” මනූ මේ.. !”
ජංගම දුරකතනයේ තිබූ ජායාරූප කිහිපයක් එහා මෙහා කරවමින් නෙත්‍යා මනුහස් හට අලංකාර පරිසරයන් සහිත ජායාරූප පෙළක් පෙන්වූවාය.
” කොහෙද ස්විස්ටර්ලන්ඩ් ද ?”
” මේක ස්විස්ටර්ලන්ඩ් , මේ ග්‍රීස් , එතකොට මේක ඉටලි. ලස්සනයි නේ.. ? සමහර ඒවා අතින් ඇඳපු චිත්‍ර වගේ. ඇත්තම තැන් කියලා විශ්වාස කර ගන්නත් බෑ..”
” හ්ම්ම්….”
මනුහස් ඈ පවසන සියළු දේ අනුමත කරමින් මෝටර් රථය පැදවූයේය .
” මනූ… , අපි දෙන්නත් දවසක ගිහින් එන්න යං…? ”
” කොහෙද ? ස්විස්ටර්ලන්ඩ් ?”
මනුහස් දෑස විසල් කර නෙත්‍යා දෙස බැලුවේය.
” ඔව් , ඇයි ?”
ඔහු පිළිතුරු දීමට පෙර පුළුල් සිනහවක් පෑවේය .
” ලංකාවේ පොලිස්කාරයෙක්ගේ පඩිය හරි සොච්චමක් බබා. , ඔහොම ටුවර් ගිහින් එන්න නං ,එක්කෝ මං පොලීසියෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් කරන්න ඕනේ. නැත්තන් මේක කරන අතරේ තව පාට් ටයිම් එකක් කරන්න ඕනේ..”
මනුහස් එසේ පවසමින් තව දුරටත් සිනහ වූයේය.
” අනේ සොරි මනූ… මං ඒක එච්චර ලොකුවට හිතුවේ නෑ.. “
නෙත්‍යා මැළවුණු මුහුණින් එසේ පැවසුවාය .
” ඒයි.. ඒයි .. විහිලුවක් කළේ.. යංකෝ… යංකෝ.. ඔයාට ඕන කොහෙද ඒ හැමතැනම යං . හැබැයි දැන්ම නෙමෙයි , තව පොඩි කාලයක් දෙන්න මට. හරිද ?”
” අනේ මනූ.. මං එහෙම ලොකුවටම හිතලා කිව්ව එකක් නෙමෙයි. “
ඇගේ කටහඬෙහි පසුතැවිල්ලක් තැවරී තිබුණේය .
” හරි අනේ.. මං දන්නවා. මේ ප්‍රශ්න ටික ඉවර කර ගත්තම අපි දෙන්නා කොහොමත් පොඩි ටුවර් එකක් ගිහින් එමු කොහෙ හරි . හරිද ? ”
ඔහු එසේ අසා ඇගේ කොපුලක් මිරිකූ අතර ඈ ඔහු දෙස බලා මඳ සිනහවක් නැඟුවාය. මනුහස් සෙමින් මෝටර් රථය ගෙමිදුලට දැම්මේය .
” ඔන්න බලන්න දැන් අම්මයි , අප්පච්චියි මට හිනා වෙයි හොඳේ…”
” ඒ මොකෝ..?”
මනුහස් මෝටර් රථය ගෙමිදුලේ නතර කරමින් ඇසුවේය. මෝටර් රථයේ හඬ ඇසුණු වහා විජේවර්ධන සහ වසුන්දරා සිනහා පිරි වතින් ගෙමිදුලට බැස්සහ.
” ඔයා ගියේ මාත් එක්ක තරහා වෙලා කිව්වම ඒ දෙන්නම කිව්වා ඔයා ගියාට ගිය පයින්ම ආයෙ එයි කියලා. මට ඉතිං යන්න ඕනෙම උනානේ. “
මනුහස් සිනහවක් නඟමින් මෝටර් රථයේ දොර විවර කළේය.
” තරහා වෙච්ච එක්කෙනාව යාළු කර ගත්තද ? අපි කිව්වනේ මඟින් මඟටම යන්නෙපා , ඔය ගියාට ආයේ අනිත් පැත්තට එයි කියලා. “
තමා පැවසූ කතාව සනාථ කරන්නට මෙන් වසුන්දරා පැවසූ දේ ඇසුණු නෙත්‍යා මනුහස් දෙස බලා පුළුල් සිනහවක් පෑවාය .
” තිබහයි අම්මා..”
මනුහස් එසේ පවසමින් ශීතකරණය විවර කළේය .
” හදලා දාපු දොඩම් වගයක් ඇති මනූ..”
” අම්මා මොකක් හරි ලොකු වැඩක් කර කරද හිටියේ ?”
මුළුතැන්ගෙහි වෙනදා නොමැති අන්දමේ පමණට වඩා විසල් භාජන කිහිපයක් සෝදා වේලා ඇති අන්දම දුටු නෙත්‍යා වසුන්දරා දෙස බලා ඇසුවාය.
