එකම පවුලේ සියලු දෙනා එකවර සියදිවි නසා ගත් අභිරහස

එකම පවුලේ 11 දෙනකු තම  නිවස තුළ ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීමට යොමු වීම කෙතරම් නම් බිහිසුණුද ? මෙම බිහිසුණු ඛේදවාචකය ගැනයි මේ කියන්න යන්නේ .මෙය වාර්තා වුයේ 2018 වසරේ ජූලි 1 වැනිදා අසල්වැසි ඉන්දියාවට අයත් නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයෙන්.වසර තුනකට පෙර සිදුවූ බුරාරි මරණවල වේදනාත්මක මතකය නැවතත්  ලෝකය පුරා පැතිර ගියේ ඉකුත්  ඔක්තෝබර් 8 වැනිදා “House of Secrets: The Burari Deaths” නමැති වාර්තා වැඩසටහන නෙට්ෆ්ලික්ස් හරහා ප්‍රදර්ශනය වීමත් සමගයි.

භාටියා පවුලේ ඛේදවාචකය

සමූහ සිය දිවි නසා ගැනීමකට ලක්වුණායැ යි ප්‍රථම ව සැලකූ මේ පවුල හැඳින්වූයේ චන්දාවත් පවුල හෙවත් භාටියා පවුල” ලෙසයි . මරණයට පත්වූ 11 දෙනා අතරින් වැඩිමහලු ම පුද්ගලයා 77 හැවිරිදි වියේ පසු වූ අතර ළා බාලතමයන්ගේ වයස අවුරුදු 15 ක්.

වයෝවෘද්ධ මව ඇතුළු ව ඇයගේ පුත්‍රයන්, දියණිය සහ ඔවුන්ගේ බිරියන්, දරුවන් ඉතා අවාසනාවන්ත ලෙස මෙලෙස මිය ගොස් තිබුණා. සිරුරු දහයක් එක ම ස්ථානයක තිබුණත්, නාරායනි දේවි නමැති වයස්ගත කාන්තාව වෙන ම කාමරයක මරණයට පත් ව තිබුණා. ඔවුන් සියල්ලන්ගේ ම අත් පා බැඳ තිබූ අතර, කන්වල පුළුන් පුරවා තිබුණා. මීට අමතර ව, සියලු දෙනාගේම මුහුණු රෙදි කඩකින් වසා තිබුණු බවත් සඳහන්. නිවසේ ජීවතුන් අතර සිටි එකම සාමාජිකයා වන්නේ පවුලේ සුරතල් සුනඛයා පමණයි

භාටියා පවුලේ සාමාජිකයන් සතු ව සිල්ලර බඩු කඩයක් සහ ප්ලයිවුඩ් ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් සාර්ථක ව්‍යාපාරික පවුලක් ලෙස බුරාරි ප්‍රදේශයේ යම් ස්ථානයක් හිමි කරගෙනත් සිටියා. ප්‍රදේශයට පොදු වූ ආර්ථික අගහිඟකම් මේ හේතුවෙන් භාටියා පවුල වටා තිබුණේ නැහැ. සෑම දිනක ම උදෑසන 6 ට ඔවුන් තම වෙළඳසැල විවෘත කිරීමට කාලාන්තරයක් තිස්සේ හුරුපුරුදුව සිට තිබෙනවා.

නමුත් මෙම ඛේදවාචකය සිදුවූ   දිනයේ දී වෙළඳසැල 7.30 වෙනතුරුත් විවෘත නොවීම නිසා ඒ ගැන බැලීමට ගිය අසල්වැසියකු හරහා යි මුලින්ම මෙම සමුහ සියදිවි නසා ගැනීම අනාවරණය වුණේ.

මෙම පවුලේ සාමාජිකයන්ට හොඳ අධ්‍යාපන පසුබිමක් තිබූ බවත් පැවසෙනවා. මිය ගිය  භවනේෂ්ගේ දියණියන් පශ්චාත් උපාධිය හදාරමින් සිටි තැනැත්තියක් වන  අතර, ලලිත්ගේ බිරිය සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියක් ද වනවා.

