“පාරමී..ඔයාට අපේ පුතා ලැප්ටොප් එකක් අරන් දුන්නද?”
දේශන ශාලාවෙන් පිටතට ආපු ගමන් මාලකගේ අම්මාගේ ඇමතුමට පිළිතුරු දුන්න පාරමීට ඒ වගේ අමුතු ප්‍රශ්නයකට පිලිතුරු බඳින්න සිද්ධ වුණා. පාරමීගේ උපන් දිනය තිබිලා සතියක්වත් නෑ.මාලක පාරමීට හොඳ වර්ගයේ ලැප්ටොප් එකක් තෑගි කළේ හරිම ආදරෙන්.
“මං තාත්තට කියලා එකක් ගන්න හිටියේ මාලක අයියේ..”
පාරමී එහෙම කියද්දී මාලක ආදරණීය හිනාවකින් උත්තර දුන්නා.පාසල් ප්‍රේමය තාමත් පරිස්සම් කරගෙන ඉන්න පාරමීට මාලක තවමත් ඉස්සර තරමටම ආදරෙයි.මාලක පාරමීට වඩා වසර කිහිපයක් වැඩිමහල් වීම නිසා විවාහය පමා කරන්න වුණත් පාරමීගේ සරසවි ගමන නිම වෙනකන් ඔහු බලාගෙන හිටියේ ආදරණීය ඉවසීමකින්.
“මම දැන් හොඳ ජොබ් එකක් කරන නිසා ඕන දේවල් කියන්න ඕන හොඳද?”
උපාධිය අවසන් කරලා හොඳ වැටුපක් එක්ක රැකියාවට ගියාම මාලක පාරමීට නිතරම කිව්වා.ඒත් පාරමී මාලකගේ මුදල් වියදම් කරන්න කැමති කෙල්ලක් නෙවෙයි.
පාරමීගේ ලැප්ටොප් පරිගණකය හදන්න බැරි මට්ටමට කැඩෙන්නේ පාරමීට වැඩ ගොඩක් පාඩු කරමින්
“මං එකක් අරන් දෙන්නම්..”
පාරමී එහෙම යෝජනා ප්‍රතික්ෂේප කළේ මාලකගේ මුදල් නාස්ති කරන්න තියන අකමැත්ත නිසාමයි.
“පාරමී..මේක මේ සල්ලි නාස්තියක් නෙවෙයිනෙ.මං ඔයාට අරන් දෙන්න හදන්නේ අත්‍යවශ්‍ය දෙයක්..”
ඒත් පාරමී ඒකට ඇහුම්කන් දුන්නේ නෑ.ඒ නිසාම ඇයට උපන්දිනයට තෑග්ගක් විදියට ලැප්ටොප් එකක් අරන් දෙන්න මාලක තීරණය කළා.
“ලක්ෂ ගණන්වල තෑගි ගන්න ලැජ්ජ නැද්ද ළමයො..”
එහෙම පටන් ගත්තු බැනිල්ල පාරමීගේ ඇස් දෙකට කඳුළු එනතුරුම පවත්වාගෙන යන්න මාලකගේ අම්මාට පුලුවන් වුණා.පාරමීට දැනුණේ පුදුමාකාර ආත්මානුකම්පාවක්.
“මාලක අයියා අම්මා එක්ක මට බනින්න ඇති..”
පාරමී එහෙම හිතුවා.
“මං ඔයාගේ සල්ලි අරන් ආවා ..”
ඊලඟ දවසෙ පාරමී මාලක අතට සල්ලි දෙනකොට මාලක ඒ දිහා බැලුවේ පුදුමයෙන්.සැලකිය යුතු මුදලක් තමන් අතේ තියන්න පාරමී තීරණය කළේ ඇයි කියලා ඔහුට හරිම පුදුමයි.ඒත් හැමදේටම හේතුවක් තියනව කියලා මාලක දන්නවා.
“අලුත් ලැප්ටොප් එකක් ගත්තද?”
අම්මා එහෙම ඇහුවේ මුහුණ අමුතු කරගෙන කියලා මාලක සිහි කළා.අම්මා ඒක දැනගත්තේ කොහොමද කියලා මාලක කල්පනා කරද්දී අම්මා ඒකට උත්තරය දෙමින් පොඩි වුණු බිලක් මාලකගේ අතට දුන්නා.
“මේක තිබුණේ ඔයාගේ ඩස්ට්බින් එකේ..”
අවුරුදු විසි හතක කොල්ලෙකුගේ ඩස්ට් බින් එකත් ඇදලා බලන්න තරම් අම්මා ප්‍රාථමික වීම ගැන මාලකට පුදුමාකාර තරහක් ආවාත් ඔහු ඉවසන්න තීරණය කළා.
“අම්මා..ඕක මම ඔෆිස් එකේ ළමයෙක්ට ගත්තු එකක්.ඒ ළමයා දන්නේ නෑ ලැප්ටොප්ස් ගැන..”
ෂේප් න්‍යායේ උත්තර හරි නොයන බව කියවුණේ අම්මාගේ ඇස් දෙකෙන්.අම්මා මාලක ළඟට ආවෙ දරුණු රැවීමක් එක්ක.