” හෙට පන්සලට දානේ පුතේ…”
” පේරු දානෙද ?”
” නෑ… පේරු දානෙත් දෙනවා. මේක මේ අවුරුද්දකට වතාවක් දෙන දානයක් අප්පච්චිගේ උවමනාවකට. “
දොඩම් වීදුරුවක් පුරවා ගත් මනුහස් ඉන් අඩක් බී එය නෙත්‍යා දෙසට දිගු කළේය.
” අප්පච්චි ඒ දවස්වල ඉඳිඔයේ වැඩ කළානේ. ගෙදර ආවේ සතියකට පාරයි . එහෙදි යාලු වෙලා හිටපු දෙමළ මනුස්සයෙකුයි , දුවෙකුයි වෙනුවෙන් කියලා එදා ඉඳන් මේ දානේ දෙනවා. “
මනුහස් දෑස සිහින් කොට මව දෙස බැලුවද ඈට පුත්‍රයාගේ බැල්ම නොතේරුණේය.
” ඉඳිඔයේ නේද මනූ නයින් මවුන්ටන්ස් තියෙන්නේ ?”
නෙත්‍යා මඳ හඬකින් එසේ මනුහස් දෙස බලා ඇසූ අතර ඔහු එයට එකඟ වෙමින් හිස සැලුවේය.
” ඔයාට තව ඕනෙද ?”
නෙත්‍යා දොඩම් වීදුරුව අල්ලා ගෙන ඇසුවාය.
එපා යැයි හිසින් සන් කරමින් පැවසූ ඔහු සිටියේ බරපතල කල්පනාවකය.
” දානෙට මොනාද හදන්නේ අම්මා ?”
” මං අච්චාරුවකුයි , බටු මෝජුවකුයි අද හදලා තියන්න බැලුවේ පුතේ. එහා පැත්තේ ගෙදර අක්කත් උදේට එනවා. ඒ නිසා ඉතුරු ටික හෙට උදේටම හදනවා. “
වසුන්දරා නෙත්‍යා ඇසූ පැනයට එසේ පිළිතුරු දුන්නාය.
” බත් ටිකක් කන්නකෝ දරුවෝ. දැන් දවල්ට කන වෙලාවත් පහු වෙලා. “
” එන ගමන් මඟදි කෑවා අම්මා. අම්මට මොනාද තව කරලා දෙන්න ඕනේ. ?”
නෙත්‍යා එසේ අසමින් කඩා දමා තිබූ කෙස් කළඹ ගුලියක් කොට හිස් මුදුනට බැඳ ගත්තාය.
” අනේ.. ඕන්නෑ දරුවෝ. පැය ගාණක් ඇවිත් මහන්සිනේ. ? ටිකක් ඉඳලා එන්න. කමක් නෑ..”
” අප්පච්චි , ඉඳිඔයේ වැඩ කළේ අවුරුදු කීයකට කලින්ද අම්මා..?”
මෙතෙක් වේලා නිහඬව කල්පනාබරිතව සිටි මනුහස් බොහෝ වේලාවකට පසු මුව විවර කළේය .
” දැන් අවුරුදු විස්සකට විතර එහා මනූ.. “
” මේ දානේ දෙන්නේ දෙමළ මනුස්සයෙකුයි , දුවෙකුයි වෙනුවෙන් කියලා මං දැනන් හිටියෙ නෑනේ ?”
” දැනගෙන ඉන්න ඔයා අහන්නෙපැයි දරුවෝ. දැන් මේ වෙලාවේ මේ දරුවා ඇහුවෙ නැත්තන් ඔයා තාමත් ඒ කතාව දන්නෑනේ ? පේනවා නේද ගේ ඇතුළෙම වෙන දේවල් ඔයා දන්නෑ. කොල්ලොන්ට ඕවා තේරෙන්නෑ පුතේ. කෙල්ලෙක් ඉන්නම ඕනේ හැමදේම හාරා හාරා අහන්න “
වසුන්දරා එසේ පවසමින් නෙත්‍යා දෙස බලා සිනාසුණාය.
” මඟින් කාලා ආවට කමක් නෑ පුතේ. මොනාහරි හදන්නද ? “
” අනේ.. මහන්සි වෙන්න එපා අම්මා “
” එහෙනං ගිහින් ඇඟ පත සෝදන් එන්නකෝ. මං තේ ටිකක් හදන්නං “
” ඇයි මනූ.. , එක පාරට මූණත් එක්ක අමුතු වෙලා ?”
නිදන කාමරයට පැමිණි නෙත්‍යා මනුහස් දෙස බලා ඇසුවාය.
” මුකුත් නෑ බෝලේ. ඔයා වොශ් එකක් දාගන්න. මං අප්පච්චිත් එක්ක පොඩ්ඩක් කතා කරල එන්නං “
එසේ පැවසූ මනුහස් ගෙමිදුලේ උන් විජේවර්ධන සොයා නිවසින් පිටතට බැස්සේය.
” අප්පච්චී …! වැඩක් ද ?”