අත් පා සහ ඇස් ගැට ගසා පසු ව මුහුණු පවා වසා තිබීමෙන් පොලිසිය මුලින් ම සැක පහළ කළේ මෙය සාහසික මිනීමැරුම් දාමයක් බව යි. එහෙත්, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුණේ මිය ගිය 11 දෙනා ගෙන් හය දෙනකු දිවි බේරා ගැනීම සඳහා කිසිදු අරගලයක් සිදු කර නොමැති බව යි. මරණයට පත් ව සිටි 15 හැවිරිදි දරුවන් පවා ජීවිතය වෙනුවෙන් කිසිදු පරිශ්‍රමයක් දරා තිබුණේ නැහැ. සරල ව ම කිසිදු බලහත්කාරකමක් සිදු වී නොමැති බව පරීක්ෂණවලින් හෙළි වුණා. අසල්වැසියන්ට පවා කිසිදු කලබලයක සළකුණක් දැක හෝ හඬක් ඇසී තිබුණේ නැහැ. සියල්ල ම නිහඬ ව සිදුවී තිබුණා.

සමුහ සියදිවි නසා ගැනීම ආනාවරණය කර ගත් හැටි

පරීක්ෂණවලදී වසර එකොළහක් තිස්සේ ලියවුණු දිනපොත් එකොළහක් භාටියා නිවසෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. එමෙන්ම  මෙම පවුල අංක 11 ත් සමඟ විශේෂ බැඳීමකින් සිටි බවක් පෙනෙන්නට තිබුණා. ප්‍රධාන ගේට්ටුවේ පවා යකඩ කූරු 11 ක් ඇතුළත් ව තිබූ අතර, නිවසේ බිත්තියක පිටතට නෙරා එන ලෙස සවි කර තිබූ නළ 11 ත් මෙහි දී විශේෂ සැලකිල්ලකට බඳුන් වුණා.

නළ හතරක් කෙළින් අතටත්, නළ හතක් නැවුණු ස්වභාවයෙන් තිබෙන අන්දමටත්, ඒවා සැකසී තිබුණා. මියගිය 11 දෙනාගෙන් සිව්දෙනෙක් පුරුෂයන් සහ ඉතිරිය කාන්තාවන් වීම නිසා එම නළවලින් ස්ත්‍රී-පුරුෂ භාවය නිරූපණය වන බව නිගමනය වුණා. එල්ලී තිබූ මළ සිරුරු එම නළ සහිත බිත්තිය දෙසට හැරී තිබුණු බවත් සඳහන්.

 දිනපොත් පරීක්ෂා කිරීමේදී තත්ත්වය තවත් බැරෑරුම් වුණා. ඒ දිනපොත්වල කිසියම් පූජා ක්‍රමයක් ගැන සටහන්ව තිබුණා . 2007 ඇරඹුණු ප්‍රථම දිනපොතේ සිට 2018 දක්වා එකම පුද්ගලයෙක් එහි සටහන් තබා තිබුණා. මේ සටහන් සියල්ල ම තබා තිබුණේ නාරායනි-බෝපාල් යුවළගේ පුත්‍රයකු වූ ලලිත් භාටියා නැමැත්තායි .

තීරණාත්මක දිනයේ දී මරණය සඳහා සූදානම් විය යුතු ආකාරය, ඒ සඳහා භාවිත කළ යුතු ද්‍රව්‍ය, උපදෙස් ආකාරයෙන් දිනපොතේ සඳහන් ව තිබුණා. මීට අමතර ව, දෛනික චර්යාව, ආහාර ගැනීමේ පුරුදු, වෙනත් ලෞකික ක්‍රියාකාරකම් ඇතුළුව පවුලේ මූල්‍ය හා සාමාන්‍ය යහපැවැත්ම පවා සිදුවිය යුතු අන්දම අණ පණත් ආකාරයෙන් ඒ දිනපොත්වල විස්තර වුණා.

මුළු පවුල ම දිනපොතේ කරුණු අකුරට ම පිළිපැද්ද බවත් පසුකලෙක අනාවරණය වුණා. උදාහරණයක් ලෙස නිර්මාංශ නොවන ආහාර පිසීම හා අනුභවය භාටියා පවුල නවතා දැම්මා. භවනේෂ් නිවස තුළ මත්පැන් පානය කිරීමේ පුරුද්දත් අතහැරියා. පූජා නිතිපතා සිදු කිරීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්වූ අතර, ඔවුන්ගේ ව්‍යාපාරත් වර්ධනය වුණා.

 නමුත්, මේ සියල්ල ම ලලිත් භාටියා සිතාමතා ලියූ දේවල් නොවන බවක් පෙනෙන්නට තිබුණා. ඒවා ඔහු ලියා තිබුණේ ඔවුන්ගේ පියා වූ බෝපාල් සිං පවසන අන්දමට යි. බෝපාල් සිං 2007 වසරේ දී මිය ගිය අතර, ලලිත් භාටියා දිනපොත ලිවීම ආරම්භ කළෙත් ඒ වසරේදී ම යි.

