අනුන්ගෙන් අහන්න හොඳ නැති, අහනවට අකමැති දේවල්

අල්ලපු ගෙදර සිට අනෙක් සියලු අසල්වැසියන් අපි දන්නා හඳුනන අය. රැකියා ස්ථානයේ දිනපතා මුණගැහෙන්නේ අපි දැන හඳුනාගත් අය. හැමදාම වැඩට යන බස් එකේ ඉන්නෙත් අපි දැන හඳුනාගත් අය. හිතවත්කම් පවත්වන යම් යම් සීමාකම් තිබුණත් පොදුවේ ඒ හැම කෙනෙක් ගැන ම යම් යම් තොරතුරු අපි දැනටමත් දන්නවා.ඒ අයත් අපිව දන්නවා. හැමතැනකම කොයි විදියකින් හරි හඳුනාගත් මිතුරු මිතුරියන් අපි කාටත් ඉන්නවා. ඒත් පවුලේ සාමාජිකයන් නොවන ඒ හැම කෙනෙක් ම අනුන්. අනුන් කියන්නේ අන්‍යයන්, සෙස්සන්, තමන්ගේ නොවන අයවලුන් කියන එකයි.

ඉතින් ඒ අය එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්නනම්, පැහැදීමක් ඇතිවන අයුරින් කටයුතු කරන්න ඕනේ.අනුන් එක්ක කතාබහ කරද්දි සමහර දේවල් කවදාවත් ඔවුන්ගෙන් අහන්න හොඳ නැහැ. බොහෝ විට කෙනෙක් අපි එක්ක හිත් අමනාපකම් ඇතිකරගන්නෙ, එහෙමත් නැත්නම් තරහා වෙන්නෙ අනවශ්‍ය විදියට එයාලගෙ දේවල් හොයන්න යාමෙනුයි. ඒවට මැදිහත් වෙන්න යාමෙනුයි. ස්මාර්ට් කාන්තාවන් කවදාවත් අනුන් අතරෙ අපැහැදීමට ලක් වෙන්නෙ නැහැ. ඒ මෙන්න මේ දේවල් ඒ අය අනුන්ගෙන් අහන්න යන්නෙ නැති නිසයි.

ඉස්සරට වැඩිය මහත් වෙලා නේද? මොක ද මේ හැටි කෙට්ටු වෙලා?

තම තමන්ගෙ ශරීර ස්වභාවයන් ගැන හැම කෙනෙක් ම දන්නවා. මහත වැඩි කෙනා ඒ ගැන දන්නවා වගේ ම කෙට්ටු අයත් එයාලගෙ ශරීරයේ ඒ ස්වභාවය ගැන දන්නවා. ඉතින් අපි ඒක නැවත නැවත අහන එක එයාට කිසිම වැදගත්කමක් නැහැ. ඒ වගේ ම හදවතට රිදෙන දෙයක් වෙන්නත් පුළුවනි. මහත අඩු වෙනවට කැමැත්තෙන් හිටිය කෙනෙකුට ටිකක් කෙට්ටු වෙලා වගෙයි කිව්වම හිතට සැනසිල්ලක් එන්න පුළුවනි. කෙට්ටුවට හිටිය කෙනෙක් දැකල මහත් වෙලා කිව්වමත් එහෙම සතුටක් දැනෙන්න පුළුවනි. ඒත් ශරීර ස්වභාවයන් ගැන අනුන්ට අදහස් පළ කිරීම අනවශ්‍යයි. බොහෝ දියුණු රටවල මිනිසුන් කිසිසේත් එවැනි අදහස් පළකිරීම් කරන්නෙ නැහැ.

පඩිය කීය ද?

විවිධ පුද්ගලයින් විවිධ ආයතනවල විවිධ තනතුරුවල රැකියාවල් කරනවා. ඒ හැම කෙනෙකුට ම ලැබෙන වැටුප සමාන නැහැ. සමහරු උපයන වැටුපට වඩා බොහෝ දෙනෙක් අතට ගන්නා වැටුප ඉතා අඩුයි. සමහර අය තමන්ගෙ ඉතිරි කිරීම් ඉතා හොඳින් පවත්වාගෙන යන නිසා මාසිකව ලබන වැටුප වියදම් කරගන්නේ නැහැ. ඒක ඒ අයගෙ සාර්ථකත්වය. ඒ කොහොම වුණත් අනුන්ගෙ පඩිය දැනගැනීම කිසිසේත් ම අපට වැදගත් නැහැ. කවුරුන් හෝ කෙනෙක් තමන්ගෙන් ඒ ප්‍රශ්නය ඇසීම සහ ඊට පිළිතුරු දෙන්නට සිදුවීම ඕනෑම කෙනෙකුට සිත් රිදවන සහ අපහසුතාවට පත් වෙන කරුණක්.

බැඳල ද? තාමත් බැඳල නැද්ද? මොකද තනිකඩව ඉන්නෙ? බඳින්නෙ කවදද?