” තැඹිලි වල්ලක් බාන්න කියලා බැලුවේ මනූ. ඒකත් හෙට උදේට තියාගත්තොත් ඕක කරගන්න වෙන්නෑ , අම්මා අරක නෑ මේක නෑ කියලා මාව කඩේ යවන්න ගත්තම මේක අමතක වෙනවා. “
විජේවර්ධන මුවඟට සිනහවක් නඟමින් පැවසුවේය.
” අප්පච්චිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ..”
පුත්‍රයාගේ මුව දෙස හොඳින් බැලූ විජේවර්ධන අඹ ගස පාමුල තනා තිබූ කොන්ක්‍රීට් මේසය හා පුටු කිහිපය දෙසට අත දිගු කොට ඒ දෙසට ඇවිද ගියේය . ඔහු අනුව ඇවිද ආ මනුහස් කොන්ක්‍රීට් පුටුවකින් වාඩි වූ අතර විජේවර්ධනද ඔහු ඉදිරියේ වූ පුටුවකින් වාඩි වූයේය.
” මොකෝ කේස් එක ?”
පුත්‍රයාගේ උවන මත දෙතුන් වරක් දෑස කැරකැවූ විජේවර්ධන මනුහස්ට සවන් දීමට සැරසුණේය .
” අප්පච්චි ඉඳිඔයේ වැඩ කළේ කොයි කාලේද ?”
විජේවර්ධන පිළිතුරු දීමට පෙර මනුහස් දෙස තවත් මොහොතක් බලා සිටියේය. ඉන්පසු විසල් සුසුමක් හෙළුවේය.
” මං ඉඳිඔයට ගියේ අනූ අටේ.. ඉඳිඔයෙන් ට්‍රාන්සර් උනේ දෙදාස් දෙකේ. “
” මල්දෙණියලගේ නයින් මවුන්ටන්ස් එකත් තියෙන්නේ එහේ . “
” හ්ම්ම්… මං ට්‍රාන්සර් එකක් අරන් ආපු දෙදාස් දෙකේ තමයි ඒක මුලින්ම ඕපන් කළේ. “
” අප්පච්චි ඒ දවස්වල එහෙ හිටපු මිනිස්සුන්ව අඳුරනවද ?”
” ඉඳිඔයේද ? “
” ඕ..”
” අපෝ ඔව්. වැඩි හරියක් හිටියේ දෙමළ මිනිස්සු. තේ වතු වල වැඩ තමයි ගොඩක් කෙරුණේ. ඔය නයින් මවුන්ටන්ස් එක හැදුණට පස්සේ තමයි යන්න එන්න පාරක් හරි හරියකට හැදුණේ. “
” අප්පච්චි දන්නවද ඒ හොටෙල් එක ඕපන් කරන්න කලින් ඒක බලා ගත්තු දෙමළ මනුස්සයව ? වඩිවේල්ව ?”
විජේවර්ධනගේ දෑස තිගැස්සී ගියේය. ඔහුගේ තිගැස්සුණු දෑස දෙස මනුහස් එක එල්ලේ බලා සිටියේය.
” හ්ම්ම්.. මිනිහා හොඳ එකා..”
විජේවර්ධනට නැවතත් බර හුස්මක් හෙළුණේය.
” අප්පච්චි අවුරුද්දක් ගාණේ මේ දානයක් දෙන්නේ වඩිවේල්ටයි , අදීරාටයි පින් සිද්ධ වෙන්නද ?”
විජේවර්ධන එවර එක එල්ලේ මනුහස් දෙස බැලුවේය. තව දුරටත් සැඟවිය යුතු දෙයක් නොමැත. බොහෝ දුරට පුත්‍රයා මෙම විමසීම් කරන්නේ සියල්ල දැනගෙන විය යුතුය.
” ඔව්.. ඒ දවස්වල මං ගෙදර ආවේ සතියකට සැරයයිනේ. “
” මට මතකයි. “
” හ්ම්ම්.. ඔව්. ඔයාට අවුරුදු දහයක් වගේ ඇති එතකොට. “
” ක්වාටස් එකේ උයන්න හිටපු මනුස්සයා මාරු වෙලා වෙන තැනකට ගියා. ඊට පස්සේ මං කෑම ගන්න පුරුදු උනේ වඩිවේල්ගේ අම්මගෙ පොඩි පෙට්ටි කඩෙන්. වඩිවේල්ට හිටියා හරි ලස්සන දුවෙක්. නෙත්‍යා වගේමයි. ලස්සන චූටි කෙල්ලෙක්. අවුරුදු දාසයක් , දාහතක් වගේ ඇති එතකොට. වඩිවේල් තමයි හොටෙල් එක හදනකන් හැමදේම බලා කියා ගත්තේ. සමහර දෙමළ මිනිස්සු ඉන්නවා හරිම අවංකයි. පණ ගියත් තමන්ගෙ රස්සාව , වගකීම හරියට කරනවා. තඹ සතේක වංචාවක් කරන්නෑ. ඇස් දෙක පියාගෙන උනත් විශ්වාස කරන්න පුලුවන් . වඩිවේලුත් එහෙම මිනිහෙක්. “