“ඇයි බොරු කියන්නේ?”
අම්මා එහෙම අහන්නේ දෑත් බැඳගෙන.මොනවා වුණත් අම්මාට තමන්ගේ පෞද්ගලික දේවල් හොයන්න නොදී ඉන්න මාලක තීරණය කළේ අම්මාගේ දෑසේ ඇඳෙන තද බැල්ම දිහා බලාගෙන.
“මං පාරමීට කෝල් කරා.ඔයා එයාට ලැප්ටොප් එකක් අරන් දුන්නා කියලා ඒ ළමයා පිළි ගත්තා..”
අම්මා කියන්නේ ලෝකයේ ලොකුම හොරාව අල්ලා ගත්තු තරම් සන්තෝසයකින්.මාලක අම්මා දිහා බැලුවේ තදබල කලකිරීමක් ඇස්වල අලවාගෙන.
“අම්මේ,පාරමී බලෙන් ඉල්ලා ගත්තු දෙයක් නෙවෙයි ඒ.එයාගේ ලැප් එක කැඩිලා නිසා ඒ ළමයට කැම්පස් එකේ වැඩ කරන්න ලැප්ටොප් එකක් ඕන..”
මාලක එහෙම කියනකොට පාරමීගේ අම්මා තාත්තාට ඇස් කන් නැද්ද කියලා මාලකගේ අම්මා ඇහුවේ සමච්චලේට.
“මේ වෙලාවේ එයාලා පාරමීගේ ස්ටඩීස්වලට ගැළපෙන තරමේ ලැප්ටොප් එකක් ගන්න මට්ටමක නෑ.පාරමී හොඳට ඉගෙන ගත්තම ඒක බලපාන්නෙ මගේ අනාගතේටමයි අම්මෙ.එයා ඉගෙනීම පාඩු කරගන්නවට මම අකමැති ඒකයි.අනිත් එක ඒ මම ආදරේ කරන කෙනා.එයාට කරදරයක් වුණාම මං මට පුලුවන් හැටියට උදව් කරන්න ඕන.මං අම්මගෙ සල්ලිවලින් කිසි දෙයක් ගත්තෙ නෑනෙ.මේ මගේ සල්ලි.මගේ වියදම් ගැන හොයන්න ඩස්ට්බින් අවුස්සන එක ඇත්තටම හරි කැත වැඩක් අම්මේ..”
මාලක එහෙම කිව්වට අම්මා ඒ කතාව පිළි නොගන්න බව මාලක දන්නවා.ඒත් තමන්ගේ කැමැත්තට කරන දේ ඕනෑවට වඩා ප්‍රශ්න කරන අම්මා කියන පදයට නටන්න මාලකගේ කැමැත්තක් නෑ.මමාස් බෝයි කෙනෙක් වීම පාරමීගේ අනගතයට වගේ තමන්ගේ පෞරුෂයටත් කැළලක් කියලා මාලක කල්පනා කරා.
“ඔයා ඔය සල්ලි අරන් ආවේ අපේ අම්මගෙ බැනුම් අහලා කියලා මං දන්නව පාරමී.කෝ ඔයාගේ කරේ තිබුණු චේන් එක?”
මාලක එහෙම අහනකොට පාරමීගේ ඇස් අගින් කඳුළක් බිමට වැටුණා.
“පාරමී..තමන් ආදරේ කරන කෙනාට අසීමිත වියදම් පටවන එකයි හදිස්සියක් වෙලාවට එයාව විශ්වාස කරන එකයි කියන්නේ කාරණා දෙකකට.ඔයාගේ මාල උකස් කරලා ඉගෙන ගන්න දේවල් ගන්න ඕන නෑ.මං ඉන්නේ ඔයාට උදව් කරන්න.අපි මැරි කරාමත් අපි දෙන්නට දෙන්නා උදව් කරගෙන තමයි අපිට ඒ ගමන යන්න වෙන්නේ.සල්ලි,කාලය ඔය හැමදෙයක්ම අපිට අනිත් කෙනාගේ හදිසි වෙලාවකදී දෙන්න සිද්ධ වෙයි.ආදරේ කියන්නේ ඒකට.රැවටීමයි ආදරෙයි ගැන මම දන්නවා..”
මාලක එහෙම කියනකොට පාරමීගේ මුහුණේ කළු වළාකුළු ඈතට පා වුණා.
“අපේ අම්මා ඔයාගෙයි මගෙයි ජීවිතේ මැද්දට ගෙනල්ලා ඔයාට රිද්දන් නෑ කියලා මං පොරොන්දු වෙනවා.දැන් ඉතින් එන්න..අපි ඔය මාලේ බේරාගන්න යං”
මාලක එහෙම කියලා බංකුවෙන් නැගිට්ටේ පාරමීට නැගිටින්න අත දෙන ගමන්.ආදරේ කියන්නේ එහෙම දරා ගනිමින් යන ගමනකට නේද කියලා පාරමී හිතන්න පටන් ගත්තා.