 බෝපාල් සිං යනු භාටියා පවුලේ කොඳු නාරටිය බඳු පුද්ගලයා යි. පවුලේ සියලු කටයුතු සහ ව්‍යාපාර සිදුවුණේ ඔහුගේ පාලනයට යටත් ව යි. බෝපාල් සිංගේ මරණයෙන් භාටියා පවුල යම් දුෂ්කර කාලයකට මුහුණ දුන් අතර, එය වඩාත් ම බලපෑවේ ලලිත් භාටියාට යි. බෝපාල් සිංගේ ඇවෑමත් සමඟ ම ඔහුගේ ආත්මය තමාගේ ශරීරයට ආවේශ වී ඇති බවත්, ඉක්මනින් ම පවුලේ ප්‍රධානියා ලෙස තමා පිළිගත යුතු බවත්, ලලිත් භාටියා පවුලේ අනෙකුත් සාමාජිකයන්ට දැනුම් දුන්නා.

 යම් පුද්ගලයකු සැලකිය යුතු මට්ටමක මානසික කම්පනයකට මුහුණ දුන් පසුත්, ඔහු හෝ ඇයට නිසි ප්‍රතිකාර නොලැබේ නම්, එම තත්ත්වය සයිකෝසියාව නම් සංකූලතා මට්ටම දක්වා වර්ධනය විය හැකි බව බුරාරි මරණවල පර්යේෂණයන්ට සම්බන්ධ වූ පර්යේෂකයන් පවසනවා. සයිකෝසියාවෙන් පෙළෙන පුද්ගලයකුට තම ජීවිතයේ සිදුවෙමින් පවතින දේ ගැන තර්කානුකූල ව සිතා කටයුතු කිරීමේ හැකියාව අහිමි වෙනවා. එවැනි පුද්ගලයන් යම් විශ්වාසයක් මත තදින් ම එල්බ ගෙන සිටින අතර, ඔහුට හෝ ඇයට අද්භූත හඬවල් පවා ඇසෙන්නට පුළුවන්.

කාලයත් සමඟ ලලිත්ගේ මානසික ස්වභාවය පවුලේ අනෙක් සාමාජිකයන්ටත් ආරෝපණය වූ බව විෂය ප්‍රවීණයන් අනුමාන කරනවා. ඔවුන් එය හඳුන්වන්නේ “Shared psychosis” තත්ත්වයක් ලෙසට යි. එහිදී සයිකෝසියා තත්ත්වයෙන් සිටින පුද්ගලයා තම සමීපතමයන් අතර තමාගේ මායාව හෝ මුළාව බෙදා ගැනීම තුළින් නිරෝගී පුද්ගලයන්ටත් බලපෑම් එල්ල කරනවා. නමුත්, “Shared psychosis” තත්ත්වය ඉතා දුර්ලභ බව සැලකෙනවා. අවාසනාවට භාටියා පවුල ඒ දුර්ලභ සංසිද්ධියට හසු වුණා.

 එම තීරණාත්මක දිනයේ දී ඔවුන් සිය දිවි නසා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් බව පරීක්ෂණ හරහා නිගමනය කෙරුණා. මිය ගිය පියා හරහා ඔවුන්ට යම් ආත්මීය ගැලවීමක් හෝ අනාගතය වඩාත් සුරක්ෂිත කර ගැනීමක් සඳහා තීරණාත්මක ආගමික වතාවතකට සහභාගී වී එය වැරදීමෙන් මෙම මරණ සිදුවූ බව අනුමාන කළා. එසේ නම්, මෙය සිය දිවි නසා ගැනීමක් ලෙස හැඳින්විය නොහැකි යි. අවසානයේදී බුරාරි ප්‍රදේශයේ සිදුවීම “අහඹු වශයෙන් සිදුවූ සමූහ මරණ” ලෙස පොලිස් වාර්තාවලට ඇතුළත් වුණා.

බුරාරි මරණ  මිත්‍යාව නිසා සිදුවූ ඛේදවාචකයක් ලෙස ප්‍රසිද්ධ වුණත්, ඒ පිටුපස ඉතා ගැඹුරු මනෝ විද්‍යාවක් පවතිනවා. මෙම සමුහ මරණ තුළින් ලොවට කියාපාන්නේ මානසික සෞඛ්‍යය කිසිදා අවතක්සේරු නොකළ යුතු බවයි 

Related Articles

Don't Miss


Latest Articles