇමතුම් ගත්තත් ඇය ඒ එකකටවත් පිළිතුරු නොදුන් බව මලිත් මතක් කරා. ඊට ටික වෙලාවකට පස්සෙ මලිත් මුහුණ පොතේ පළ කරපු අපහාසාත්මක සටහන දැකගන්න රැස්වීම අවසන් කරලා එන අතරතුරේදී ශානිට පුළුවන් වුණා.සමාජ මාධ්‍ය හෝ නවීන තාක්ෂණය, බැඳීමක පලුදු වීමට හේතුවක් කර නොගත යුතු බව මලිත් විසින් කිසිම දිනයක තේරුම් නොගැනීම ගැන ශානිට ආයෙ ආයෙත් දැනුනේ කණගාටුවක්
” තනිය හුරු මට මගේ ලෝකෙ තනිය තනි තනිනොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලා බිම බලාගෙන යන්න තිබුණා “
තමන් ඉතාම ප්‍රියකරන අභිෂේකා විමලවීර ගයන ඒ ගී පද පේළිය ශානිට හදිස්සියේම මතක් උනේ මලිත්ගේත් තමාගේත් සම්බන්ධය ගැන තීරණයක් ගත යුතු කාලය එළඹිලා කියලා හිතනකොටමයි