විවාහය කියන්නෙ කෙනෙකුගෙ ජීවිතය තුළ ගන්නා අතිශයින් පෞද්ගලික තීරණයක්. විවාහ වෙනවනම් තමන් විවාහ වෙන කෙනා කවුද කියන එක වගේම විවාහ වෙන්නෙ නැත්නම් ඒක තීරණය කරන්නෙත් තමන් ම මිසක් අනුන් නෙමෙයි. ඒ වගේම සමහර අය විවාහ වෙන්න කෙනෙක් හොයමින් ඉන්නවා වෙන්නත් පුළුවනි. විවාහය අමිහිරි අත්දැකීමක් වෙලා අවිවාහකව ඉන්න තීරණය කරපු කෙනෙක් වෙන්නත් පුළුවනි. ඉතින් බැඳල ද කියන ප්‍රශ්නය කාගෙන්වත් අහන එක කොහෙත්ම සුදුසු නැහැ.

දරුවො නැද්ද? මොක ද තවමත් බබාලා නැත්තෙ? දරුවෙක් හදන්නෙ නැද්ද? ඇයි මුකුත් ප්‍රශ්නයක් ද?

විවාහ වෙලා ඉන්න අය අතරෙ දරුවන් සිටින අය වගේ ම දරුවන් අපේක්ෂාවෙන් සිටින අය වගේ ම දරුවන් තවමත් ප්‍රමාද වීම ගැන පසුතැවෙන අයත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, විවිධ හේතු මත දරුවන් හදන්නට ප්‍රමාද කරන අයත් ඉන්නවා. ඒ කවර තත්වයක හිටියත් ඒක ඒ විවාහක යුවළට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් අදාළ වන ප්‍රශ්නයක්. විවාහ වෙලා ඉන්න අය දැක්ක ගමන් අහන්න දෙයක් නැති කමටවත් කවදාවත් මේ ප්‍රශ්න අහන්න එපා.

කොහොමද ප්‍රතිඵල?

විභාගයක් ලියල ඉවර වුණා ම ප්‍රතිඵල දැනගන්නකල් විභාගය ලියපු කෙනා තරම් නොඉවසිල්ලෙන් ඉන්න වෙන කවුරුවත් නෑ. ඒත් ඒ ප්‍රතිඵල කියන්න තරම් සතුටුදායක නොවෙන වෙලාවට ඒ ගැන වැඩියෙන් ම දුක් වෙන්නෙත් එයාමයි. එහෙම වෙලාවට කවුරු හරි ප්‍රතිඵල අහන්න යන එක අතිශයින් ම වේදනාකාරීයි. සමහර වෙලාවට දරුවන්ගෙ විභාග ප්‍රතිඵල වුණත් පිට කෙනෙක් අහන එක සමහර දෙමව්පියන් අපහසුවට පත්වෙන ප්‍රශ්නයක්. තමන්ගෙ දරුවන් ඉහළින් සමත් වුණා නම් ඒක අනෙක් අය එක්ක සතුටින් බෙදාගන්න සූදානම් වුණාට එහෙම නොවුණාම ඒ කණගාටුදායක තත්වය කියන්න කවුරුවත් කැමති නැහැ. ඒ නිසා හොඳම දේ එහෙම ප්‍රශ්න අනුන්ගෙන් අහන්නෙ නැතිව ඉන්න එක තමයි.

සමහරු ඇත්ත තොරතුරු දැනගෙන අනිත් කෙනාව අපහසුවට පත්කරන්න ම සමහර දේවල් අහන අවස්ථාවන් පවා තියෙනවා. ඒක හරිම අමානුෂිකයි. කවුරුහරි එකවරම තමන්ට මුණගැහුණම ෂා අද ඔයා හරි ලස්සනයි කියනවනම් එයාට දැනෙන සතුට කොයිතරම් ද? ඒත් එකපාරටම කවුරුහරි කිව්වොත් අපෝ මොකද අනේ මේ වෙලා තියෙන්නෙ හොඳට ම කලු වෙලා, මූණත් ඇදිල ගිහින් කියලා, කවුද කැමති වෙන්නෙ? කාටද එතකොට දුක නොහිතෙන්නේ? අදහස් ප්‍රකාශ කිරීම කොයිතරම් සැලකිලිමත්ව කරන්න ඕනෙ දෙයක් ද? අනුන් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්න නම් ඒ සැලකිලිමත්බව ජීවිත කාලයට ම ඉතා වැදගත් වේවි. ඒ නිසා කිසිකෙනෙක්ගෙක් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. අනවශ්‍ය අදහස් පළ කිරීම්වලට යන්න එපා. සෘණ හිතිවිලි, සෘණ ආකල්ප හදවතෙන් උදුරා දමන්න. කවුරුන් හෝ සැනසෙන,සතුටු වන, පැහැදීමක් ඇතිවන, කිසිවෙකුටත් හානිකර නොවන අදහස් විතරක් හුවමාරු කරගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles